අශෝක නිශ්ශන්කගේ “කඩදාසි ඔරු” වේදිකා නාට්‍යයෙන් කලා ලොවට අත්පොත් තබා දිමුතුමුතු ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පැමිණි ඇය මේ වන විට දශක ගණනාවක් බොහෝ නිර්මාණයන්ට රංගන දායකත්වය ලබාදී තිබේ. රංගන ශිල්පිනියකට අමතරව ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙසද නමක් දිනා සිටින අතර රංගනයට මෙන්ම අධ්‍යක්ෂණය සහ පිටපත් රචනයටද පිවිසියාය. සරල බව, නිහඬ බව වැනි ගුණාංග රැසකට උරුමකම් කියන ප්‍රියා ස්වර්ණකාන්ති රණසිංහ නම් ප්‍රවීණ රංගවේදිනිය දිගු නිහැඬියාවකට පසු හිරු නාළිකාවේ විකාශය වන “හිරු කුමරු ආදරය ගෙනැල්ලා”හි ‘සුදු අම්මා’ ලෙසින් ප්‍රේක්ෂකයන් වෙත සමීප වී සිටී. මේ ‘හද ගැස්ම’ අපි ඇය සමඟ කළ කතාබහයි.
‘සුදු අම්මා’ ගැන කියමින්ම මේ කතාබහ ආරම්භ කරමු?
සුදු අම්මා කියන්නේ හිරු නාළිකාවේ විකාශය වන “හිරු කුමරු ආදරය ගෙනැල්ලා” ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයයි. එය කාලයකට පසුව මට ලැබුණු හොඳ චරිතයක්. හරිම ආසාවෙන් මම එම චරිතය රඟපානවා. සුදු අම්මා හරිම ආදරණීය සොඳුරු චරිතයක්. මේ චරිතය ලස්සන වෙයි කියන විශ්වාසය හිතේ තිබෙනවා.
කලක් නිහඬ වෙලා හිටියේ විශේෂ හේතුවක් නිසාද?
එහෙම නිහඬ වෙලා හිටියේ විශේෂ හේතුවක් නිසා නොවෙයි. පසුගිය කාලයේදී මට රඟපෑම සඳහා කිසිම ආරාධනාවක් ලැබුණේ නැහැ. එහෙම නිහඬ වෙලා හිටිය කාලයේදී විදේශ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ නම් කිසිම නිර්මාණයක පසුගිය කාලයේ දකින්න හිටියේ නැහැ. පසුගිය දිනවල රොෂාන් රවීන්ද්‍ර සහ සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ටෙලි නිර්මාණ දෙකක වැඩ කළා. එම නිර්මාණ තවම විකාශය වුණේ නැහැ. ඊට පසුව තමයි මෙම නාට්‍ය සඳහා මට ආරාධනා ලැබුණේ. දැන් ඉතින් ඉස්සර වගේ වැල නොකැඩී ටෙලි නාට්‍ය එන්නෙ නැහැ.
ඇයි එහෙම වුණේ? වර්තමාන පරපුර ඔබ ගැන දන්නෙ නැද්ද?
එහෙමම කියන්නත් බැහැ. හිරු කුමරු ආදරය ගෙනැල්ලා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා බොහොම තරුණ වයසේ කෙනෙක්. එයා මට කතා කළා නාට්‍යයේ රඟපාන්න. මම විතරක් නෙමෙයි එම නාට්‍යයේ ජනක්, ගීතා වගේ ප්‍රවීණයන් ඉන්නවා. ගොඩක් අයට අමතක වෙලා හිටපු මාව හිරු කුමරු ආදරය ගෙනැල්ල අධ්‍යක්ෂවරයාට මතක් වුණ එක ගැන සතුටුයි. මම හිතන්නෙ ඉස්සර වගේ දැන් නිතර නිතර ටෙලි නාට්‍යවල දකින්න නැති නිසා අපිව මතකයෙන් ගිලිහිලා යෑම තමයි එයට හේතුව.
එදා වගේම අදත් මේ චරිතයට ප්‍රතිචාර ලැබෙයිද?
මේ වන විට මෙම චරිතයට ප්‍රතිචාර ලැබෙනවා. ඒ වුණාට ඉස්සර වගේම ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ. කාලයකට පසුව රඟපාන්න ආවම ගොඩක් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නත් බැහැ.
කාලයකට පසුව රංගනයට ආ ඔබට නවක පරපුරෙන් ලැබුණු පිළිගැනීම කොහොමද?
කාලයකට පසුව ආවා කියල වෙනසක් නැහැ. නවක පරපුරේ දරුවන් බොහොම හොඳින් පිළිගෙන ආදරයෙන් කතා කළා. මට නවක පරපුර නියෝජනය කරන දූවරුන් එක්ක රඟපාන්න මෙම නාට්‍යයේදී තවම අවස්ථාව ලැබුණේ නැහැ. නවක පරපුර නියෝජනය කරන රංගන ශිල්පීන් දෙදෙනකු වන දිනුෂ දිසානායක සහ කැළුම් දේවනාරායන සමඟ තමයි වැඩ කළේ. ඒ දෙදෙනා නම් හරිම ආදරණීයයි.
නවක පරපුර ගැන මොකද හිතෙන්නෙ?
නවක පරපුර ගැන කියන්න තරම් ලොකු වදරක් නම් පේන්න නැහැ. හොඳට කතාබහ කරන හොඳට තමන්ගේ රඟපෑමේ කාර්යයේ නියුතු වෙලා සිටින පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔවුන්ට පැවරෙන කාර්ය ඔවුන් හරියට කරනවා.
ඉස්සර වගේ නොවෙයි. මේ වෙද්දි තමන් රඟපාන චරිතයට සමාජ මාධ්‍ය හරහා ක්ෂණික ප්‍රතිචාර ලැබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස?
එහෙම ක්ෂණික ප්‍රතිචාර ලැබෙන එක හොඳයි. ඉස්සර අපි රඟපාන චරිතය පිළිබඳ හොඳ-නරක ගැන ක්ෂණිකව දැන ගන්න ක්‍රමයක් නැහැ. එහෙම හොඳ නරක දැන ගන්න නම් කුමන හෝ උත්සවයක්, සම්මාන උළෙලක් පවත්වන්න ඕනෑ. ඒ ප්‍රතිචාර ලබද්දි අපි එම චරිතය රඟපාල ඉවරයි. දැන් එහෙම නොවෙයි. එම චරිතය රඟපාන අවස්ථාවේදීම ප්‍රතිචාර ලැබෙනවා. එහිදී අපට පුළුවන් වැරැදි, අඩුපාඩු හදාගෙන එම චරිතය ඉදිරියේදී වඩාත් හොඳට කරන්න.
නවක පරපුරට අවවාදයක් දෙන්න අවස්ථාව ලැබුණොත් මොකද කියන්නෙ?
නවක පරපුරට අවවාදයක් දෙන්න අවස්ථාව ලැබුණොත් මම දෙන හොඳම අවවාදය ඔහු නවකයෙක්ද කියල අදාළ නැහැ. ප්‍රවීණයන් සමඟ වෙනසක් නැතිව එකමුතුව සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍යයි. එහෙම නොවුණොත් හරි අමාරුයි රංගන කාර්යයේ නිරත වෙන්න. බොහෝ නවක පරපුරේ අය ප්‍රවීණයන් සමඟ කතාබහ කරනවා අඩුයි. එහෙම වෙන්නෙ ඇයි කියලා නම් තේරුමක් නැහැ. නමුත් එහෙම වෙනවා. එහෙම වුණාම සාර්ථකව වැඩ කරන්න අමාරුයි. මට කියන්න තියෙන්නෙ කා සමඟත් කතාබහ කරලා හොඳින් ඉන්න ඕනෑ. දැන් වගේ නොවෙයි ඉස්සර අපි ලොකේෂන් එකට ගියාමත් ඉන් පිටතදීත් හරිම සුහදව කටයුතු කළා. එහිදී බිහිවෙන නිර්මාණයන් සාර්ථකයි.
මෙම ටෙලි නාට්‍ය පිළිබඳ ඔබේ අදහස?
‘හිරු කුමරු ආදරය ගෙනැල්ලා’ ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නෙ සුරංගි අතුකෝරළගේ ‘හංසනා’ නවකතාව ඇසුරෙන්. එම නවකතාවට හානියක් නොවන ආකාරයට එහි එන අවස්ථා සම්බන්ධය මනා ලෙස ගළපමින් ටෙලි නාට්‍යයේ දෙබස් හා චරිත හරි ලස්සනට ලියලා තිබෙනවා.
මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගැන යමක් කිව්වොත්?
‘හිරු කුමරු ආදරය ගෙනැල්ලා’ හි අධ්‍යක්ෂවරයා දිලුක ප්‍රසාද් ගුණතිලක හරිම ආදරණීය සොඳුරු පුද්ගලයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහු හරිම දක්ෂයි. මේ නාට්‍යයේ පිටපත සහ අධ්‍යක්ෂණය දෙකම ඔහුගේ. ඒ වගේම නවක-ප්‍රවීණ කියලා වෙනසක් නැහැ හැමෝම සමඟ සුහදව කටයුතු කරනවා. හොඳ අනාගතයක් තිබෙන අධ්‍යක්ෂවරයෙක් ලෙස බය නැතිව ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්.
සමස්තයක් ලෙස වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය පිළිබඳ ඔබේ කියැවීම.
සිනමාව තුළ නම් සාර්ථක නිර්මාණ මේ වන විට බිහි වෙනවා. මේ දිනවල තිරගත වන හැම චිත්‍රපටයක්ම හරි සාර්ථකයි. ඒ වගේම එකින් එක වෙනස් තේමාවන් ඔස්සේ කතාව ගලාගෙන යනවා. එවැනි නිර්මාණවලට ප්‍රේක්ෂකයක් ඇද බැඳ තබා ගැනීමේ හැකියාව තිබෙනවා. වර්තමානයේ බිහි වන ටෙලි නාට්‍යයන් ඉස්සර අපි රඟපෑ ඒවා වගේ ඒකාකාරී නැහැ. වෙනස් ආකාරයට තමයි කතාව ගලාගෙන යන්නේ. ඒ වගේම දැන් තිබෙන ටෙලි නිර්මාණ එදා වගේ නොවෙයි ඉදිරියේදී වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැහැ. දිග කොටස් තිබෙන මෙගා නාට්‍ය වලට වඩා අඩු කොටස් ප්‍රමාණයක් තිබෙන නිර්මාණ බිහි වෙනව නම් තවත් සාර්ථක වෙයි.