මෙරට රංගන ක්ෂේත්‍රයේ නමක් දිනූ රංගන ශිල්පිනියන් අතරේ ජනප්‍රිය රංගන ශිල්පිනී දිනිති වල්ගමට හිමිවන්නෙත් සුවිශේෂී තැනක්. ඇය සුපුන් රත්නායකගේ බ්ලැක් ටවුන් ස්ටෝරි, කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, හිරු ඇවිත්, නෝ පාකින්, සුසුම් රස්තියාදුව වැනි ටෙලිනාට්‍ය වගේම ‘ආශාවරී’ චිත්‍රපටය හරහාත් ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ අතරින් සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍ය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම නිළිය ලෙස 2025 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට එක්වන්නටත් ඇයට හැකිවුණා. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ ජහුටා ටෙලිනාට්‍යය හරහා වගේම පහේ ළමයි ටෙලිනාට්‍ය ඔස්සේ ජනප්‍රියව සිටින දිනිති වල්ගමුව පිනිපලසෙන් අලුත් අවුරුද්දේ මුලින්ම මුණ ගැහෙනවා.
මේ දිනවල කලා කටයුතු එක්ක දිනිති කාර්යබහුල වෙලාද?
එහෙම කියන්නත් පුළුවන්. පසුගිය දින කිහිපයේම පහේ ළමයි කියන ටෙලිනාට්‍ය රූගතකිරීම්වලට සම්බන්ධ වුණා. එය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. ඒ අතරවාරයේ ජහුටා ටෙලිනාට්‍යටත් රංගනයෙන් දායක වුණා.ඒ අතරේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වෙන කිරි කහට කැෆේ වැඩසටහනේ මෙහෙයවීම් කටයුතු කරගෙන යනවා. නිළියක් වගේම නිවේදිකාවක් හැටියටත් මගේ භූමිකාව සපයන්න ලැබීම ලොකු තෘප්තියක්.
‘මැසෙන්ජර්’ චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායකවන චරිතය ගැනත් යමක් කිව්වොත්?
මැසෙන්ජර් චිත්‍රපටයේ මම රඟපාන්නේ මවකගේ චරිතය. ඇත්තටම ඒක මට අලුත් අත්දැකීමක් වුණ. මොකද මම අම්මා කෙනෙක් විදියට රඟපාපු පළමුවැනි අවස්ථාව ඒක. ඒ නිසා මේ චරිතයට කතා කළාම මුලින්ම කළේ මේ ගැන මගේ අම්මා එක්ක සාකච්ඡා කරපු එක. ඊට පස්සේ චිත්‍රපට නරඹලා, පර්‌යේෂණ අධ්‍යයනය කරලා තමයි මම ඒ චරිතය වෙනුවෙන් ටික ටික හැඩගැහුණේ.
ජහුටා ටෙලිනාට්‍යයේ වන්දනා ගැන ප්‍රේක්ෂකයෝ මොකද කියන්නේ?
වන්දනා වෙනුවෙන් ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතරින් බහුතරයක් කියන්නේ මම මෙතෙක් රඟපාපු චරිත අතරින් වෙනස්ම චරිතයක් කියලා. මොකද ඇය ආදරයෙන් පැරදුණ ජීවිතේ ගොඩක් හැලහැප්පීම් එක්ක තමන්ගේ අරමුණුවලට යන කෙල්ලෙක්. ඇයට ඉස්සරහට තවත් හැලහැප්පීම්වලට මුහුණ දෙන්න සිද්ධ වේවි.
රංගනය ඔබේ ජීවිතයට සමීප වුණ විදියත් මතක් කරමු?
මුලින්ම මට රංගනය සමීප වුණේ මගේ තාත්තාගේ ‘සලුව’ කියන වේදිකා නාට්‍යයෙන්. ඊට පස්සේ පාසල් වේදිකාව, ශේක්ස්පියර් වේදිකාව වගේම ටවර් හෝල් වේදිකාවත් මම නියෝජනය කළා. වේදිකාවෙන් රිදීතිරයට එන්න මට අවස්ථාව ලැබුණේ අශෝක හඳගමගේ අක්ෂරය චිත්‍රපටය හරහා. එතැනින් නතර නොවී ජයප්‍රකාශ් සිවගුරුනාදන් අයියගේ හාරකෝටිය ටෙලිනාට්‍ය හරහා ටෙලිතිරය නියෝජනය කරන්නත් මට අවස්ථාව උදාවුණා. ඒ විදියට තමයි වේදිකාව, ටෙලිතිරය වගේම රිදීතිරයත් මට සමීප වුණේ.
ඔබ ගුවන් සේවයට සමුදීලා රංගනයට පිවිසුණ එක ගැන අද පසුතැවීමක් නැද්ද?
අනේ නැහැ. මම ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ගුවන් සේවිකාවක් විදියට අවුරුදු 08ක් වැඩ කළා. ඒ නිසා රටවල් බොහෝමයක සංචාරය කරන්න මට අවස්ථාව උදාවුණා. ඒ රැකියාව තමයි අද මම මේ ඉන්න තැනට මාව අරගෙන ආවේ. ඒත් අවුරුදු 08ක් එකදිගට එකම රැකියාවක් කරපු එකේ මට ඕනෑ කළේ මගේම දෙයක් පටන්ගන්න. ඒ නිසා ව්‍යාපාරයකට අතගැහුවා. ඒ අතරේ රංගන ක්ෂේත්‍රයේ දිගටම රැඳෙන්න තීරණය කළා. ඒ වැඩකටයුතුත් එක්ක මගේ ශාස්ත්‍රපති (Master) උපාධිය ඔටිසම් ළමුන් සම්බන්ධයෙන් හැදෑරුවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔස්ට්‍රේලියාවේ පාසලක ගුරුවරියක් ලෙසත් සේවය කරන්න මට අවස්ථාව උදාවුණා.
හැබැයි මෑතක් වෙනතුරු ඔබ හිටියේ විදේශගත වෙලා නේද?
ඔව්. මම වගේම මගේ සැමියා සංගීත් ඔස්ට්‍රේලියාවේ හිටියේ. අපි එහේ ගියේ කවදහරි දවසක අස්ථාවර වුණොත් නොවැටී ඉන්න අවශ්‍ය ස්ථාවරත්වයක් ඔස්ට්‍රේලියාවේ ගොඩනගාගන්න. එහෙම නැතුව ලංකාව අත්හැරලා එහේ පදිංචියට යන අදහසින් නෙමේ. නමුත් ලංකාවට ඇවිත් නැවතත් ජීවිතය පටන් ගන්න අපි දෙන්නා තීරණය කළා.
එතකොට දිනිති සංචාරයේ යෙදෙන්න ආසම රට මොකක්ද?
පැරිස්, බැංකොක් වගේ රටවල සංචාරය කරන්න ආසයි. ඒ විදිහට මම මොන රටේ සංචාරය කළත් ජීවත්වෙන්න තෝරාගන්නේ ලංකාව.මොකද මෙහේ ඉන්නකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ...
ජීවිතේ මේතාක් සාර්ථකවත්වය ළඟා කරගන්න ඔබට හේතුවක් වුණ පුරුද්දක් කියන්න කිව්වොත්?
මම විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරනවා වගේම ප්‍රගුණ කරනවා. උදාහරණයක් විදියට කිව්වොත් මට එක කාලයක හීනයක් තිබ්බා රතු පාට අවුඩි කාර් එකක් ගන්න. ඒ වෙනුවෙන් මම නිතරම හීන දැක්කා වගේම වැඩ කළා. ඒ විදිහට තමයි මම මගේ ගොඩක් අරමුණු ජයගත්තේ. ඒ වගේම ඕනෑම අරමුණක් කරා යන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා.
ඔබේ ජීවිතේ රෝල් මොඩ්ල් කෙනෙක් ඉන්නවද?
නැහැ. පොඩි කාලේ ඉඳලම මට රෝල් මොඩ්ල් කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙනුවට මගේ හැමදේටම වාරුවක් ශක්තියක් වුණේ මගේ අම්මා, තාත්තා වගේම ලොකු අම්මා. ඒ අයගේ ශක්තිය නිසා තමා මෙතෙන්ට ආවේ..
ජීවිතේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
මම රංගයෙන් දායක වුණ චිත්‍රපට තුනක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ඒ වැඩකටයුතුවලට මුල්තැන දෙන ගමන් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන එක තමයි එකම බලාපොරොත්තුව. ඔක්කොටම වඩා මට වටින්නේත් ඒ දේ. මොන දේ නැති වුණත් මගේ පවුල, මගේ ළඟින් ඉන්නවා කියන විශ්වාසය හැම මොහොතකම තියෙනවා.
ඔබ හිතන විදියට සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න කැප කරන්න ඕනෑ මොනවද?
සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් වුවමනාව වගේම කැපවීමත් තිබිය යුතුයි. කොයිතරම් කාර්යබහුල වුණත් අපි ආදරේ කරන කෙනා වෙනුවෙන් වේලාවක් වෙන් කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. අනිත් කාරණේ ගැළපෙන කවුරුත් මේ ලෝකේ නැහැ. නොගැළපෙන හැමදෙයක්ම ගළපගෙන තමයි අපි ඉදිරියට යා යුත්තේ.
ඒ වෙනුවෙන් ඔබේ සැමියා, සංගීත්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඔහුත් ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. රූගතකිරීම් එක්ක කොයිතරම් දුරබැහැර ගියත් කාර්යබහුල වුණත් සමහරවෙලාවට ලැබෙන පුංචි විවේකයත් ඔහු මං වෙනුවෙන් කැපකරනවා. ඒ තරම් කැපකිරීම් කරන ඔහු හරිම ආදරණීය චරිතයක්.