ක්ෂේත්‍රයේ බහුතරයක් අති දක්ෂයි - සන්ජය මුරමුදලි

gossiplanka image 2

තරුවක් ලෙසින් කලාවට අඩිය තැබූ ඔහු, වසර අටක් ඉක්ම ගිය තැන අද ද එලෙසම තම තරු ගුණය ආරක්ෂා කර ගනිමින් පෙර සේම දීප්තියෙන් බබළමින් සිටින්නේය. තමා දායකත්වය ලබා දුන් පළමු ටෙලි නිර්මාණයෙන්ම සම්මානිත වූ ඔහු තරු සිය ගණන් පායා බැස යන අහසක එකම එළියකින් දැල්වෙමින් සිටින්නේ, ඔහු සතුව පවතින දක්ෂතාව හා උනන්දුව හේතුවෙනුයි. උදා වූ නව වසරේ හදගැස්ම පළමු කවරය සරසමින් කතාබහට එක් වූ ඔහු නමින් සන්ජය මුරමුදලි නම් වේ.


අලුත් අවුරුද්දේ අලුත් විස්තර ටිකක් කියලම ඉමු?


මුලින්ම ලැබුවා වූ මේ 2026 වර්ෂය හැම කෙනෙක්ටම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන, කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් විස්තර ගැන කතා කළොත්  මේ දවස්වල මගේ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ඊට අමතරව මේ වසරේදී තිරගත වීමට නියමිත චිත්‍රපට කිහිපයක් තිබෙනවා. ඒ වගේම වේදිකාවට සහ මගේම නිර්මාණ කිහිපයකට අවධානය යොමු කරන්න සැලසුම් කරලා තිබෙනවා.


කොහොමද 2026 නිර්මාණ කටයුතු. අලුත් වැඩ මොනවාද එන්න තියෙන්නේ?


එළැඹෙන පෙබරවාරි 14 වැනිදා උදයකාන්ත වර්ණසූරිය මහතාගේ “මේඝ වර්ෂා” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙනවා. ඒක තමයි මේ වසරේ මුලින්ම තිරගත වීමට නියමිත චිත්‍රපටය. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයක් වසරේ අවසන් භාගයේදී තිරගත වීමට නියමිතයි. ඒ වගේම වේදිකා නාට්‍ය දෙකක් සහ පසුගිය වසරේ සිට විකාශය වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම තියෙනවා.


මේ දවස්වල ටෙලි නිර්මාණ කිහිපයකම ඔබව දකින්න ලැබෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් අකුරට යන වෙලාවේ ගණිතය සර්ගේ චරිතයට පොඩි දරුවන්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම  මම අලුතෙන්ම සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. එහි චරිතයටත් මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම ස්වර්ණවාහිනියේ විකාශය වන මා ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන චරිතය බොහොම දුෂ්ට, නපුරු චරිතයක්, ඒකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙතැනදී ප්‍රේක්ෂකයා සන්ජය මුරමුදලි කියන නළුවාට ආදරණීය ප්‍රතිචාර ලබා දුන්නත්, ඔහු කරන චරිතවලට ඒ ඒ චරිතවලට අදාළව තමයි ප්‍රතිචාර ලබා දෙන්නේ.


දීර්ඝ ටෙලි නාට්‍යවලට නිතරම සම්බන්ධ වීමෙන් ඔබේ හැකියාවට අසාධාරණයක් වෙන්නේ නැද්ද?


2018 වසරේදී සිරස ෆිල්ම් ස්ටාර් හරහා තමයි මම කලාවට එන්නේ. ඊට කලින් මම මහරගම තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාසලේ ශිෂ්‍යයෙක්. ඒ කාලයේදී රංගනය, අංග රචනය, පිටපත් රචනය, පසුතල නිර්මාණය ආදී සියලු අංශයන්වල වැඩ කටයුතු කරලා තියෙනවා. ෆිල්ම් ස්ටාර් හරහා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණට පස්සේ මට ලැබුණු බොහෝ චරිත අභියෝගාත්මක ඒවා. ඒ අභියෝගත් එක්ක මම බොහෝ දේවල් මගේ රංගන දිවියට එකතු කරගෙන තියෙනවා. ඒ අත්දැකීම් පහසුවෙන් කෙනෙක්ට ලැබෙන දේවල් නෙවෙයි. විශේෂයෙන්ම මගේ පළමු ටෙලි නාට්‍යය අමුතු රසිකයා හරහාම මට වසරේ නැඟී එන නළුවාට හිමි සම්මානය ලැබුණා. දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීම පිළිබඳව සඳහන් කිරීමේදී, අපේ රට පුංචි රටක්. අපේ රටේ තියෙන ටෙලි කර්මාන්තය එතරම් දැවැන්ත නැහැ. ඉතින් රට ඇතුළේ නිෂ්පාදනය වන සුළු නිර්මාණ ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දෙන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. ඉතින් එතැනදි නිර්මාණකරුවන්ට රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී විශාල සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඒ  ඒ ශිල්පීන්ගේ රංගන හැකියාව වගේම තවත් බොහෝ දේවල් බලන්න වෙනවා.


ඒ මොන වගේ කරුණුද?


පෞද්ගලිකව මගේ ප්‍රතිපත්තිවලට අනුව මම වෙලාවට වැඩ කරන, දායකත්වය ලබා දෙන නිර්මාණවලට මගේ උපරිමය ලබා දෙන, නිර්මාණයේ ගුණාත්මකභාවය වැඩි කරගැනීමට හැකි අයුරින් දායක වෙන කෙනෙක්. අපේ ක්ෂේත්‍රයේ බහුතරයක් අති දක්ෂයන්. අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ව නිසි ආකාරව මෙහෙයවලා ඔවුන් හරහා හොඳ රංගනයක් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතන දෙයක් තමයි මේ ක්ෂේත්‍රය ඇතුළේ තරගයක් තියෙනවා. අපිට මේ තරගයත් එක්ක දුවන්න සිදු වෙනවා. විශේෂයෙන්ම දීර්ඝ ටෙලි නාට්‍යවලදී වේගය කියන එක වැදගත්. රංගන ශිල්පියෙක්ගේ දර්ශනයක් සඳහා රූගත කිරීම්වලට කොතරම් කාලයක් වැය වෙනවාද කියන එකත් ඔහුව ඒ නිර්මාණයට යොදා ගැනීමට හේතුවක් වෙනවා. පෞද්ගලිකව මම මට ලැබෙන නිර්මාණයේ කොටස් ගණන කොපමණ වුණත් ඒකට මගේ උපරිම දායකත්වය දෙන කෙනෙක්. ලැබෙන දේට උපරිම දායකත්වයක් ලබා දුන්නොත් අපිට සාර්ථක වෙන්න පුළුවන්. මොකද මම දීර්ඝ ටෙලි නාට්‍යවලට වගේම කෙටි ටෙලි නාට්‍යවලටත් නිතරම සම්බන්ධ වෙන කෙනෙක් නිසා මට ඒ ගැන කියන්න පුළුවන්.


නිර්මාණයක කොටස් ගණනින් එහි ගුණාත්මක බව තීරණය කළ හැකිද?


ඒක එහෙම කරන්න බැහැ. සමහර දීර්ඝ නිර්මාණ තියෙනවා ඉතා ඉහළ ගුණාත්මකභාවයක් සහිත. මේක ටෙලි නාට්‍ය වර්ග දෙකක්. මේ දෙකටම ප්‍රේක්ෂකයන් ඉන්නවා. දීර්ඝ ටෙලි නාට්‍ය නරඹන පිරිස වගේම කෙටි ටෙලි නාට්‍යවලට වැඩි රුචිකත්වයක් දක්වන පිරිසකුත් ඉන්නවා. මේ දෙපිරිසටම ගැළපෙන විධියට නිර්මාණයන් බිහි කිරීම තමයි වඩාත් සුදුසු. නමුත් කෙටි නිර්මාණවලට දායක වීමේදී ඒ චරිතයට අවධානය දීමට ලැබෙන අවස්ථාව වැඩියි. කොහොම වුණත්, නිර්මාණයක් ගුණාත්මකභාවයෙන් වැඩිද, අඩුයිද කියන එක තීරණය කරන්න එහි කොටස් ගණනින් බැහැ. එයට ඒ නිර්මාණයේ පිටපත, අධ්‍යක්ෂණය, ශිල්පීය ක්‍රම, යොදාගෙන තිබෙන ශිල්පීන් ආදී බොහෝ නිර්ණායක බලපානවා.


දිගටම එකම ස්වරූපයේ චරිතවලට කොටු කිරීමෙන්, දක්ෂ චරිතාංග ශිල්පීන්ට ඇතිවන බලපෑම මොන වගේද?


එහෙම ගැටලුවක් නම් තියෙනවා. ඒක මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් දන්න කාරණයක්. නමුත් මෑත කාලීනව ඒ විධියට ශිල්පීන්ව එකම රාමුවකට කොටු නොකොට ඔවුන්ගේ දක්ෂතාවලින් වැඩගත් අවස්ථා කිහිපයක්ම දකින්න ලැබුණා. කොහොම වුණත් මේ කර්මාන්තය ඇතුළේ අපි මුහුණ දෙන තාක්ෂණික, මූල්‍යමය කාරණා නිසා කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය සීමා සහිත වෙලා තියෙනවා. එහෙම සීමාවන් ඇතුළේ වුණත්, රංගන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ දක්ෂතා වෙනස්ම ආකාරයෙන් පෙන්නපු අධ්‍යක්ෂවරුනුත් ඉන්නවා. මේක මමත් සමහර වෙලාවට මුහුණ දෙන ගැටලුවක්. මටත් සමහර වෙලාවට නිතරම වගේ දුෂ්ට චරිතවලට ආරාධනා ලැබෙනවා. එහෙම එකම වගේ චරිත දෙකකට ආරාධනා ලැබුණොත් මම කරන්නේ එක චරිතයක් කරාට පස්සේ ඊට හාත්පසින් වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට ගිහින්, යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ විතරක් නැවතත් අර වගේ චරිතයක් කරන එක. එහෙම තමයි ගොඩක් වෙලාවට අපිට මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරද්දී සිදු කරන්න වෙලා තියෙන්නේ.


ඔබේ රසිකයන් නිතරම නඟන ප්‍රශ්නයක් තමයි ඔබගෙයි අපූර්වගෙයි විවාහය පිළිබඳව. ඒ ගැනත් කියමු?


අපි කරන නිර්මාණ, අපේ කලා කටයුතු ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන එක තමයි මම හිතන විධියට මගෙන් විය යුතු. විවාහය කියන එක සම්බන්ධයෙන් දැනට තීරණයක් අරගෙන නැහැ. අපි ඉදිරි කාලයකදී අපේ ප්‍රේක්ෂයන්ට ඒ ගැන දැනුම් දෙන්නම්.

gossiplanka image 1
Previous Post Next Post