පෙන්ටතලන් නිවේදිකාව ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත්, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත් පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්රයටත් සම්බන්ධ වී ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන ඇත. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පහේ ළමයි ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන ඇය නමින් චානු දිසානායකය.
ඔබ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පහේ ළමයි ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම ගොඩක් සතුටුයි. තිර රචක ලක්ෂාන් වත්තුහේවා අධ්‍යක්ෂ ශාන් ජයරත්න එක්ක වැඩ කරන්න ලැබෙන්නේ පළමුවැනි වතාවට. මේ වෙනකොට හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙන ටෙලි නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. මම පළමුවැනි පාරට තමයි අම්මා කෙනෙක්ගේ චරිතයට පණ පොවන්නේ. ඒ චරිතය හාස්‍ය දනවන සහ එදිනෙදා ජීවිතයේ අපට හමුවන චරිතයක්. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයාට සාධාරණයක් කරන්න මට හැකියාව ලැබුණා කියලා.
පහේ ළමයි ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැනත් අදහසක් කියමු?
වෙලාවකට හිතෙනවා චංචලා සපරමාදු කියන්නේ චානු දිසානායකම තමයි කියලා. මොකද ඒ චරිතෙ ඇතුළේ ඉන්නේ හිටපු නිවේදිකාවක්. හිටපු රංගන ශිල්පිනියක් සහ දැන් වෙනකොට ස්වාමියා සහ දරුවන් නිසා වැඩට යන්න බැරි වුණු අයෙක්. දැන් මම මැරි කරලා නැති වුණත් මට හිතෙනවා මැරි කළා නම් ඕක තමයි වෙනවා ඇත්තේ කියලා. ඒ කාලයේ අපිට ලැබෙන්න තිබුණු සමහර දේවල් අපි අත්හරින එක ගැන අපිට තියෙන වේදනාව ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් රංගන ශිල්පීන්ට දැනෙන දෙයක්. ඒ දුක හංගගෙන ඒවා නැවත ගන්න උත්සාහ කරන සහ තමන්ගේ පවුල රැකගන්න එයා ගන්න වෙහෙස ඒ හැම දෙයක්ම මේක ඇතුළේ තියාගෙන තමයි චංචලාගේ චරිතය එළියට එන්නේ. ඉතින් මම උපරිමයෙන්ම උත්සාහ කරනවා ඒකට සාධාරණයක් කරන්න.
අධ්යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද ?
ඇත්තටම අධ්‍යක්ෂ ශාන් ජයරත්න ඉතාම තරුණ අධ්යක්ෂවරයෙක්. ටීම් එකත් එක්ක වැඩ කරද්දි ලොකු සහයෝගයක් ඔහුගෙන් ලැබෙනවා. කණ්ඩායමේ සහය අධ්යක්ෂවරු, තාක්ෂණික ශිල්පීන් හැම දෙනාම එක පවුලක් වගේ. ශාන්ගේ සියලුම නිර්මාණවල වැඩ කරන්නේ ඒ කණ්ඩායම. කණ්ඩායමේ ගෞරවය රකිමින් එකිනෙකාට සහයෝගය දක්වමින් හොඳ නිර්මාණ කාර්යයක යෙදෙන්න සහ වෘත්තීය මට්ටමින් වැඩ කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා.
ඔබ නිවේදිකාවක් වගේම එකිනෙකට වෙනස් චරිත රඟපානවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ ?
ඇත්තටම මාව ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නේ තවමත් නිවේදිකාවක් විදිහට. ඒකෙන් මට ගැලවෙන්න බැහැ. හැබැයි රඟපාන්න ලැබුණු චරිත දිහා බැලුවොත් මට වැඩිපුර බරක් තිබුණේ වේදිකා නාට්‍ය පැත්තට. වේදිකා නාට්‍ය ඇතුළේ මට විවිධ චරිත කරන්න ලැබුණා. මම ගොඩක් නිර්මාණවල රඟපාලා නැති වුණත් ඒවා එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් නිර්මාණ. ඒක මගේ ජීවිතයට ලොකු අත්දැකීමක්. මම ගොඩාක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් නොවුණත් පිටිපස්ස හැරිලා බලද්දි මං කරපු නිර්මාණ සම්බන්ධව සතුටු වෙන්න පුළුවන්.
ඉදිරියේදී රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද?
අතීතකාමී චරිතවලට මම හරි කැමතියි. පැරණි ඓතිහාසික කතාවක් ආශ්‍රිතව ගැමි චරිතයක් සඳහා පණ පොවන්න මම අසාවෙන් හිටියා. ඇත්තටම ඒ වගේ චරිතයක් මට හම්බ වුණා, පුංචි අන්දරේ ටෙලි නාට්‍යයෙන්. ඒ භාෂා රටාවට, ඇඳුම් පැලඳුම් සහ හැසිරීම් සියල්ලටම මම කැමතියි. ඒවා අධ්‍යයනයක් ඇතිව කරන්න ඕන දේවල්. ඒ වගේ අභියෝගාත්මකව හිතන චරිතයකට මම කැමතියි.
මෙතෙක් ඔබට ලැබුණු චරිතවලින් අභියෝගයක් වුණු චරිත තියෙනවා ද ?
මට ලැබුණු හැම චරිතයක්ම අභියෝගයක්. නමුත් යූ -ටර්න් චිත්‍රපටයේ චරිතය තමයි මට ලොකුම අභියෝගය වුණේ. මම වේදිකා නාට්‍ය පමණක් කරමින් හිටපු නිසා එකපාරටම සිනමා තිරයකට පිවිසෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගික අත්දැකීමක් මට තිබුණේ නෑ. අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවුණු චිත්‍රපටයක් තමයි පළමු සිනමා නිර්මාණය.
ඔබේ රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු.
ඇත්තටම පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.පුංචි කාලෙ ඉඳලම එකම සහයෝගය වුණේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා තමයි මාව මේ ක්ෂේත්රයට අවශ්‍ය විදිහට ගොඩනැඟුවේ.
අලුත් අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වැඩකටයුතු මොනවා ද?
නව වසරේ අලුත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. මම ගොඩක් ටෙලිනාට්‍ය භාර ගන්නේ නැති වුණත් හොඳ පිටපතක හොඳ චරිතයක් හම්බ වුණොත් ඒක මම ඉතාම කැමැත්තෙන් කරන්න බලාගෙන ඉන්නවා. මගේ වේදිකා නාට්‍ය දෙකක වැඩවලට සූදානම් වෙනවා. ඊට අමතරව මම නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. මගේ උසස් අධ්‍යාපන වැඩකටයුතුවල තමයි වැඩිපුරම නිරත වෙන්නේ.