ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ. දඟකාර සුන්දර රංගන ශිල්පිනියක් වන ඇයට ප්‍රේක්ෂකයෝ හැමදාමත් ආදරෙයි. ටෙලි තිරය හරහා රංගනයට අවතීර්ණ වෙමින් මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂක ආදරය හා ප්‍රතිචාර නොඅඩුව ලබමින් කලා ලොව හැඩ ඇය රංගනයට පමණක් සීමා නොවී ගායනයට, නර්තනයට වගේම නිවේදනයටත් දක්ෂයි. මේ කතාබහ ඇය සමඟිනි.නව වසරකුත් ලැබුවා. කොහොමද රුක්ෂානා ඉතින් ජීවිතේ?
ජීවිතේ ඉතාම හොඳින් ගෙවෙනවා. සුපුරුදු විදිහට කලා කටයුතු කර ගෙන ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගත වෙනවා.
මේ දවස්වල කලා නිර්මාණ මොනවද?
ජාතික රූපවාහිනියේ විකාශය වන ත්‍රිශුලදීප තඹවිට අධ්‍යක්ෂණය කරන ‘සතර වරම්‘ කියන නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරි අධ්‍යක්ෂණය කරන, දිල්හානි ද සිල්වා නිෂ්පාදනය කරන හනිමුන් ටුමාරෝ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. පහුගිය දවස්වල එහි රූපගත කිරීම් අවසන් කළා.
දැන් ක්ෂේත්රයට ඇවිත් අවුරුදු කීයක් වෙනවද?
2015 වර්ෂයේ වගේ මම ආවේ. ඒ නිසා දැන් අවුරුදු 10ක් විතර කාලයක් තිස්සේ කලාවේ නිරතව ඉන්නවා කිවුව නම් හරි.
මෙතෙක් කරපු නිර්මාණ ගැන තෘප්තිමත් ද?
ආස නිර්මාණ සහ ආස චරිත නම් බොහොමයක් තිබුණා. ඒත් ඒ හැම අවස්ථාවක්ම ලැබුණේ නැහැ. ලැබුණු අවස්ථාවන්වලින් සතුටු වෙනවා. ගොඩක් වෙලාවට මට ප්‍රධාන චරිත කරන්න අවස්ථාව ලැබුණේත් නැහැ. හැබැයි මම මෙතෙක් කරපු චරිතවලට මම මගේ උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසා අවුරුදු 10ක් වගේ කාලයක් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ලැබීම ගැන මම තෘප්තිමත්.
චරිතයක් භාරගනිද්දි රුක්ෂනගෙ කොන්දේසි මොන වගේද?
මම එහෙම ලොකුවට කොන්දේසි දාගෙන නැහැ. ඇඳුම් පැලඳුම් ගැන හිතන අවස්ථා නම් තියෙනවා. නමුත් මම චරිතෙ ඇතුළේ කොන්දේසි තියා ගන්නේ නැහැ. ඒක මම හිතන්නේ රංගන ශිල්පිනියකට සුදුසු නැහැ කියලයි. චරිතෙට අත්‍යවශ්‍ය දෙයක් නම් ඒ දේ කිරීමේ හැකියාව රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සතු වෙන්න ඕනේ. ඒ නිසා මම ඕනෙම අභියෝගයක් භාර ගන්න කැමැතියි. මම බලන්නේ ලැබෙන චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන දේ විතරයි. ඒ වගේම ඒ චරිතය ගැන හොඳ අධ්‍යයනයක යෙදෙනවා. අනික ඉස්සර වගේ චරිත තෝරන්න තරම් නිර්මාණත් නැහැ. ඒ නිසා ලැබෙන චරිතය සාධාරණව කරන්න උත්සාහ කරන්නෙ. මම ප්‍රධාන චරිත කරලා තියෙන්නේ තුනක් විතර අනෙක් ඒවා උප ප්‍රධාන චරිත.
මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ වඩාත් කැමැති චරිතයක් තියේද?
2018 වසරේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ ‘මතු සම්බන්ධයි’ ටෙලි නාට්‍යයේ චරිතයට සහ මෙඩිසිනා නාට්‍යයේ චරිතයට මං කැමැතියි. ඒක හාස්‍ය මුසු චරිතයක්.
වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිතේ මොකක් ද?
නීල පබළු නාට්‍යයේ රේෂ්මාගේ චරිතය. මොකද ඒ නාට්‍යය අවුරුදු හයහමාරක් විතර කාලයක් විකාශය වුණා. නීල පබළු කියන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳ ගත්ත ටෙලි නාට්‍යයක්.
කරන්න ආසාවෙන් ඉන්න චරිත තියේද?
එහෙම චරිත නම් ගොඩක් තියෙනවා. විවිධාකාර අභියෝගාත්මක චරිත කරන්න තමයි ආස. එකම ආකාරයේ චරිතවලට සීමා වෙන්න කැමැත්තක් නැහැ. මම හැම විටම උත්සාහ කරන්නේ එකිනෙකට වෙනස් වූ චරිත කරන්න.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
ටෙලි නාට්‍ය තුනක් සහ චිත්‍රපටයක් එන්න තියෙනවා.
ජනප්‍රිය කෙනෙක්විම කරදරයක් වුණු තැන් තියෙනවද?
මම හිතන්නේ මම එහෙම ලොකුවටම ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට නම් ජනප්‍රිය කෙනෙක්වීම කරදරයක් වුණු අවස්ථා නැහැ.
නර්තනය පැත්තෙන් දැන් මුකුත්ම කරන්නේ නැද්ද ?
නර්තනය පැත්තෙන් මම කවර්ස් කරගෙන ආවා. මම ඒ දේවල් මගේ යූටියුබ් නාළිකාවේ දානවා. නමුත් අවාසනාවකට වගේ මගේ යූ ටියුබ් නාළිකාව හැක් වුණා. ඒ අහිමිවීමත් එක්ක මම කාලයක් තිස්සේ මුකුත්ම කළේ නැහැ. හැබැයි නැවත නර්තනය පැත්තෙන් මගේ දේවල් ටිකක් එක්ක අලුත් යූටියුබ් නාළිකාවක් හදන්න හිතාගෙන ඉන්නවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
ලැබෙන අවස්ථාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තොත් මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.