මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දවස්වල මම අධ්‍යක්ෂණය කළ 24 ලව් ස්ටෝරි ටෙලි නාට්‍ය රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශය වෙනවා. මෙම කතාවේ තිර රචනය සිදු කළෙත් මමමයි. එහි වැඩකටයුතු සමඟ කාර්යබහුල අයුරින් මේ දවස් ගෙවී යනවා.
24 ලව් ස්ටෝරි නිර්මාණය වුණු අයුරු ගැන කියනවා නම්
මම මුලින්ම රෑනගල වලව්ව නිර්මාණය කළා. මේ කතාව ඒ කතාව සමඟ හාත්පසින්ම වෙනස් කතාවක්. මම සෑම දෙයකම තිබෙන මානුෂීය පැත්ත ගැන කතා කරන්න උත්සාහ දරනවා. මම සිතනවා අපි නිර්මාණකරුවන් විධියට ඒ ගැන කතා කළ යුතුයි කියලා. රෑනගල වලව්වේ තිබෙන්නේ සහෝදර සහෝදරියන්ගේ බැඳීම ගැන කතාබහ කරන වලව්වක් වටා ගෙතෙන කතාවක්. 24 ලව් ස්ටෝරි තුළ අපි කතාබහ කරන්නේ ආදරය පිළිබඳව. අද ආදරය නිසා පෙම්වතුන් පෙම්වතියන් හරියට විඳවනවා. ඔවුන් විසාදයට පත්වෙන තරමටම ජීවිතය විඳවනවා. මම මේ නිතර දේවල් දකිනවා. ආදරය කියන්නේ සුන්දර දෙයක් නම් ඇයි අපි මේ සුන්දර දෙය නිසා විඳවන්නේ. අම්මා තාත්තා කවුරුත් නැති පෙම්වතියක් තම පෙම්වතාට අසීමිත ලෙස ප්‍රේම කරනවා. එය වටා තමයි කතාව ආරම්භ වෙන්නේ.
රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම අධ්‍යක්ෂණයට පිවිසීමේදී ඔබට ලබාදුන් ආලෝකය මොන වගේද?
ඇත්තටම මම අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමට පෙර රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබීම මගේ දිවියට විශාල ආලෝකයක් වුණා. මම මේ ගමන ආවේ ඉතා සෙමින්. මනා අධ්‍යයනයකින් යුතුව අපි මේ දේවල් කළ යුතුයි. ඒ වගේම අපි සැම විටම අලුත් දේවල් අත්හදා බැලිය යුතුයි. මම දැන් කරන නිර්මාණයට වඩා අනෙක් නිර්මාණය වෙනස් විය යුතුයි. රංගන ජීවිතයේදී මට ගොඩාක් අත්දැකීම් ලැබුණා. මේ නිසා මට අවශ්‍ය චරිතය මට රඟපාලා පෙන්වීමේ හැකියාව තිබෙනවා. මගේ රංගන හැකියාව නිසා මට අධ්‍යක්ෂණයට පිවිසෙන්න ඉතා පහසුයි.
ඔබ තිරපිටපත් රචනය සිදු කරනවා මෙන්ම ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා ඒ ගැන කියමු?
මම මීට පෙර තිරපිටපත් කිහිපයක්ම රචනය කොට තිබෙනවා. රෑනගල වලව්ව කියන්නේ එවැනි කතාවක්. මම ඒ සඳහා වසර ගණනාවක් මහන්සි වුණා. මම රෑනගල වලව්ව රචනා කළේ මම රංගනයෙන් දායක වුණු නිර්මාණයක රූගත කිරීම් සඳහා ගිය විටෙක. ඒ රූගත කිරීම සිදු කළේ වලව්වකදී. ඒ මොහොතේ තමයි මේ කතාවට වස්තු බීජය මගේ සිතට පැමිණියේ. මගේ සිතට දැනෙන දේවල් ඒ වේගයෙන් සොයා ගැනීමේ හැකියාවක් මට නැහැ. මට තිබෙන කාර්යබහුල බව නිසා මට ඒ සඳහා කැප වී කටයුතු කරන්න අපහසුයි.
මේ නිසාම මම මේ කතාන්දර ලියන්න පුළුවන් අය සොයනවා. ඔවුන්ට මා සමඟ එක් වී තිරපිටපත් රචනා කිරීමට එක් වෙන්න කියා මම ආරාධනා කරනවා. මේ ක්ෂේත්‍රයට තිරපිටපත් රචකයන් වුවමනා කරනවා. මට කාලය මදි වීම නිසා මිසක් මම තිරපිටපත් රචනය කරන්න හරිම කැමැතියි. අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියා මම සිතනවා.
ලංකාව තුළ වස්තු බීජ සොයා ගැනීම අපහසුද?
කතා තේමාවන් කියන දෙය මගේ සිතේ කුඩා කාලයේ ඉඳන්ම පැවතියා. මම නිර්මාණකරණයට පිවිසෙන්නේ ඒ ඔස්සේ. බොහෝ පිරිසක් කතා තේමාවන් සොයා ගන්නේ වෙනත් රටක නිර්මාණවලින්. ඔවුන් කිව්ව කතාවක් තමයි මෙරට කතාවක් නිර්මාණය කරගන්න වස්තු බීජ නැහැ කියන දෙය. නමුත් ලංකාවේ ඕනෑ තරම් කතාන්දර ගොඩනැඟිය හැකි වස්තුබීජ සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ගමකට ගියාම, වෙනත් ප්‍රදේශයකට ගියාම කා සමඟ හෝ කතාබහ කළ විට ඕනෑ තරම් වස්තු බීජ සොයා ගන්න පුළුවන්. ඒ ඔස්සේ අපිට ප්‍රබල කතාන්දර ගොඩනඟා ගන්න පුළුවන්.
වත්මන් කලාවේ නව පිබිදීම සහ තරුණ පරපුර පිළිබඳව ඔබේ අදහස
ලංකාවේ කලාව තව ඉදිරියට යායුතුයි කියා මම සිතනවා. ලංකාවේ නවක තරුණ තරුණියන් දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් තිබෙනවා. ඒ දෙය ඉතා සුබ ලකුණක්. ඔවුන්ගෙන් සහයෝගය ලැබුණොත් එහෙම මේ ක්ෂේත්‍රය තව තවත් ඉදිරියට යාවි.
ඔබව අභිප්‍රේරණය කළ නිර්මාණකරුවකු හෝ කලා කෘතියක් ගැන කියමු
ඇත්තටම මට ඒ ගැන කියන්න බැහැ. එහෙම එක් කලාකරුවකු හෝ එක් කලා නිර්මාණයක් මාව නිර්මාණකරණයට කිරීම සඳහා අභිප්‍රේරණය කළා කියා පවසන්න බැහැ.
ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්
මම කරන දේවල් කියන්න කැමැති කෙනෙක් නෙවෙයි. නමුත් ඉස්සරහට තවත් නිර්මාණයක් සිදු කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වෙනුවෙන් මම මේ දිනවල වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. කාල වේලාව හැම දේකටම හරහට හිටලා. ඉතින් කාලය කළමනාකරණය කරගෙන නිර්මාණකරණයෙහි යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.
ගිහාන් සචින්ත