මීට දශක දෙකකට පමණ පෙර ප්‍රසංග වේදිකාව එළිය කළ සුන්දර නර්තන රැජන ඇයයි. එලෙස නර්තනය හරහා ක්ෂේත්‍රයට පැමිණි ඇය අවසානයේ මෙරට සිටින ජනප්‍රියම ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පිනියක් බවට පත් වූයේ තමා සතුව තිබූ සුන්දර පෙනුමද, දක්ෂතාවද හේතුවෙනි. ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටියදී තම දරුවා වෙනුවෙන් කැප වීම සඳහා තාවකාලිකව රංගනය අත්හළ ඇය නැවතත් මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයක් හරහා රංගන ක්ෂේත්‍රයේ තම දෙවැනි ගමන ආරම්භ කර ඇත. මේ අන් කවරකුවත් නොව ජනප්‍රිය රංගන හා නර්තන ශිල්පිනි හිමාලි සිරිවර්ධනයි.
කාලෙකට පස්සේ, මොනවද ඉතිං අලුත් විස්තර?
ඔව්, මම ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියේ. ඒ මගේ පුතා ලැබුණට පස්සේ ටික කාලයක් එයත් එක්ක හිටපු නිසා. නමුත් ඊට පස්සෙත් ටෙලි නාට්‍ය දෙකකට වගේ සම්බන්ධ වුණා. ඔය අතරතුර තමයි මම තීරණය කළේ දැන් නැවතත් ෆුල් ටයිම් රංගනයට යොමු වෙන්න ඕන කියලා. ඒත් එක්කම මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍ය දෙකකට දායකත්වය දෙනවා සහ තව අලුත්ම නිර්මාණයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
කාලෙකට පස්සේ ඔබව දකින ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මම දන්න, අඳුනන අය ගොඩක් කාලෙක ඉඳන් කියන දෙයක් තමයි, දිගටම වැඩ කරන්න, රංගනයයි, නර්තනයයි අතාරින්න එපා කියන එක. ඉතිං ආයෙත් මම නිර්මාණවලට දායක වෙලා ඉන්නවා දැක්කම බොහෝ හිතවතුන් මට කතා කරලා සුබ පැතුවා. ඉතිං හිතවතුන්ගේ ඒ ප්‍රතිචාරත් මට ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයනුත් මට කියන්නේ දිගටම වැඩ කරන්න කියන එක. මම සාමාන්‍යයෙන් යූ ටියුබ්, ෆේස්බුක් වගේ ප්ලැට්ෆෝම්වල කමෙන්ට් කියවන කෙනෙක් නෙවෙයි. මෑතකදි මම අහම්බෙන් ආලේ ටෙලි නාට්‍යයට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කියවද්දි තමයි ඔවුන් මගේ චරිතය ගැන කියලා තියෙන දේවල් දැක්කේ. හරිම සතුටුයි, ප්‍රේක්ෂකයන් ඒ චරිතය ඉතාමත් ආදරයෙන් වැලඳගෙන තිබුණා. ගොඩක් දෙනෙක්, “මේ වගේ අම්මා කෙනෙක් අපිටත් හිටියා නම්” කියලා කමෙන්ට් කරලා තිබුණා.
සිහිනෙක තනිවෙලා, ආලේ මේ නිර්මාණ දෙකේම මවගේ භූමිකාව පෞද්ගලිකව ඔබට දැනෙන්නේ කොහොමද?
මගේ ඇත්ත ජීවිතයේදී අම්මා කියන භූමිකාවේදි මම හරිම සංවේදී කෙනෙක්. මට ඉන්නේ පුතෙක්. අවුරුදු 7යි එයාට. මම එයාව පුළුවන් උපරිමයෙන් තේරුම්ගන්න උත්සාහ කරනවා. අපිටත් ළමා වියක් තිබුණා. හැබැයි අපිට දැන් ඒ කාලය මතක නැහැ. අපි ඒ කාලේ මොන වගේද කියලා දන්නේ අම්මාලා තාත්තලා කියන දේවල්වලින්. මම ගොඩක් උත්සාහ කරනවා මගේ පුතා කොයි වගේද කියන එක අඳුනගන්න. මේ නිර්මාණ දෙකේදිම රඟපාන්න ගියාම ඒක චරිතයක් කියන එක දැනෙන්නේ නැහැ. ඒ චරිතයට අනුගත වුණාම අපි මේ නාට්‍යයක් කරන්නේ කියන හැඟීම මට එන්නේ නැහැ. එයාලත් මාත් එක්ක ඉතාමත් ළඟින්ම අම්මා වගේ දැනෙන තරමටම සමීපව කටයුතු කරනවා. සමහර ජවනිකාවලදි ඒක රංගනයක් වුණත්, මගේ දරුවට මෙහෙම වුණොත් මම මොනාද කරන්නේ කියන හැඟීම නිසාම සංවේදී වන අවස්ථා තියෙනවා. අපි ඉතාමත් සමීපව, බොහොම සුහදව තමයි කටයුතු කරන්නේ. ඒ සමීප බව නිසාම ඒ චරිත ආයාසයකින් තොරව ප්‍රේක්ෂකයන්ට දනවන්න හැකි වෙලා තියෙනවා.
ඔබට මෑතකදි ලැබුණු සම්මානය ගැනත් කතා කරමු?
මෑතකදි අලුත් වැඩ නොකරපු නිසා කාලෙකට පස්සේ ලැබුණු සම්මානයක් තමයි ඒක. ඒ සම්මානය හිමිවුණේ කාන්තාවක් විධියට සමාජයට කළ යහපත් බලපෑම නිසා. ඉතිං හරිම සතුටුයි. කලාකාරියක් විධියට තමයි මට මේ වුමන් ලෙජන්ඩ් සම්මානය හිමි වුණේ. කාන්තාවක් විධියට රංගනය, නර්තනය හරහා මම තියාගත්ත නම, පෙන් වූ දක්ෂතාව ඔවුන් දැකපු නිසා වෙන්න ඇති මට මේ සම්මානය ලබා දුන්නේ. අපි කවුරුත් වැඩ කරන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. නමුත් සම්මානයක් ලැබීම හරහා අපිට තව පියවරයන් කිහිපයක්ම ඉදිරියට යන්න උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසාම මීට පෙර ලැබුණු සම්මාන වගේම මේ වුමන් ලෙජන්ඩ් සම්මානයත් මට බෙහෙවින් වටිනවා.
“කාන්තාවන්ට නොගැළපෙන රැකියා, ගැහැනියක්ට වැරැදුණොත් වැරැදුණාමයි.” මේ වගේ අදහස් ගැන ඔබේ ආකල්පය?
මගේ සෙන්සේෂන් නර්තන කණ්ඩායම පටන් ගත්ත මුල් කාලයේදිත් ගොඩක් අය හිටියේ ඔය වගේ රාමුවක් ඇතුළේ. ඒ කාලයේ මම මගේ නර්තන කණ්ඩායමත් එක්ක එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙද්දි මට සමාජයෙන් විශාල විවේචනයන් එල්ල වුණා. නමුත් මට අවශ්‍ය වුණා, “මම කරන්නේ නර්තනය විතරයි, වෙන වැරැදි දෙයක් කරන්නේ නැහැ” කියන දේ සමාජයට ඔප්පු කරලා පෙන්වන්න. කාලයත් එක්ක වෘත්තීමය භාවය පවත්වාගනිමින් මම ඒ දේ සමාජයට ඔප්පු කරලා පෙන්නුවා. ආඩම්බර වෙන්න පුළුවන්, කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් ගමනක් මම ආවේ. කාන්තාවන් කියලා කිසිම රාමුවකට කොටු විය යුතු නැහැ. හැබැයි ඒකෙ දෙපැත්තක් තියෙනවා. එතැනදි අපි කාන්තාවන් විධියට අපේ මාර්ගය මොකක්ද කියන එක අවබෝධ කරගෙන, ඒ මාර්ගයෙන් පිට පනින්නේ නැතිව වැඩේ පමණක් ෆෝකස් කරලා කටයුතු කළ යුතුයි. ඒක කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් පොදුයි. මනුස්සයෙක්ට රාමුවකට කොටු නොවී තමන්ගේ නිදහසේ ඉදිරියට යන්න පුළුවන්, නමුත් අපි කරන දේ ගැන අවබෝධයක් තිබිය යුතුමයි.
මොන තරම් චරිත ප්‍රමාණයක් කරත් බහුතරයකට ඔබව තාමත් සඳා, ඒ ගැනත් කියමු?
සඳගලතැන්න ටෙලි නාට්‍යයේ සඳා චරිතය ප්‍රේක්ෂකයන් පුදුම විධියට වැලඳගත්ත චරිතයක්. ඒ කාලේ ගොඩක් අය මගේ නම දන්නේ නැහැ. මට සඳා කියලා කතා කරන්නේ. අදටත් ඒ සිංදුව, ඒ චරිත සහ අපි කරපු සමහර දර්ශන පවා ප්‍රේක්ෂකයන්ට මතකයි. මම හිතන්නේ ඒක ලොකු වාසනාවක්. මම අදටත් සඳාට හරිම ආදරෙයි. මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි සඳා. මට ඒ අවස්ථාව දීපු ජාතික රූපවාහිනියටත්, සමන් කුමාර ලියනගේ මහත්මයාටත් මම බෙහෙවින් ස්තුති වෙනවා. සඳා වෙනුවෙන් මම සම්මානයට පාත්‍ර වුණා, ජනතාවගේ ආදරයට පාත්‍ර වුණා. ඒ වගේ චරිතයක් කරන්න ලැබීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
පහුගිය කාලේ ඔබ විශාල අනතුරකට මුහුණ දුන්නා, මේ වෙද්දි පූර්ණ සුවය ලබලාද ඉන්නේ?
ඇත්තටම සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයේ රූගත කිරීමකදි තමයි ඒ අනතුර සිද්ධ වුණේ. ඒ අනතුර බරපතළ විධියට සිද්ධ වුණත්, මට විශාල හානියක් වුණේ නැහැ. වැටුණු වෙලාවෙම මම නැඟිට්ටා. ඒ වැටුණු විධියට ගොඩක් අය හිතුවා මට දරුණු විධියට තුවාල වෙලා රෝහල් ගත කරන්න ඇති කියලා. සමහර සමාජ මාධ්‍ය ගිණුම්වල මම මියගියා කියලත් පළ කරලා තිබුණා. ඒ වෙලාවේ මට හිතුණු දෙයක් තමයි සමහර වෙලාවට අපි දෙයක් හරියට දැනගන්නේ නැතුව ප්‍රචාරය කරන එක කොයිතරම් වැරැදිද කියන එක. ඒ නිසා මට ආදරය කරපු බොහෝ දෙනෙක් කලබල වෙලා තිබුණා. මට, මගේ අම්මාට, සැමියට, අක්කාට එක දිගටම දුරකථන ඇමතුම් එන්න පටන් ගත්තා. නමුත් ඇත්තටම ඒ වෙලාවේ මට හිතුණු දෙයක් තමයි මිනිසුන්ගෙන් මේ තරම් ආදරයක් ලැබෙන්න තරම් මම මොනතරම් වාසනාවන්තද කියලා. ඇත්තටම ඒ අනතුර නිසා මට කිසිම කරදරයක් වුණේ නැහැ. ඒ වෙලාවේ සිහිනයක තනිවෙලා ටෙලි නාට්‍යයේ පිරිස සහ ඒ ලොකේශන් එක අයිති නිවසේ පිරිස මට ඉතාමත් හොඳින් අවශ්‍ය මූලික ප්‍රතිකාර ටික ලබා දුන්නා. ඔවුන්ටත් මම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.
අක්ෂි මාපා වීරසිංහ