හැමෝම පුදුම වෙන ශනුද්‍රිගෙ අලුත්ම වැඩේ

gossiplanka image 2
 


නීරා හි ප්‍රනීති කියන්නේ මේ වෙද්දී කාගේත් හදවතේ රැඳුණු චරිතයක්. ඒ චරිතයට පණ දුන් ඇය දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. මේ වෙද්දී නීරා හි ප්‍රනීති ඇයගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වී අවසානයි. ඉතින් මේ සොඳුරු කතාබහ මෙවර හදගැස්මට ඇයගෙන්. ඇය නමින් ශනුද්‍රි ප්‍රියසාද්.


මේ දිනවල නීරා චිත්‍රපටය අතිශය ජනප්‍රියයි. ප්‍රනීතිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ දවස්වල ප්‍රනීතිට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. බලාපොරොත්තු නොවුණු විධියට හිතුවටත් වැඩියෙන් ප්‍රේක්ෂකයන් හරිම ආදරයෙන් ප්‍රනීති කියන චරිතය වැලඳගෙන තිබෙනවා. ඉතින් මේ දවස්වල වැඩිපුර කාලය ගෙවෙන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි.


නීරා හි ප්‍රනීති ඔබේ රංගන ජීවිතයේ නව හැරවුමක් නේද?


මට ප්‍රේක්ෂකයන් වැඩි පිරිසකගෙන් ඇහෙන දෙයක් තමයි මගෙන් මෙතෙක් දැකපු හොඳම රංගනය ප්‍රනීති කියන දේ. ඒක මට ලොකු අභියෝගයක් වුණා. නමුත් මම රඟපානකොට ඒක ඇත්තටම හැරවුමක් වෙයි කියලා හිතුවේ නෑ. ඒත් චිත්‍රපටය මිනිසුන් අතරට ගියාම මටත් තේරුණේ මම සිනමාවට නවකයෙක් විධියට ආපු ගමන්ම මේ වගේ අභියෝගයක් ලැබීමම මට ටිකක් විශේෂයි කියලා. ඉතින් මේ ගමනේදි ප්‍රනීති කියන චරිතය මම මෙතෙක් කරපු හොඳම චරිතයක් විධියට ගන්නවා.


නීරා හි බහුවිධ චරිත නිරූපණයේ අභියෝගය දැනුණේ කොහොමද?


මම ගොඩක්ම රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ පෙම්වතිය කියන චරිතයට. පෙම්වතිය ඇතුළේ විය හැකි සිද්ධීන් ටික මම විවිධ නිර්මාණ තුළ නිරූපණය කරලා තිබෙනවා. නමුත් මේ නිර්මාණය විශේෂ වෙන අනෙක් කාරණාව වෙන්නේ මට ජීවිතයේ නැති අත්දැකීම් ගොඩක් ප්‍රනීතිගෙන් මට එළියට දෙන්න සිදුවුණා. බිරිය, මව කියන චරිත දෙක තුළම තිබෙන හිමිවීම්, අහිමිවීම් මේ සියල්ලම මේ පැය දෙක තුළ මට නිරූපණය කරන්න සිද්ධ වුණා. ඉතින් මම ඒ කිසිම එකක අත්දැකීමක් නැතිව කළේ. නමුත් ඒ චරිත ඇතුළට මම ගියාට පස්සේ ඒ චරිතය මම ගොඩක් ආදරයෙන් කරපු චරිතයක් නිසා ඒ හැම කොටසකටම සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඒ වගේම මෙහි ලොකුම ක්‍රෙඩිට් එක මම වාසව බදුගේ අයියට දෙනවා. මම ගැන මට නොතිබුණු විශ්වාසයක් ඔහුට තිබුණා. එතරම් බරපතළ දෙයක් මගේ අතට දීලා මාව විශ්වාස කරපු වාසව බදුගේ අයියව මේ වෙලාවෙ මම ආදරයෙන් මතක් කරනවා.


ඔබ මෙවන් දක්ෂ චරිත නිරූපණයකට පෙර ස්වයං හැදෑරීම් අධ්‍යයන සිදු කළාද?


ඒක කියන්නම ඕනෑ. අපි සූදානම් වීම් ගොඩක් කළා. චිත්‍රපටයේ තිරපිටපත හැමෝටම අතට ලැබුණට පස්සේ අපි ස්ක්‍රිප්ට් එක කියැවීම වගේ ගොඩක් දේවල් එකට එකතු වෙලා කළා. මේක ඇත්තටම කණ්ඩායමක් එකට එකතු වෙලා කරපු දෙයක්. මට තනියෙන් කිසිම ක්‍රෙඩිට් එකක් ගන්න බෑ. මොකද මේ තුළ අනෙක් චරිත හතරත් ඔවුන්ගේ පැත්තෙන් උපරිමයෙන්ම කළා. ඉතින් ඒකට අපි ගොඩක් සාකච්ඡා තියලා පුහුණුවීම් කරලා තමයි සෙට් එකට යන්න කලින් සූදනම් වුණේ. ඒ වගේම මට ඕනෑම වැඩක් ලැබුණම මම තනියෙන් ගෙදරදී මට නිරූපණය කරන්න තියෙන දේවල් විවිධ විධියට කරලා බලනවා. මම හිතන්නේ ඒ වගේ දේවල් ටිකක් කරලා තමයි ප්‍රනීති කියන චරිතයට පෙර සූදානමක් වුණේ. නමුත් කලින් කිව්වා වගේ ටීම් වර්ක් කියන දේ මේ තුළ ලොකුවටම තිබුණා.


නීරා වගේම මෝඩ තරිඳුත් මේ වෙද්දි තිරගත වෙනවා. මෝඩ තරිඳු හි දිනූ ගැනත් කතා කරමු?


දිනූ කියන්නේ ප්‍රනීතිට හාත්පසින්ම වෙනස් චරිතයක්. මේ කතාවේදී මම පෙම්වතියක්. නමුත් ආදරණීය පෙම්වතියක් නෙවෙයි. ඇය ටිකක් කපටි අවංක නැති පෙම්වතියක්. ඒ තුළත් මම කලින් නොකරපු විධියේ චරිතයක් මට නිරූපණය කරන්න තිබුණා. ඉතින් දිනූටත් ප්‍රනීති හා සමානවම හොඳම ප්‍රතිචාර මේ දවස්වල ලැබෙනවා.


නීරා චිත්‍රපටය හරහා සමාජගත කරන පණිවිඩය ගැන ඔබේ අදහස?


ඔව්. මේ කතාවේ අවසානයේ කාන්තාව කියන කෙනාව හරි උසස් තැනක තියලා තමයි කතාව නිමා කරන්නේ. ඒක බැලූ බැල්මට ඕනෑම කෙනකුට අවසානයේදී හිතාගන්න පුළුවන්. කාන්තාව කියන කෙනාගේ දරා ගැනීම, තමන් වෙනුවෙන් සටන් කිරීම සහ අත්හැරිය යුතු තැනදී අත්හැරීම කියන කොටස් ගොඩක් කතාව හරහා පණිවිඩයක් විධියට සමාජයට දෙනවා. මට පෞද්ගලිකව ගොඩක් ගැහැනු ළමයින්ගෙන් කමෙන්ට්ස්, මැසේජ් ලැබුණේ ඔවුන්ට ජීවිතේ ගන්න බැරිවුණ තීරණ ගන්න මේ කතාව හරහා හොඳ පන්නරයක් ලැබුණා කියලා. මේ කතාවේ චරිත හතර දිහා හතර පැත්තෙන් බැලුවොත් සමහර විට ඒ හැම චරිතයක්ම සාධාරණයි කියලා හිතෙන්න පුළුවන්. රශ්මිගෙ පැත්තෙත්, මේඝගේ පැත්තෙත් නීරාව ගත්තොත් ඇයගේ පැත්තෙනුත්, ප්‍රනීතිගේ පැත්තෙනුත් කතාවක් තිබෙනවා. හැම කෝණයකින්ම බලලා ජීවිතයට යමක් ගන්න පුළුවන් කතාවක් තමයි නීරා.


දැන් දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් නිර්මාණ විචාරය හා විවේචනය කිරීම ගැන ඔබේ අදහස?


මම හිතන්නේ අපි නිර්මාණයක් කරලා අවසන් කළාට පසුව ප්‍රේක්ෂකයන්ට බාර දුන්නාම ඒක ප්‍රේක්ෂකයන්ට තමයි අයිති වෙන්නේ. ඒක විවේචනයට, විචාරයට මේ හැමදෙයකටම ඔවුන්ට අයිතිය තිබෙනවා. හොඳ, නරක කියන දෙකම අපි එක හිතින් භාර ගන්නවා කියන තැන ඉඳන් අපේ නිර්මාණ අපි කරන්න ඕනෑ. ඒ දෙකම අපට වටිනවා. ප්‍රේක්ෂකයෙක් නිර්මාණයක් බලලා ඇත්තටම ඔවුන්ට හිතෙන දේ කියන එක නිර්මාණකරුවකුට ගොඩක් වටිනවා. මම හිතන්නේ මේ දවස්වල බොහෝදෙනකු ගොඩක් විචාර මම ගැන කියමින් නීරා චිත්‍රපටය ගැන ලියලා තිබෙනවා .මම ඒවා කියවනවා. ඒවා කියෙව්වාම ලොකු පන්නරයක් ලැබෙනවා. තව වැඩ කරන්න ආශා හිතෙනවා. ඒ වගේම කරන දේවල් දියුණු කරගෙන ඉදිරියට යන්න ඒක ලොකු උදව්වක්.


සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක ලෙසත්, රංගන ශිල්පිනියක් ලෙසත් ප්‍රේක්ෂක ආදරය දැනෙන්නේ කොහොමද?


සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් කියනවාට වඩා මාව content creator කෙනකු ලෙස හඳුන්වනවාට කැමැතියි. මොකද මම ගොඩක් වෙලාවට කරන්නෙ සමාජ මාධ්‍ය තුළ මම කැමැති, අකැමැති දේවල් මගේ ජීවිතේ දේවල් බෙදාගන්න එක. ඒවාට ඇත්තටම ආදරය කරන පිරිසක් කාලයත් එක්ක එකතු වෙලා තිබෙනවා. මම කවදාවත් ව්‍යාජ විධියට සමාජ මාධ්‍ය හසුරවන්නේ නෑ. මේ මම ඇත්ත ජීවිතේ ඉන්න කෙනාමයි සමාජ මාධ්‍ය තුළ ඉන්නෙත්. ශනුද්‍රි කියන කෙනාට ආදරය කරන පිරිසක් ඉන්න එකත්, මගේ ජීවිතයෙන් ඒ අයගේ ජීවිතයට මොනවා හරි යමක් ගන්නවා කියද්දි මට හරිම සතුටුයි.


ඔබේ තරු ගුණය මෙතරම් හොඳින් පවත්වාගෙන යෑමේ රහස කියමු?


මම හිතන්නේ තරු ගුණය කියන දේ ටැලන්ට් එකත් එක්ක එකට එකතු වුණාම තමයි පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අපිට සමහර වෙලාවට ගොඩක් දක්ෂතා තිබෙන තරු ගුණය නැති අය හමුවෙන්න පුළුවන්. නමුත් දක්ෂතාව සහ තරු ගුණය එකට එකතු කර ගත්තම ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. ඔය දෙක එකට එකතු කරගෙන වැඩේට සීයට සියයක් දීලා කරද්දි තමන්ටම ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. එවිට ඒක රඳා පවත්වා ගන්න හරිම පහසුයි.


ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?


ආදරය හා විවාහය කියන දෙක එක්කෙනාගෙන් එක්කෙනාට හිතන විධිය වෙනස් වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ආදරය බලාපොරොත්තු වෙනවාට වඩා ආදරය දෙන කෙනෙක්. මම මට පුළුවන් තරම් හොඳින් හැමෝමත් එක්ක ආදරයෙන් ඉන්නවා. ඒකට කවුරුත් මට අනෙක් පැත්තට ආදරය දෙන්න ඕනෑ කියන තැන මම නෑ. නමුත් තමන්ට හරිම කෙනා සහ හරිම පිරිස ළඟ ඉන්නවා නම් අඩුවකින් තොරව ඒ ආදරය ලැබෙනවා. ඒ වගේම විවාහය කියන්නෙත් කෙනකුගේ ජීවිතයේ විශේෂම දෙයක්. ඒක අපි හොඳට හිතලා බලලා තේරුම් අරගෙන කරන්න ඕනෑ දෙයක්. මම හිතන්නේ තමන් තමන්ගේ ගමන යන ගමන් ඒකට සහයෝගය දක්වන පාට්නර් කෙනකු ඒ ගමන යන්න එකතු කරගත්තොත් විවාහය කියන දේ ගොඩක් සාර්ථකයි.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


මේ දිනවල නම් නීරා සහ මෝඩ තරිඳු ප්‍රමෝෂන් වැඩකටයුතු එක්ක තමයි වැඩි කාලයක් ගතවෙන්නේ. ඒත් එක්කම මම තව චිත්‍රපට දෙකක් අවසන් කරලා තිබෙන්නේ. අග්නිජය ලොකු පිරිසක් එක්ක වැඩ කරන දැවැන්ත චිත්‍රපටයක්. ඒක ලබන අවුරුද්දේ බලන්න පුළුවන් වෙයි. තවත් එක නිර්මාණයක් තිබෙනවා. ඒක හැමෝටම ටිකක් සර්ප්‍රයිස් එකක් වෙයි. ඒ ගැන දැනට ලොකු විස්තරයක් නොකර ඉන්නම්. ලබන අවුරුද්දටත් තව චිත්‍රපට දෙකකට මම සම්බන්ධ වෙන්න කැමැති වෙලා ඉන්නවා. ඉතින් ඒ චිත්‍රපට දෙක ගැන ඉදිරියට කතා කරන්නම්.

gossiplanka image 1
Previous Post Next Post