කොහොමද මේ දවස්වල කාර්යබහුලද?
මේ දිනවල හිරු නාළිකාවෙන් විකාශය වන ‘පාට කුරුල්ලෝ’, දෙරණ නාළිකාවෙන් විකාශය වන ‘හිත නිදි නෑ’, ‘සිනාවේ කතාවේ’ මෙන්ම කෝපි කඩේ ටෙලි නාට්‍යවල රංගනයේ නිරත වෙලා ඉන්නවා. ලොකු කාර්යබහුලකමක් නම් නැහැ. ඒ වුණාට වැඩ කරනවා. ඒ වගේම මේ දිනවල ධර්මපාල සුදුමල්කන්දගේ චිත්‍රපටයක දමිළ පුද්ගලයකුගේ චරිතයට දායක වෙනවා.
ඔබේ රංගනය සඳහා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්?
ඉතාමත් ඉහළයි. දැනට රංගනයේ යෙදිලා ඉන්න චරිතවලට වගේම අතීතයේ මම රඟපෑ ‘හීන් බබාගෙ’ චරිතයට තවමත් ප්‍රතිචාර ලැබෙනවා. මටත් වඩා වයසක අය මට ‘හීන් බබා සීයා’ කියලා කතා කරනවා. එහෙම කතා කරද්දි මට හරිම සතුටුයි.
ඔබ වඩාත් ජනප්‍රිය වූ ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ චරිතය ගැනත් කතා කරමුද?
මම මුලින්ම එක් වෙන්නෙ අවුරුදු නාට්‍ය රංගනයක් සමඟින්. ඉන් පසුව සිදංගනාවෝ ටෙලි නාට්‍යයේ චරිතයක් කරනවා. ඊට පසුව තමයි මලී, අත්තම්මා සහ සිඳු ටෙලි නාට්‍ය සමඟ එක්වෙන්නේ. ඒ නාට්‍ය තුනේම තිබුණ චරිතයක් තමයි ‘හීන් බබා’ කියන්නේ. කොටස් 2,500ක එකම චරිතයක් රඟපෑ ප්‍රථම කෙනා මමයි. ඒ වගේම එම චරිතය මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණා.
හීන් බබාගේ චරිතය තුළ දිගින් දිගටම රැඳී සිටීම නිසා විවිධ චරිතයන් රඟපෑමේ අවස්ථාව ගිලිහිලා ගියේ නැද්ද?
ඔව්. ඒක ඇත්ත. මට මේ වෙද්දි ගොඩක්ම ලැබෙන්නේ ‘මෙහෙකරුවන්ගේ’ චරිත. ඒකාකාරී චරිතවලට කොටු වීම ‘පාට කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ චරිතය නිසා නැතිව ගියා. ඒ ගැන සතුටුයි. පාට කුරුල්ලෝහි මම රඟපාන්නේ ‘සෙනරත්’ කියලා මැනේජර් කෙනෙක්ගේ චරිතයක්. මට එවැනි චරිතයක් දුන්නට සිවගුරුනාදන් මහතාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඔහු තමයි ඔයා එකම විදිහේ චරිතනේ කරන්නේ ඒ නිසා වෙනස් චරිතයකුත් කරල බලමු කියලා මාව මේ චරිතයට තෝරා ගත්තේ.
ඉදිරියේදී මොන වගේ චරිත රඟපාන්න ලැබුණොත් හොඳයිද?
මම සිදංගනාවෝ ටෙලි නාට්‍යයේ රඟපෑවේ මුදලාලි කෙනකුගේ චරිතයක්. එම චරිතය ටිකක් සැර පරුෂයි වගේම ගොරෝසුයි. ඉදිරියේදී එවැනි චරිත රඟපාන්න කැමැතියි. ඒ වගේම දෙමළ බස කතා කරන චරිත ලැබෙනවා නම් ඒත් ආසයි. දාමරිකයකුගේ චරිතයක් වුවත් කරන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතේ තිබෙනවා. ඊට අමතරව වයසට ගැළපෙන ඕනෑම චරිතයක් කරන්න කැමැතියි.
හමු වූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය කොහොමද?
මට හමුවූ අධ්‍යක්ෂවරු හැම කෙනෙක්ම මනුස්සකමින් හරිම සුන්දරයි. ඒ වගේම එක් අයෙක්ට එක් අයෙක් හරිම සුවිශේෂයි. එක් අයකුගේ නමක් සඳහන් කරලා මෙයා හොඳයි කියලා මට කියන්න බැහැ. එදා සිට මේ දක්වාම මම රඟපෑ සෑම ටෙලි නාට්‍යයකම අධ්‍යක්ෂවරුන්ගෙන් මගේ ගමනට ලැබුණු සහයෝගය වචනවලින් කියල නිම කරන්න බැහැ.
‘චරිතයක්’ ඔබට ආවේණික ලෙස ගොඩනඟා ගන්නේ කොහොමද?
ටෙලි නාට්‍යයක් සඳහා චරිතයක් ගොඩනඟා ගැනීමේදී මුලින්ම මම සේන ගුණවර්ධන කියන එක අමතක කරනවා. එතැන් සිට මම ජීවත් වෙන්නේ මට ලැබුණු ඒ චරිතයත් සමඟයි. ඒ නිසා තමයි අඬන චරිතයක් ලැබුණම වුණත් මගේ ඇස්වලට කඳුළු ගන්න කෘත්‍රිම ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නෑ. උදාහරණයක් විදිහට පාරදිගේ ටෙලි නාට්‍යයේ ආරියසේනගේ චරිතය නිතරම ඇස්වලට කඳුළු එන චරිතයක්. එම චරිතයේදී වුණත් ඇස්වලට කඳුළු ගන්න මම ග්ලිසරින් භාවිත කළේ නැහැ.
චරිතයකට අදාළව පූර්ව දර්ශන ගැන අවබෝධයක් නැතිව රඟපාන එක අපහසුයි නේද?
එය නම් විශාල ගැටලුවක්. මොකද මේ වෙද්දි සම්පූර්ණ පිටපත අපට දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ වුණාට අපට අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරලා අවශ්‍ය ගැටලුවලට පිළිතුරු සොයා ගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යක්ෂවරයාත් අවශ්‍ය පැහැදිලි කිරීම් කරනවා. එතැනදි සහයෝගිතාවය ගොඩනඟා ගැනීම එතරම් අපහසු වන්නේ නැහැ. ඒ වගේම තමයි සහයෝගයෙන් මේ වැඩේ කරගෙන යන්න බැහැ කියලා හිතුණොත් ඕනෑම අවස්ථාවක අපි ඒ ගැන අධ්‍යක්ෂවරයා සමඟ කතා කරනවා.
වර්තමාන ටෙලි නාට්‍ය පිළිබඳ ඔබේ කියැවීම?
වර්තමානයේ තිබෙන ටෙලි නාට්‍ය එකිනෙකට වෙනස්. ඒ වගේම මේ වෙද්දි විකාශය වන ඒකාකාරී ටෙලි නාට්‍ය සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා අඩුයි. ඒකාකාරී ටෙලි නාට්‍ය නැරැඹීමෙන් මේ වන විට රසිකයන් ඈත් වෙමින් සිටිනවා. එසේම ටෙලි නාට්‍යයක චරිත දහයක් තිබෙනවා නම් ඒ චරිත දහය එකින් එක වෙනස් වෙන්න ඕනෑ. එහිදි එම නාට්‍යයෙන් ලැබෙන රසාස්වාදය වැඩියි.
මෙගා නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?
වෙනත් රටවල වගෙ නෙවෙයි අපේ රටේ නාට්‍ය ගැන තීරණ ගන්නේ ප්‍රේක්ෂකයෝ. වැඩිපුර ප්‍රේක්ෂකයන් එම ටෙලි නාට්‍ය බලනවා නම් එහිදී එම නාට්‍ය ටික දුරක් වැඩිපුර අරගෙන යන්න එහි අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයා උත්සාහ කරනවා. අලුත් නාට්‍යයක් නොකර තියෙන නාට්‍යයම වැඩිපුර කාලයක් අරගෙන යෑමෙන් ඔවුනට මුල්‍යමය ලාභයක් ලැබෙනවා. මම නම් එහි ලොකු වරදක් දකින්නෙ නැහැ. නමුත් කාලයත් සමඟ මේ සියල්ල වෙනස් වෙයි. වෙනස් වෙන්නත් ඕනෑ. වර්තමානයේදී නම් මට එහෙම ලොකු වෙනසක් දකින්න නැහැ. ප්‍රේක්ෂකයන් තීරණය කළ යුතුයි මෙගා නාට්‍යයක් මොන තරම් දුරක් අරගෙන යනවද කියලා.
සිනමා රංගනයට ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවාද?
මුලින්ම මෙම සිනමාවට එකතු වෙන්නෙ කුවේණි චිත්‍රපටය තුළින්. එම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණයටත් මම සම්බන්ධ වෙනවා. ඒ සඳහා මට සම්මානයක් ලැබුණා. ඉන්පසු ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේත් මම චරිතයක් කළා. මේ දිනවල රූගත කිරීම් කරන ධර්මපාල සුදුමල්කන්ද අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටයේ මම විදුහල්පතිවරයකුගේ සහ ඇමැතිගෙ ගෙදර මෙහෙකරු කියන ද්විත්ව චරිතයක් කරනවා.
අරුණි ජයසේකර