අවුරුදු 10කින් මගෙ ටාගට් එකට යනවා-හිමේන් ජයසේකර

gossiplanka image 1
බොහෝ දෙනෙක් සිහින දකින්නට බිය, ඒවා සැබෑ කරගන්නට වෙහෙසෙන්නට ඇති අකැමැත්ත නිසයි. නමුත් උත්සාහවන්තයා නොනැවතී සිහින දකින්නේ ඒවා සැබෑ කර ගන්නට හැකියාව තමා සතුව ඇති බව දන්නා බැවිනි. හිමේන් ජයසේකර යනුද එලෙස නොබියව සිහින දැක ඒ සිහින ඉටු කර ගනිමින් සිටින තරුණ කලාකරුවෙකි. මේ දිනවල රටේ තරුණ – තරුණියන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යය හේතුවෙනුයි.


ඇක්ටිං, මියුසික්, මොඩ්ලින් මේ හැමදේම කරන එකේ ඒ ගැන කියලම කතාව පටන් ගමු?


මම මේ ගමන පටන් ගත්තේ මීට අවුරුදු ගාණකට කලින්. ඉස්කෝලේ යන කාලේ  මම අධික තරබාරු ළමයෙක්. හැබැයි මට පොඩි කාලේ ඉඳලම, නිරූපණ ශිල්පියෙක්, සංගීතඥයෙක්,  රංගන ශිල්පියෙක් වෙන්න ආසාවක් තිබුණා. නමුත් මගේ ශරීර ප්‍රමාණය නිසා මට නිතරම අපහසුතාවන්වලට ලක් වීමට සිදු වීමත් එක්ක මට විභාගය සමත් වෙන්න බැරි වෙනවා. ඒත් එක්කම මම පාසලෙන් ඉවත් වෙනවා. මම ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක.  කොහොම හරි අවසානයේ මම ඕලෙවල් ඉවර කරලා  ෆවුන්ඩේශන් කෝස් එකක් කරලා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මගේ උපාධිය ලබා ගන්නවා. ඔය අතරතුර තමයි ඇඟ හදාගන්න හිතාගෙන ජිම් කිහිපයකටම ගියේ. ඒත් ඒ එකකින්වත් ඒ වැඩේ කරගන්න බැරි වෙලා අවසානයේ එක තැනකින් මට මගේ ශරීර ප්‍රමාණය අඩු කරගෙන ඇඟ හදාගන්න පුළුවන් වෙනවා. ඒ විධියට ඇඟ හදාගත්තට පස්සේ මම මුලින්ම නිරූපණයට තමයි යොමු වුණේ. නමුත් එතැනදී  මට නිවැරැදි ගුරුවරයෙක් හමු වෙන්නේ නැහැ. ඔය විධියට අවසානයේ මොඩ්ලින් හරි යන්නේ නැහැ කියලා අතෑරලා දාලා ඉඳලා වසර කිහිපයකට පස්සේ තමයි නැවතත් නිරූපණයට යොමු වෙලා, මේ වෙද්දි ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නාම කිහිපයකටම දායකත්වය ලබා දෙන්නේ.


ඒ කියන්නේ නිරූපණය හරහාද රංගනයට ආවේ?


ඇත්තටම ඔය අතරතුර කාලයේදි මම මියුසික් එක්ක සම්බන්ධ වෙලා හිටියා. මගේ පළමුවැනි ගීතය කොළයක් වැටුණා, මගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු තෑග්ගක්. ඒක ලිව්වේ වසන්ත දුග්ගන්නාරල, සරිත එදිරිසිංහ තමයි මියුසික් කළේ. මේ ගීතය ජනප්‍රිය වීමත් එක්ක මට ස්වාධීන රූපවාහිනියේ යූත් කෝනර් කියන ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න ලැබුණා. එතැනදි  මාව දැකලා ඩිල්ශාන් අමරසිංහ කියන අධ්‍යක්ෂවරයා මාව එයාගේ ළංවී ටෙලි නාට්‍යයට සම්බන්ධ කර ගත්තා. ඒක ළංවී තමයි මගේ පළමුවැනි නිර්මාණය.


කොහොමද මේ දිනවල සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම හොඳයි. සමහර ප්‍රේක්ෂකයන් හොඳ කියලා කමෙන්ට් කරනවා. සමහර අය වැරැදි කියන වෙලාවලුත් තියෙනවා. සිහිනෙක තනිවෙලා කියන්නේ ඇත්තටම හොඳ සාර්ථක නිර්මාණයක්. මම දන්න තරමින් බොහෝ දුරට කොටස් 200 අවසන් වෙනවා. මේ නිර්මාණය සාර්ථක කරගන්න  අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා  ඇතුළු සියලුම දෙනා ගොඩක් කැප වෙනවා. රංගන ශිල්පීන් සහ සම්පූර්ණ කණ්ඩායමම තමන්ගේ සියයට සියයම ඒ වෙනුවෙන් දෙන නිසා හොඳ නිර්මාණයක් දැක ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට ලැබිලා තියෙනවා.


ඔබව මුළින්ම ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ගිය නිර්මාණයත් මතක් කරමු?


ළංවී ටෙලි නාට්‍යයට මම දායක වුණේ  සහාය චරිතයකින්. ඊට පස්සේ සිකුරු ඇවිත් නිර්මාණයට මම දායක වුණාම නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මට එතැනදි විශාල සහයෝගයක් ලබා දුන්නා. ඇත්තටම ඇය මට මගේ දෙවැනි අම්මා වගේ. ඇත්තටම  මාව සිකුරු ඇවිත් එකේ මේන් කැරැක්ටර් එකට හොඳයි කියන යෝජනාව කරන්නෙත් ඇය. ඒ වගේම  තිළිණ බොරලැස්ස සහ ජානක සිරිවර්ධවත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි.


ආර්ටිස්ට් කෙනෙක්ට බෝර්න් ටැලන්ට් එක තිබ්බම ඇතිද?


ඇත්තටම බෝර්න් ටැලන්ට් එකත් අවශ්‍යයි. ඒ වගේම වාසනාව කියන දේත් බලපානවා. ඒකට හොඳම උදාහරණය තමයි  අපි වගේම   මෙතැනට එන්න බලාගෙන තවමත් අවස්ථාවක් නොලැබුණු පිරිස. ඇත්තටම ඒ වෙනුවෙන් හාර්ඩ් වර්ක් එකත් අතිශය වැදගත්. කතාවක් තියෙනවා  අපි කොච්චර වැඩ කරනවාද කියන එක උඩ ඉන්න දෙවියෝ බලාගෙන ඉන්නේ කියලා. මම ඇත්තටම සෑහෙන්න වැඩ කරපු, සෑහෙන්න මහන්සි වුණු කෙනෙක්. මම සෑහෙන්න කතන්දරත් අහගෙන තියෙනවා. මේ තැනට එන්න ගොඩක් දුක් විඳපු කෙනෙක්. මොකද මේ ගමනේදි අපිට විවිධ  අය හමුවෙනවා. ඒ අයගෙනුත් පරිස්සම් වෙලා තමයි අපි වැඩ ටික කරගන්න ඕන. නමුත් පොඩි කාලේ ඉඳන් මම  හිමේන් ජයසේකර කියන ප්‍රතිරූපය පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ආවා. මම තාම මේකට අලුත්. මගේ අරමුණට තව ගොඩක් දුර තියෙනවා.


කලාකරුවෙක් වෙන්න ඔබට  අභිප්‍රේරණයක් වුණේ කවුද?


මට අභිප්‍රේරණයක් වුණු මම කැමැති විශාල පිරිසක් ඉන්නවා. නමුත් මට අවශ්‍ය මගේම අනන්‍යතාවක් ගොඩනඟාගෙන මේ ගමන යන්න.


ඔබ හොඳ සමාජ සේවකයෙක් කියලා ආරංචියි?


මම ගොඩක් චැරිටි වැඩ කරනවා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම කරන ඒ දේවල් මම කොහෙවත් ප්‍රචාරය කරන්නේ නැහැ. මිනිස්සුන්ට වගේම මම සත්තුන්ටත් ගොඩක් ආදරෙයි. නමුත්  ඔවුන් වෙනුවෙන් කරන දේවල් මම කිසිම ප්‍රචාරණයක් ලබා නොදී කරන්නේ. මෑතකදි පාසලක් අලුත්වැඩියා කරන්න තීන්ත අවශ්‍ය වෙලා ඒෂියන් පේන්ට්ස් සමාගමේ උදව්ව ඇතිව මට ඒ මුළු පාසල වෙනුවෙන්ම තීන්ත ලබා දෙන්න හැකි වුණා. අපි කරන කියන හොඳ  දේවල් කොතැනකවත් අප්ඩේට් කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. එහෙම ප්‍රසිද්ධියේ සඳහන් නොකළත් මම හිමිං සීරුවේ ඒ වැඩකටයුතු දිගටම කරගෙන යනවා.


ඔබේ පවුලේ බොහෝ දෙනා කලාවට සමීපයි. ඒ ගැනත් කතා කරමු.


මගේ පවුලේ මම, අම්මා, තාත්තා සහ නංගි. තාත්තා ව්‍යාපාරිකයෙක්, නංගි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. මගේ අම්මාගේ පැත්තේ පවුලේ  අය කලාවට ගොඩක් ළැදියි. මගේ ලොකු මාමා මිල්ලේ සොයා චිත්‍රපටයේ ඩී.ඕ.පී. පොඩි මාමා වජිර ලියනගේ  ඔහු චිත්‍රපටවල ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙනවා. මගේ අම්මාගේ අම්මා මිස් ශ්‍රී ලන්කන් කෙනෙක්. කරුණා ලියනගේ ඇගේ නම. මගේ සීයා ලංකාවේ හොඳම කැමරාකරුවෙක්. ඔහු ඩී. පී. ලියනගේ. පවුලෙන් ලැබුණු ඒ දේවලුත් මට බලපාන්න ඇති කියලා හිතනවා.


ඔබේ සංගීත ගමන ගැනත් කතා කරමු?


තව අවුරුදු 10කින් මගේ එකම ටාගට් එක රංගනයෙත් යෙදෙන ගමන් සංගීතය පැත්තෙනුත් ඉදිරියට යන එක.  මොකද මම ඒ පැත්තෙන් ආපු කෙනෙක්. මම ගොඩක්  පිටරට ශිල්පීන් එක්ක වැඩ කරනවා. මම සංගීතය ඉගෙන ගත්තේ හේමමාල ගීතදේවගෙන්. මේ වෙද්දි මම ඇමරිකාවේ එංගලන්තයේ සම්මාන ලබාගත්ත රැප් ශිල්පීන් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුව තියෙනවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post