ඉතින් කොහොමද මේ දවස්වල ඔබේ ජීවිතය ගතවෙන්නේ?
මේ දවස්වල ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු එක්ක තමා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම මගේ ඩාන්සින් ඇකඩමියේ වැඩකටයුතුත් එක්ක තමා මේ දවස්වල කාලය ගතවෙන්නේ.
ඔබ අද වනවිට රංගන ක්ෂේත්‍රයේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ඇත්තටම ඔබට මොකද හිතෙන්නේ ආපු ගමන ගැන?
මම අවුරුදු හයක් වෙනවා රංගන ක්ෂේත්‍රයට පැමිණිලා. හිතුවෙත් නැති විදිහට තමා මම මේ ක්ෂේත්‍රයට ආවේ. මොකද මගේ ගෝල් එක වුණේ රංගන ශිල්පිනියක් වෙන එක නෙවෙයි. හැබැයි ජීවිතේ ටර්නින් පොයින්ට් එක රංගන ක්ෂේත්‍රයට පැමිණීම.
පවුලේ විස්තර ටිකකුත් කතා කරමුද?
මම විවාහකයි. මගේ පවුලේ නංගි, අම්මයි, තාත්තයි ඉන්නේ. නංගි පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මගේ තාත්තා රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. දැන් විශ්‍රාම අරගෙන ඉන්නේ. මගේ අම්මා ගෘහණියක්.
ඔබ මේ වනතෙක් දායක වුණු නිර්මාණ පිළිබඳ සහ ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගේ ලැබුණු ආදරය ගැන සඳහන් කිරීමක් කළොත්?
මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු හයක් පමණ වෙනවා. මම මුලින්ම දායක වුණේ 2020 වර්ෂයේදී ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයටයි. ඒ කාලයේ ජනප්‍රියම ටෙලිනාට්‍යය තමා ‘දෙවෙනි ඉනිම’. ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රංගන කටයුතු කරගෙන යන අතරතුරේදී තමා මට ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයට ආරාධනාව ලැබෙන්නේ. ඒ අතරතුර තමා මට ආරාධනාව ලැබෙන්නේ ‘කෝඩු හිම’ ටෙලිනාට්‍යයට. එම ටෙලි නාට්‍යයේත් රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.