චන්දිමා කරුණාදාස කියන්නේ කලා ක්ෂේත්‍රයට නව ආලෝකයක් ගෙන ආ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ඇයට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් කරන බව නොරහසක්. මේ දිනවල ඇය ජහුටා ටෙලි නාට්‍යයේ සකුන්තලාට පණ පොවනවා. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. මේ දිනවල ඔබේ අලුත් වැඩ කටයුතු කොහොමද?
මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු අලුත්ම සිනමා නිර්මාණ දෙකෙහි සියලුම වැඩකටයුතු අවසන් කරලා ඒවායේ තිරගත වීම් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ නිර්මාණ දෙක නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් වෙයි. ඒවාගේම ශිවා අයියාගේ සහ සද්ධා අයියාගේ සුසංයෝගයෙන් ඇරැඹුණු ජහුටා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. පොඩි කොටස් ප්‍රමාණයකින් යුක්ත ටෙලි නාට්‍ය දෙකක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
“ජහුටා” ටෙලි නාට්‍යයේ සකුන්තලාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතයට අනුව මට දුවෙක් ඉන්නවා. මම ඇයව ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවනවා. ඒකෙදි දරුවට අසීමිතව වද දෙන අම්මා කෙනෙක්. අධ්‍යාපනය වෙනුවෙන්ම ළමයාව යොමු කරවන අම්මා කෙනෙක්ගේ චරිතයක්. හැමවෙලේම දරුවාගේ ශිෂ්‍යත්ව විභාගය ගැනමයි ඒ අම්මා කල්පනා කරන්නේ. ඉතින් හොඳ ප්‍රතිචාර වගේම බැනුම් එහෙමත් අහන්න වෙනවා. ඇත්තටම එහෙම අම්මලා සමාජයේ ඕනෑ තරම් දකින්න පුළුවන්. මමත් අත්දැකීමෙන් එහෙම අම්මලා දැකලා තිබෙනවා. ඉතින් සමාජයේ තිබෙන චරිතයක් තමයි සකුන්තලා හරහා ඔබට දැකගන්න පුළුවන් වෙන්නේ.
“දරී” වගේ නවකතාවකින් නිර්මාණය වූ සිනමා නිර්මාණයකට රංගන දායකත්වය ලබාදීමේ අභියෝගය කොහොමද?
බර්ට්‍රම් නිහාල්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි දරී කියන්නේ. උපනන්ද වැලිකලගේ මහත්මයාගේ කර්ම චාරිකා කියන නවකතාව ආශ්‍රයෙන් තමයි මේ පිටපත සැකසෙන්නේ. ඒකෙදි මාව ඒ නිර්මාණයට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් බර්ට්‍රම් නිහාල්ට මම විශේෂ ස්තූතියක් කරන්න ඕනෑ. ඒක මගේ ජීවිතයේ ලොකු අත්දැකීමක්. එහිදී ගොඩක් ප්‍රවීණ රංගන ශිල්පි-ශිල්පිනියන් එක්ක මට රංගන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එහි මගේ චරිතය ආරියවතී. ආරියවතී කියන්නේ සැබෑ ජීවිතයේ මගේ වයස් මට්ටමට වඩා ටිකක් වැඩි වයස් මට්ටමක චරිතයක්. ඒක පවුලක් ආශ්‍රයෙන් නිර්මාණය වුණු සිනමා නිර්මාණයක්. ගොඩක් රූගත කිරීම් මෙහිදී මට තිබුණේ සීගිරිය ආශ්‍රිතව. ඒ වගේම පිටපත පුරාම වැඩිපුරම තිබුණේ රාත්‍රි දර්ශන. සාමාන්‍යයෙන් හවස ෂූටින් ගිහින් පහුවදා පහන් වන තුරුම අපේ රංගන කටයුතු කරන්න වුණා. චිත්‍රපටයට සම්බන්ධ වුණු හැමෝම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනෑ.
අද වෙද්දී සමාජ මාධ්‍යය හරහා කලා නිර්මාණ ප්‍රේක්ෂකයන් විචාරය මෙන්ම විවේචනය කරනවා. ඒ ගැන ඔබේ අදහස?
අපි කරන නිර්මාණයක් රසවිඳින්නේ ප්‍රේක්ෂකයෝ. ප්‍රේක්ෂකයන්ට ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස ලබා දෙන්න අයිතියක් තිබෙනවා. ඒක හොඳ අදහසකින් කරනවද නරක අදහසකින් කරනවද කියන එක දන්නේ විවේචනය කරන කෙනයි. නමුත් මම රංගන ශිල්පිනියක් විධියට මට ලැබෙන හොඳ හෝ නරක වේවා ප්‍රතිචාර භාර ගන්නවා. ඒවායෙන් ගත යුත්තක් තිබෙනවා නම් ගන්නවා. ඉතින් මම ඒකෙ වැරැද්දක් තිබෙනවා කියලා හිතන්නේ නෑ. ඒක හොඳ අරමුණකින් සිද්ධ වෙනවා නම් ගොඩක් හොඳයි කියන එකයි මගේ මතය.
රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට විවිධාකාර චරිත නිරූපණයට ලැබීම ක්ෂේත්‍රයේ රඳා පැවැත්මට කොතරම් වැදගත්ද?
ඇත්තටම චරිතාංගමය විධියට රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තම වැඩ කටයුතු කරගෙන යන්න ලැබෙනවා නම් ඒක තමයි ඔවුන්ට ලැබෙන ලොකුම භාග්‍යය කියලා මම විශ්වාස කරනවා. මොකද එකම රාමුවකට කොටු නොවී විවිධාකාර චරිත නිරූපණයෙන් ඒ රංගන ශිල්පීන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඒ කරන එක චරිතයකින් ජනප්‍රිය වුණොත් ඒ විධියේම චරිතවලට කොටු නොකර විවිධාකාර චරිත හා අවස්ථා ලබාදෙනවා නම් ඒක ඔවුන්ගේ රංගන ජීවිතයට ලොකු අවස්ථාවක් වෙයි. චරිතාංගමය විධියට දක්ෂතා පෙන්වීමෙන් ක්ෂේත්‍රයේ දිගු කාලයක් ඉන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
මවක්, ගෘහණියක් රංගන ශිල්පිනියක් ලෙස ඔබ කාල කළමනාකරණය කරගන්නේ කෙසේද?
මම රංගන ශිල්පිනියක් විධියට හැඳින්වෙන්නේ ක්ෂේත්‍රය තුළ. මම රංගන ශිල්පිනියක් විධියට වැඩ කරන්නේ කැමරාව ඉදිරියේ. නමුත් මම ගෙදර ආවම අම්මා කෙනෙක්, බිරියක්, ගෘහණියක්. ඉතින් මේ කටයුතු සාර්ථකව කර ගන්න නම් කාලය කළමනාකරණය කරගන්න වෙනවා. ඉතින් ඒකට මගේ සැමියාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම කොයිම වෙලාවකවත් මගේ පෞද්ගලික ජීවිතය හා මගේ රංගන ජීවිතය පටලවගන්න කැමැති නෑ. ඉතින් ඒක ඉදිරියටත් හොඳින් කළමනාකරණය කරගෙන වැඩකටයුතු කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
රංගනයේදී ඇකඩමික් හැදෑරීමකින් ක්ෂේත්‍රයට එක්වීම රංගන ශිල්පියකුගේ අගය කොතරම් වැඩි කරනවාද?
හැදෑරීමක් එක්ක යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් ඔහුට තිබෙන වටිනාකම වැඩියි කියලා මම විශ්වාස කරනවා. මොකද ඔහු හෝ ඇයට තමන් නිරූපණය කරන චරිතය නිසියාකාරව නිරූපණය කරන්න හැකියාවක් ලැබෙනවා. චරිතාංගමය විධියට ක්ෂේත්‍රය තුළ ඉන්න පුහුණුවක් ලැබෙනවා. වර්තමානය තුළ ඇකඩමික් හැදෑරීමකින් තොරව එන අයත් ක්ෂේත්‍රය තුළ හොඳ හැකියාවන් පෙන්වන අවස්ථා තිබෙනවා.
ප්‍රවීණ පරපුර හා නවක පරපුර අතර තිබෙන අන්‍යෝන්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?
අපි යම් නිර්මාණයකට සම්බන්ධ වෙනකොට බොහෝ ප්‍රවීණයන් ආශ්‍රය කරන්න ඔවුන් එක්ක රංගන කටයුතු කරන්න ලැබෙනවා. ඔවුන්ගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබෙනවා. ඔවුන් ලබාදෙන දැනුම ඒ වගේම ඔවුන් චරිත නිරූපණය කරන විධිය දිහා බලලත් අපට ඉගෙන ගන්න පුළුවන්. ඒක ලොකු අත්දැකීමක්. මම හිතන්නේ නවක පරපුර විධියට අපිට ප්‍රවීණ පරපුරෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා. දක්ෂ නවකයන් ඉන්නවා. නවකයන්ට ක්ෂේත්‍රය තුළ චෝදනා එල්ල වෙන අවස්ථාත් මම දැකලා තිබෙනවා. නමුත් මට එහෙම ගැටලුවක් ඇතිවෙලා නෑ. අපි ප්‍රවීණයන්ට ගරු කරමින් ඔවුන්ගෙන් දැනුම ලබාගෙන වැඩකටයුතු කරනවා නම් ඔවුන් සමඟ අපට සුහදශීලීව වැඩ කටයුතු කරන්න පුළුවන්.