අපි හොරෙන් මාලිනී අක්කා දිහා බලන් ඉන්නවා- කාංචනමාලා මහාවිතාන

gossiplanka image 2


මාලිනි ෆොන්සේකා යනු මෙරට සුවහසක් රසිකයන්ගේ මතකයෙන් සදා නොමියෙන අමරණීය නාමයකි. හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් ඇය මීට මාස කිහිපයකට පෙර රඟමඩලින් බැස ගියේ  සදා මතකයෙහි රැඳෙන මතක පොදි රාශියක් ප්‍රේක්ෂක සන්තානයෙහි සතපවා ඇස’ග කඳුළු බිඳු තවරමිනි. ඇයගේ සදා නොමියෙන මතකයට උපහාරයක් ලෙස මෙවර කාංචනමාලා සජීවී සංගීත ප්‍රසංගය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණ. වේදිකාව, පුංචි තිරය ඔස්සේ රංගනය, ගායනය, අධ්‍යක්ෂණය ආදී කලා කෙතෙහි බහුවිධ දස්කම් දැක් වූ ඇය දිගුකලක් මෙරට කලා කෙත පෝෂණය කළ කලාකාරිනියකි. පසුගියදා පැවැති ආදරණීය මාලිනිය – කාංචනමාලා සජීවී ප්‍රසංගය (kanchanamala live in concert) පිළිබඳව අදහස් බෙදා ගැනීමට හදගැස්ම සමඟ එක් වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන කාංචනමාලා මහාවිතාන. මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල මම රංගන  කටයුතු සමඟ යම් අයුරක කාර්යබහුල දිවියක් ගත කරනවා. ඒ වගේම දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වන හිතාගන්න බැරි කතාවක් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සමඟ කාලය ගෙවී යනවා. පාරදිගේ නාට්‍යයට පසුව මෙයට විශාල ජනප්‍රියත්වයක් ලැබෙමින් පවතිනවා. මේ දිනවල එය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගෙන තිබෙනවා.


කාංචනමාලා ලයිව් ඉන් කොන්සට් ආරම්භ වුණ අයුරු ගැන කියමු?


මේ ප්‍රසංගය අපි ආරම්භ කළේ දැනට අවුරුදු 16කට පමණ පෙර. මගේ නැසීගිය සැමියා වන ස්ටැන්ලි ලියනගේ ගේ සංකල්පයකට අනුව මෙකී කර්තව්‍ය ඇරැඹුණා. අපි අනුන්ගේ වැඩක් කරන්න යන්නේ කියලා ඔහු කිවුවා. අනුන්ගේ ගීත, අනුන්ගේ සංගීතය, අනුන්ගේ ගායනා. ඒ නිසා අපි සැම විටම  මෙය නොමිලයේ සිදු කරන ගෞරවනීය කටයුත්තක් විධියට රසිකයාට මෙය තිළිණ කරමු කියන යෝජනාවයි සැමියා නිතරම කළේ. ඒ අනුව වසර 15ක් පුරාවට  මේ සජීවී සංගීත ප්‍රසංගය ඉතා විශිෂ්‍ට ලෙස පැවැත් වුණා. මෙවර එය පැවැත් වුණේ 16 වැනි වතාවට.


කාංචනමාලා සංගීත ප්‍රසංගය වාර්ෂිකව පැවැත් වෙනවා. මෙවර මෙය විශේෂයි. ඒ පිළිබඳව කියනවා නම්?


හෙළ නිළි රැජින වන මාලිනිය අපෙන් සමු අරන් මේ වන විට සය මසක් ගත වී තිබෙනවා. ඇයගේ උදාර කලා මෙහෙවරට උපහාර දැක්වීමක් ලෙස මෙවර 16 වැනි වරට පැවැත් වූ ප්‍රසංගය ආදරණීය මාලිනි – කාංචනමාලා සජීවී ප්‍රසංගය ලෙස අපි නම් කළා. මේ ප්‍රසංගයේදී මාලිනි ෆොන්සේකා නම් අසහාය රංගන ශිල්පිනිය රඟපෑ චිත්‍රපට ඇසුරෙන් ගීත තෝරා ගැනීම සිදු කළා. එම ජනප්‍රිය මියුරු ගී ගැයෙන පසුබිමින් නිළි රැජින මාලිනිය රංගනයෙන් දායක වූ සිනමා රූප රාමු විකාශය කරමින් ඒ මියුරු සිනමා මතක අලුත් කිරීමට අපිට හැකි වුණා. නිතර නෑසෙන ගීත බොහොමයකුත් සමඟ ගීත 30ක් පමණ මෙවර ප්‍රසංගයට ඇතුළත් වුණා.


මේ ප්‍රසංගයේදී ගායනය කළ එයට ආලෝකය එක් කළ විශේෂිත ගීත මොනවාද?


එවකට මාලිනිය රංගනයෙන් දායක වූ ඇතැම් චිත්‍රපට සඳහා හින්දි සිනමාපට ආභාසය තිබුණා. හින්දි සහ සිංහල ගීත දෙකම එකවර ගායනා කරමින් ඒ ඉපැරැණි මතක අලුත් කිරීමට උත්සාහ දැරුවා. ඇතැම් ගායනා සිදු කිරීමේදී පසුබිමෙන් තනිව මාලිනියගේ විශිෂ්ට රංගන හැකියාවන් ඉස්මතු කිරීමත් සිදු කළා. අපිට සැම විටම අවශ්‍ය වුණේ මාලිනිය නම් හෙළ සිනමා රැජිනගේ විශිෂ්ට හැකියාව ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමයි. මේ ඔස්සේ ඇයගේ මතකයන් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගත්තා කියා මා සිතනවා.


මෙවන් වූ මෙහෙවරක් මෙරටට දායාද කළ ස්ටැන්ලි ලියනගේ පිළිබඳවත් සිහිපත් කරමු?


ඔහු ඉතා සුන්දර මිනිසෙක්. ඒ වගේම මේ ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් රාශියක් තිබුණු පුද්ගලයෙක්. ඔහු සෝමදාස ඇල්විටිගල, ෂෙල්ටන් ප්‍රේමරත්න, ආර්. මුත්තුසාමි, එම්.කේ. රොක්සාමි, සරත් දසනායක ආදී ප්‍රවීණයන්ගේ චිත්‍රපටි සංගීත වෘන්දයන්හි සිටි ප්‍රවීණ වාදක ශිල්පියෙක්. මේ නිසාම  ඒ ඒ නිර්මාණට පසුබිමේ වූ බොහෝ දේවල් බොහෝ අත්දැකීම් පිළිබඳව මතක සිහිවටන ඔහු සමීපයෙහි ඔහුගේ මතකයෙහි සුන්දරව තිබුණා. ඒ රසබර ඉතිහාස මතක ඔහු මා සමඟ බොහෝ දුරට කියා තිබෙනවා. ඒ කතන්දර මගේ මතකයෙන් කවදාකවත් ගිලිහෙන්නේ නැති වේවි. මම ප්‍රියයාණෙනි කෘතිය ලියන විට ඒ මතක රාශියක් එයට එක් කළා. ඔහුගේ උදාර චේතනාව නිසා තමයි අපි නොමිලයේම මේ දේවල් අපි සහෘදයන්ට තිළිණ කරන්නේ. කලාකරුවන් වෙනුවෙන් සෑම වසරක්ම මෙම ප්‍රසංගය පැවැත් වෙන්නේ ඔහුගේ මේ වටිනා සංකල්පය නිසායි.


මෙකී කර්තව්‍යයට දායක වුණු  කලාකරුවන්  පිළිබඳව මතක් කරනවා නම්?


මෙම ප්‍රසංගයේ ප්‍රධාන දෙසුම සිදු කළේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ගීතා කුමාරසිංහ. ඒ වගේම මෙම ප්‍රසංගය ගැයුමෙන් දයාන් විතාරණ, පේෂල මනෝජ්, නිලන්තසිරි පතිරණ, හර්ෂණ දිසානායක, උපසේන සුබසිංහ, උපුල් නිශාන්ත, රංග සොයිසා, හිමායා නියාස්, වජිර එදිරිමාන්න, ලලිත් ධර්මසේන, සමන් ප්‍රියංකර නම්මුනිගේ, රොෂේන් ආදී කලාකරුවන් රැසක් ඒකාලෝක කළා. යුද හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම මෙවරත් සංගීතය සැපයූ අතර නර්තන දායකත්වය නිර්මාණි රංගායතනයෙන් සිදු කළා. ඒ වගේම වැඩසටහන තම කථනයෙන් වර්ණවත් කිරීමට රුවන් වික්‍රමසිංහ අපිට විශාල දායකත්වයක් ලබා දුන්නා.


මාලිනි ෆොන්සේකා නම් අසහාය රංගන ශිල්පිනිය සමඟ බැඳුණු මතකයන් සිහිපත් කරමු?


මාලිනි අක්කා කියන්නේ ඉතා සුන්දර චරිතයක්. ඇය ඉතා ආදරණීය ගැහැනියක්. ඇගේ සහෝදරිය වන දමයන්ති ෆොන්සේකා සහ මම නර්තනය ඉගෙන ගත්තේ එකට. මාලිනී අක්කා ඒ දවස්වල දමයන්තිට දවල් කෑම අරගෙන එනවා. අපි ඇය කෑම අරන් වාහනේ එනකොට හොරෙන් ගිහින් එයා දිහා බලන් ඉන්නවා. දවසක් අපි දමයන්තිගේ දවල් කෑම එක කෑවා. දමයන්තිට කන්න වුණෙත් නැහැ. ඒත් මාලිනී අක්කා අපිට කවදාවත් බැන්නේ නැහැ. මේ වගේ ඇය සමඟ බැඳුණු මතක රාශියක් මගේ මතකයේ කිසිදා නොනැසී පවතිනවා. ඒවා සදා නොමියෙන මතකයන්.

gossiplanka image 1
Previous Post Next Post