ෆැෂන් ෂෝ එකකට වගේ ඇවිත් දෙබස් කියලා යනවා -රිචාඩ් වීරක්කොඩි

gossiplanka image 2



හැත්තෑව දශකය මැද භාගයේ සිනමාවට අවතීර්ණ වූ ඔහු පුංචි තිරය ආක්‍රමණය කරනු ලබන්නේ බර්ට්‍රම් නිහාල් මහතා අධ්‍යක්ෂණය කළ රුපියල් ශත, කඩවර, දඩබිම වැනි ත්‍රාසජනක ටෙලි නාට්‍ය තුළින්ය. දුෂ්ට චරිත රඟපාමින් ප්‍රේක්ෂකයන්ට සමීප වූවත් රංගන ශිල්පියකු ලෙස ඕනෑම චරිතයකට සාධාරණය ඉටු කිරීමට ඔහු සමත්ය. ඔහු අන් කවරකුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පි රිචාඩ් වීරක්කොඩිය. ඔහු මේ දිනවල හිරු නාළිකාවෙන් විකාශය වන ‘චංචල රේඛා‘ ටෙලි නාට්‍ය සහ සුප්‍රීම් රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වන ‘සමන්මලිය‘ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක හමුවට පැමිණෙයි. ‘හදගැස්ම‘ අපි ඔහු සමඟ කළ කතාබහයි මේ. එදා ‘චංචල රේඛා‘ හි ඔබේ රංගනය ගැන කතා කරමු.


චංචල රේඛා චිත්‍රපටයේ මම කළ චරිතය මගේ ජීවිතයේ අදටත් ජීවමානයි. අද මම ඒ චිත්‍රපටය බැලූවත් එක දිගට හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. මම එම චිත්‍රපටයේ රඟපෑවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්තයා සමඟයි. ඊට අමතරව විමල් කුමාරද කොස්තා, රෙක්ස් කොඩිප්පිලි වැනි රංගන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත ඒ චිත්‍රපටයේ වටිනාකම තවත් වැඩි කළා. මම ඔවුන්ගෙන් ගොඩක් දේවල් මගේ රංගන ජීවිතයට එකතු කර ගත්තා. ඔවුන් එක්ක එදා කළ රංගනය ගැන මම ඉතා තෘප්තිමත්.


ඒ චිත්‍රපටය ගැන නේ ඔබ කතා කළේ. ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?


චංචල රේඛා චිත්‍රපටයට වඩා වංචල රේඛා ටෙලි නාට්‍ය වෙනස්. චිත්‍රපටයේ සාරාංශය අරගෙන වෙනස්ම විධියේ නිර්මාණයක් එහි අධ්‍යක්ෂවරයා නිර්මාණය කරලා තිබෙනවා. එම නිසා චංචල රේඛා චිත්‍රපටය සමඟ සංසන්දනය කරමින් ටෙලි නාට්‍ය බලලා වැඩක් නැහැ. චංචල රේඛා ටෙලි නාට්‍ය සමඟ සසඳමින් චිත්‍රපටය බලන්නත් එපා. ඒ නිර්මාණ දෙක දෙකක්.


සමන් කුමාර ලියනගේ මගේ හිතවතෙක්. ඔහු මට චංචල රේඛා ටෙලි නාට්‍යයයේ චරිතයක් කරමු කියලා ආරාධනා කළා. මම සමන් කුමාරට කිව්වා කලින් චිත්‍රපටයේ කළ චරිතය කරන්න බැහැ. වෙන චරිතයක් කරමු කියලා. ඔහු ‘හා‘ කිව්වා.


එහෙම තමයි මේ ටෙලි නාට්‍ය සමඟ මම සම්බන්ධ වුණේ. මෙම රංගනය වෙනුවෙන් එදා රංගනයට වගේම ප්‍රතිචාර ලැබෙයිද?


ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයට මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර එදා චිත්‍රපටයේ රංගනයට ලැබුණට වඩා වෙනස්. එහෙම වෙනස් වෙන්න ඕන. මොකද මම කරන රංගනය දෙයාකාරයි.


ඔබ වර්තමානයේදී නිර්මාණ තුළින් ඈත් වෙමින් ඉන්නවද?


එහෙම ඈත්වීමක් නැහැ. මම මේ දිනවල හිරු නාළිකාවෙන් විකාශය වෙන ‘චංචල රේඛා‘ සුප්‍රීම් රූපවාහිනිය මඟින් විකාශය වන ‘සමන්මලිය‘ වගේම, දෙරණ නාළිකාවෙන් විකාශය වන දෙවන ඉනිම සමඟත් සම්බන්ධ වෙනවා. ඒ වැඩ ටිකත් කරගෙන හෙමින් හෙමින් මේ ගමන යනවා.


වර්තමානයේ නිර්මාණ තුළින් ඔබට ලැබෙන චරිත ගැන තෘප්තිමත්ද?


නැහැ. තෘප්තිමත් බවින් තොරයි. මට මේ චරිතය හරියන්නේ නැහැ කියලා මඟහරින්න බැහැ. එහෙම මඟ හරිනවා කියන්නෙම මම මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා කියන එකයි. රිචාඩ් වීරක්කොඩි රඟපෑමේ නිරත වෙලා ඉන්නවා කියලා මගේ රසිකයන්ට පේන්න තමයි මම මේ ටෙලි නාට්‍ය සමඟ එකතු වෙලා ඉන්නේ.


දුෂ්ට චරිත රඟපාමින් ප්‍රේක්ෂකයන්ට සමීප වූ ඔබට ඔවුන්ගේ ආදරය නොඅඩුවම ලැබුණා. එයට හේතුව?


ඔව්. ඒක ඇත්ත. මම අද පාරට බැස්සත් එදා මම රඟපෑ චරිත ගැන බොහෝ දෙනා හරිම ආදරයෙන් කතා කරනවා. ඒ ගැන නම් හරිම සතුටුයි. එහෙම ආදරයක් ලබන්න හැමෝටම බැහැ. ඒක මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු ත්‍යාගයක් වෙන්න ඇති. මොකද මම චරිතයක් කරද්දී මම රඟපාන මේ චරිතයට ප්‍රේක්ෂක ආදරය ලැබෙන්න ඕන කියලා හිතාගෙන රඟපාන්නෙ නැහැ. නමුත් මට චරිතයක් ලැබුණහම මේ චරිතය මෙහෙම චරිතයක් මෙහෙම තමයි ඒ චරිතය රඟපාන්න ඕන කියලා මට හිතෙනවා. මම ජීවත් වෙන්නේ ගමක. ඒ ජීවත් වන සමාජයේදී නිතර නිතර මම රඟපෑව වගේ චරිත මට මුණ ගැහිලා තිබෙනවා. මම ඔවුන් එක්ක ඇසුරු කරලා කතා බහ කරලා තියෙනවා. ඒ දේවල් අපිට චරිතයක් ලැබුණහම ඉබේම මතක් වෙලා ඒ චරිතය මෙහෙම කරන්න ඕන කියලා හිතෙනවා. මම චරිතයක් සාර්ථකව කරනවා කියන එකේ රහස එයයි.


දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස වත්මන් පරපුරට කියන්න දෙයක් ඇති?


අතීතයේදී වගේ සාර්ථක නිර්මාණ අද බිහි වෙන්නේ නැහැ. එයට හේතුව අද නළු නිළියන් අඩු වීම. අද ඉන්නේ තමන්ට ලැබෙන දෙබස කටපාඩම් කරගෙන ‘පැෂන් ෂෝ‘ එකකට වගේ ලස්සනට හැඳ පැලඳගෙන ඇවිත් දෙබස් කියලා යන පිරිසක්. එහෙම එපා දෙබසක් කියන විට එය කියන්න ඕන කොහොමද කියලා ඉගෙන ගන්න. ප්‍රවීණයන් සමඟ කතා කරලා ඔවුන් සමඟ අත්දැකීම් බෙදාගන්න. තමන් ස්වයං අධ්‍යයනයක යෙදෙන්න. ආදරයෙන් කැපවීමෙන් සාර්ථකත්වය කරා ගමන් කරන්න කියලා තමයි කියන්න තිබෙන්නේ.


වර්තමානයේ නිර්මාණ තුළින් බොහෝ රංගන ශිල්පීන් එකවගේ චරිත කරනවා දක්නට ලැබෙනවා. ඇයි එහෙම වෙන්නේ?


දැන් ඉන්න අධ්‍යක්ෂවරු ඉස්සර අය වගේ නෙවෙයි. ටෙලි නාට්‍යයක් හරි සිනමා පටයක් හරි අධ්‍යක්ෂණය කරන්න කලින් බලනවා මීට ඉස්සර වෙලා එම නළුවා හරි නිළිය හරි කලින් රඟපාල තිබෙන්නේ මොනවගේ චරිතද කියලා. හාමුදුරු කෙනෙක්ගෙ චරිතයක් කරපු කෙනෙක් දැක්ක නම් එයාට තමන්ගේ ටෙලි නාට්‍යයේත් දෙන්නෙ හාමුදුරුවන්ගේ චරිතය. එහෙම තමයි අනෙක් චරිතවලට වෙන්නෙත්. හැමදාම ඒ රංගන ශිල්පියාට හරි ශිල්පිනියට හරි ලැබෙන්නේ එකම චරිතය. කවදාවත්ම වෙනස් චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එය රංගන ශිල්පීන් වුණ අපේ වරදක් නෙවෙයි. ටෙලි නාට්‍ය චරිතය ලැබෙන විදිහේ වරදක්.


‘චංචල රේඛා‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය පුබුදු චතුරංග ගැන කතා කළොත්?


පුබුදු චතුරංග කියන්නේ අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. චංචල රේඛා ටෙලි නාට්‍යයේත් ඔහුට ලැබුණු සිරිසේනගේ චරිතයට ඔහු උපරිම සාධාරණය ඉටු කරනවා. ඔහු එම රංගනයට ඔහුගේ ආනන්‍යතාව මනා ලෙස යොදා ගන්නවා. ඔහු මොනයම් වෙලාවකදීවත් ගාමිණී ෆොන්සේකා මහත්තයා කොපි කරන්නවත් අනුකරණය කරන්නවත් යන්නෙ නැහැ. ඔහුට පැවරුණු වගකීම ඔහු සාර්ථකව ඉටු කරනවා.


ඉදිරියේදී මොනවගේ නිර්මාණවලින්ද දකින්න පුළුවන් වෙන්නේ?


ඉදිරියේදී ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා කරලා තියෙනවා. ඒ නාට්‍යවල, චරිතත් පසුගිය කාලයේ ලැබුණු චරිතවලට සමානයි. අතීතයේ වගේ වෙනස් ආකාරයේ චරිත නම් ලැබෙයි කියන විශ්වාසයක් නැහැ.


අරුණි ජයසේකර

gossiplanka image 1
Previous Post Next Post