ටෙලි දුක ටෙලි සැපක් වෙනවා නම් හොඳයි -ශාන් ජයරත්න

gossiplanka image 2


ඔහු ලාංකේය සිනමාව සහ ටෙලිවිෂනය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. එමෙන්ම සමාජය තුළ දැඩි කතාබහක් ඇති කළ නිර්මාණයක් වන වීදුරු තිර ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයාද වෙනවා. මේ දිනවල ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතුව පහේ ළමයි විකාශය වෙනවා. මේ පිළිබඳව කතාබහ කිරීමට හදගැස්ම හා එක්වුණේ ප්‍රවීණ අධ්‍යක්ෂ ශාන් ජයරත්න.


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල තිබෙන විශේෂම වැඩේ තමයි පහේ ළමයි. පහේ ළමයි ඉතාමත් සාර්ථක ලෙස ටෙලිවිෂනය ඔස්සේ විකාශය වෙනවා. මෙහි ඉතා සීමිත කොටස් ප්‍රමාණයක් පමණයි තවමත් විකාශය වී තිබෙන්නේ. නමුත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට පහේ ළමයි සමත් වී තිබෙනවා. මෑතකදී විකාශය වුණු ටෙලිනාට්‍ය අතර  පහේ ළමයි මේ තරම් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීම ගැන සතුටුයි. ඒ වගේම අසංධිමිත ටෙලි නාට්‍යයේ පසු නිෂ්පාදන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතිනවා. ඒ වගේම සරා සුසුම් සිනමාපටයේ වැඩ කටයුතු නිමාවීමට ආසන්නයි. ඉතින් මේ වැඩකටයුතු සමඟ මේ දවස් ගෙවී යනවා.


පහේ ළමයි නිර්මාණය වූ ආකාරය ගැන කතා කරමු?


පහේ ළමයි ගැන මට අදහසක් ආවේ පසුගිය කාලය පුරාවට මේ රටේ ශිෂ්‍යත්වය පිළිබඳව ඇති වුණු කතාබහ නිසා. ශිෂ්‍යත්වය නිසා කුඩා ළමයින් පීඩනයට පත්වන ආකාරය අපිට බොහෝ සේ දකින්න ලැබුණා. මවුපියන් මේ සඳහා ගොඩක් මහන්සි වෙනවා. මෙලෙස මවුපියන් මහන්සි වීමේ යම්කිසි හොඳ පැත්තකුත් නැතුවා නෙවෙයි. නමුත් අපි ළමයින්ව අනවශ්‍ය පීඩනයකට ලක් කළ යුතු නැහැ. ශිෂ්‍යත්ව විභාගය තුළ සමත්වීම තීරණය කරන්නේ වෙනත් ක්‍රමවේදයකට. ළමුන් කෙළි සෙල්ලම් කරන කාලයේදී ඔවුන්ට ඒ දේවල් කිරීමට දිය යුතුයි. ඇතැම් දරුවන්ට ඉගෙනීම පමණක් නෙවෙයි වෙනත් දක්ෂතා තිබෙනවා. මවුපියන්  ඔවුන්ගේ දක්ෂතා හඳුනාගන්නේ නැතිව ඉගෙනීමටම ඔවුන්ව යොමු කළ යුතු නැහැ. මේ තුළ තිබෙන හොඳ සහ නරක හාස්‍ය දනවන හැඟුම්බර අයුරින් අපි පහේ ළමයි තුළ කතාබහ කරනවා. එය ප්‍රේක්ෂකයන්ට ගොඩක් දැනී තිබෙනවා.


ළමයි සමඟ වැඩ කිරීම මොනවගේ අත්දැකීමක්ද?


දැන් සිටින ළමයි හරිම යාවත්කාලීනයි. ඔවුන්ට අපිට වඩා සෑහෙන්න දැනුමක් තිබෙනවා. ඔවුන් සමඟ වැඩ කිරීම හරිම පහසුයි. වෘත්තීය රංගන ශිල්පීන්ගේ මට්ටමටම ඔවුන් දක්ෂතා පෙන්වනවා වගේම ඔවුන්ට දර්ශන තලය තුළ හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මනා අවබෝධයක් තිබෙනවා. මම සිතුවට වඩා ළමයි සමඟ වැඩ කරන එක ගොඩක් පහසුයි. මමත් ලොකු වයසක කෙනෙක් නෙවෙයි. මම ඔවුන් සමඟ ඉතා ආදරයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. අපි රූගත කිරීමක් කරන විධියට වැඩ කරන්නේ නැහැ. සින්දුවක් කිය කිය සෙල්ලම් කර කර තමයි වැඩ කරන්නේ.


අසංධිමිත ගැන කතා කරමු


මෙය ශලනි තාරකාගේ පළමු තිරපිටපත් රචනය. මාව එහි අධ්‍යක්ෂවරයා ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් මම ඇයට බොහෝ සේ ස්තූතිවන්ත වෙනවා. වීදුරු තිර බලපු මගේ ප්‍රේක්ෂකයන්ට මෙය විශාල කුතුහලයක් තිබෙන වෙනස් ආකාරයක නිර්මාණයක් වේවි කියා සිතනවා. මෙය නිර්මාණය වන්නේ වෙනස්ම ආකාරයක මාතෘකාවකින්. මේ නිර්මාණය ගැන සමාජය තුළ විශාල කතාබහක් ඇති වෙයි කියා මම සිතනවා. එහි රංගන ශිල්පි ශිල්පිනියන් වගේම කාර්මික ශිල්පීන් පිළිබඳව අපි බොහෝ ලෙස සිතා බැලුවා. අපි මේ නිර්මාණය වෙනුවෙන් විශාල ලෙස කැප වී කටයුතු කළා. ඒ වගේම අපි මෙහි රූගත කිරීම් එකවරම සිදු කර අවසන් කළා.


ලාංකේය ටෙලිවිෂන කලාව දැන් රැඩිකල් පිළිවෙතක් අනුගමනය කරනවා. වීදුරු තිර එයට මනා නිදසුනක්. මේ ගැන කියනවා නම්


වීදුරු තිර කියන්නේ අපේ ගොඩක් දෙනකුගේ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙය කවදාවත් අමතක නොවෙන නිර්මාණයක්. මෙය මගේ නිර්මාණ දිවිය තුළ පත්තු කළ බෝම්බයක් වගේ. මම මේ නිර්මාණයට බොහෝ ආදරෙයි. කුඩා කොටස් ගණනක නිර්මාණ ගැන මගේ අවධානය යොමු වුණේ වීදුරු තිර හරහා.


ටෙලිවිෂනය තුළ තිබෙන තරගකාරීත්වය ගැන ඔබේ අදහස


ටෙලිවිෂනය තුළ තිබෙන දුක ටෙලි සැපක් බවට පත්වෙනවා නම් හොඳයි කියන තැන මම සිටිනවා. ටෙලි නාට්‍යයකට මනා වටිනාකමක් ලැබිය යුතුයි කියන තැන මම සිටිනවා. ඒ වගේම මම ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. ඒ නිසාම මම මගේ නිර්මාණවල ගුණාත්මකභාවය මේන්ටේන් කරනවා. මම ඉතා හොඳ නිර්මාණයක් නාළිකාවට ලබා දීමට සෑම විටකම උත්සාහ දරනවා. අපේ අනෙක් නිර්මාණකරුවනුත් ඒ විධියට වැඩ කරනවා නම් හොඳයි. බොහෝ තරුණ අධ්‍යක්ෂවරු ඉතා හොඳ නිර්මාණ කරනවා. අපි මෙය කෙමෙන් කෙමෙන් සිදු කරගෙන යනවා. ටෙලිදුක ටෙලිසැප වෙන්න අපිට තව බොහෝ දුරක් ගමන් කරන්න වෙනවා. අපි මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන කාලයක හෝ මේ දුක නිමා වේවි.


සරා සුසුම් ගැන කතා කරනවා නම්


සරා සුසුම් කියන්නේ දැවැන්ත සිනමාපටයක්. මම සිතන අයුරින් ලංකාවේ මේ ශානරයෙන් නිර්මාණය වී තිබෙන සිනමාපට බොහෝ අවමයි. මෙය අද්භූත සහ රෝමාන්තික යන ශානරවල දිවෙන කතාවක්. ඉතින් අපි සරාසුසුම් සැලෙනා තුරු බලා සිටිමු.


ඉදිරි වැඩකටයුතු ගැන කියමු


ඉදිරියේදී මගේ නිර්මාණ කිහිපයක්ම රූගත කිරීමට නියමිතයි. තව නිර්මාණ කිහිපයක වැඩකටයුතු සිදු වෙමින් පවතිනවා. ලබන වසරේදී තවත් සිනමාපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

gossiplanka image 1
Previous Post Next Post