අපි හින්දා ගොඩගිය උන් දැන් අපිව ගොඩදානවා -ෂෙහාන් මලික්

gossiplanka image 2
 


කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වගේම නවක නළුවෙක් වුණ ෂෙහාන් මලික් මේ දවස්වල හරි කාර්යබහුල චරිතයක් වෙලා. එදා ඔහුට මෙතැනට එන්න උදව් කරපු මිනිස්සුන්ට අද ඔහු උදව් කරන්න හදවතින්ම කැපවෙලා ඉන්නවා. ඉතිං ඒ වැඩවලට ඔහුට මඩ ප්‍රචාරත් හරියට එනවා. ඔය මොන මඩ අවලාද නැගුවත් ඔහු මේ කරන වැඩේ නවත්වන්නේ නැතිලු. ඉතිං මේ කාර්බහුල වැඩ අතරතුරේදී අපි අහපු ප්‍රශ්නවලටත් උත්තර දුන්නා.



ෂෙහාන් මලික් මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු අතරමග නවතලා දැම්මාද?


පසුගිය කාලයේ අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවුණ ආපදා තත්ත්වය හේතුවෙන් මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යවල රූගත කිරීම් දැනට තාවකාලිකව නවත්වලා තියෙන්නේ. හැබැයි ඉක්මනින්ම ඒ වැඩකටයුතු ආරම්භ කරනවා කියලා අපිට දැනුම්දීලා තියෙනවා.


මේ ඇතිවුණ ආපදා තත්ත්වයත් එක්ක ඔබ දැවැන්ත සමාජ මෙහෙවරක නිරත වෙනවා අපි දුටුවා?


සමාජ මාධ්‍ය පරිශීලනය කරන අය මාවත් ඇතුල් කරලා දාලා තිබුණ හරි ලස්සන පෝස්ට් එකක් මම මුලින්ම දැක්කා. ඒකේ තිබුණේ ‘අපි හින්දා ගොඩගිය උන්, දැන් අපිව ගොඩදානවා’ කියලා. ඒක දැක්කහම ආපු හැඟීම කියලා නිම කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. මම රංගන ශිල්පියෙක් වුණේ සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වුණාට පස්සේ. රටේ ප්‍රධාන විද්‍යුත් වගේම මුද්‍රිත මාධ්‍ය මාව හඳුනාගන්න කලින් මාව හඳුනාගත්තේ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න මිනිස්සු. එතකොට මගෙන් එක්ක එකතුවෙන පළමුවැනියා, දහවැනියා, දහස්වැනියා දැක්කා. ඒ නිසා මේ මිනිස්සු මට මාර වටිනවා. මම හිතනවා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙකුට මිනිස්සු එක්ක තියෙන සම්බන්ධතාවය හරිම ශක්තිමත්. ත්‍රිපෝෂ ෆැමිලි එකේ සුදේශ් මල්ලි, දිනේෂ් කුමාර එක්ක කට්ටිය මිනිස්සුන්ට උදව් කරගෙන එන විදිහ දැකලා එයාලත් එක්ක එකතුවෙන්න කියලා මුලින්ම පණිවුඩයක් ආවානේ. ඒ පණිවුඩය ආපු ගමන් මම මුලින්ම එකතු වුණා. ඊට පසුව තවත් ගොඩාක් අය එතැනට එකතු වුණා. නම් සඳහන් කරන්න බැරිවුණ අයගෙන් මේ වෙලාවේ මම සමාවත් ඉල්ලනවා.


එතැනින් පටන්ගත්තු වැඩේ තමයි මාර ලොකුවට ගිහිල්ලා ලංකාව වටේටම යන තැනකට ඇවිත් තියෙන්නේ.



ඔබේ ඉල්ලීම්වලට මොන විදිහටද සහයෝගය ලැබෙන්නේ?


අපි සහනාධාර එකතු කරන තැන් තියෙනවා. මහරගම, පිළියන්දල, නුගේගොඩ වගේ ස්ථාන. ඒ තැන්වලට ඇවිත් ලබාදෙන ප්‍රතිචාර පුදුමයි. ලංකාවේ මිනිස්සු හරි අමුතුයි. තමන් ළඟ තිබ්බා හෝ නැතා දෙන්න බලාගෙන ඉන්න ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ. තමන්ට තියෙන හැකියාව අනුව ලොකු පොඩි භේදයක් නැතිව සහයෝගය ලබාදෙනවා. අපි ඔයා නිසා ආවේ කියන කතාව ඇහුණහම අපි ගැන තියෙන විශ්වාසය දැකලා එතැනට ආව කිව්වාම පුදුමාකාර ගෞරවයක් තියෙනවා.


මේ වගේ වැඩක් කරනකොට චෝදනා එහෙමත් එන්න ඇතිනේ?


කොච්චර හොඳ වැඩක් වුණත් අසුබවාදීව කතා කරන අයත් ඕනෑ තරම් ඉන්නවා.


ඒ කියන්නේ කකුලෙන් ඇදලා, ගල්ගහන පිරිසකුත් ඉන්නවා?


අනිවාර්යයෙන්ම. මේ වෙලාවේදී අපි මෙහෙම දෙයකුත් බලන්න ඕනෑ. කලාකරුවෙක් විදිහටත් අපි මෙහෙම දෙයක් කරන කොට අපිත් ඉවසීමෙන් බලන්න එපායැ. වෙන වෙලාවක අපි සමාජ මාධ්‍යයට මුදා හරින කන්ටෙන්ට් එකකට විරෝධාකල්පයක් දක්වනවා නම් අපිටත් ඒවාට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපි බලන්න ඕනෑ පුළුවන් තරම් ඉවසීමෙන් මේ වැඩේ කරගෙන යන්න. මම උදව් ඉල්ලලා මිනිස්සු වෙනුවෙන් දාපු වීඩියෝවලට කකුලෙන් ඇදලා දාන කමෙන්ට් දාපු අයට මේ කරන වැඩේ දකින පිරිස උත්තර දීලා තිබුණා. පොදු ජනතාව ගිහිල්ලා අපේ කකුලෙන් අදින කෙනාට උත්තර දීලා තිබුණා. ඒකත් මේ වෙලාවේ සිද්ධවුණ ලස්සන වැඩක්. හරියට අපේ මිනිස්සු අපිවම පරිස්සම් කළා වාගේ.


ආපු චෝදනා හින්දා මේ වැඩේ නවත්වලා දාන්න හිතුණේ නැතිද?


නැහැ. එහෙම නම් කීයටවත් හිතුනේ නැහැ. ඉතුරුවෙන අන්තිම එකා මම වුණත් මම මේක අන්තිම වෙනකම් කරනවා කියලා තමයි මට හිතුණේ.


තනියම හරි මේ ගේම ගහනවා කියන තැන තමයි හිටියේ?


අනිවාර්යයෙන්ම. මම මේක මුල ඉඳලා දැක්කේ මෙහෙමයි. මේක දවසින් දෙකෙන් ආධාර එකතු කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රට දැන් කැඩිලා තියෙන්නේ. මේ රට දැන් අපි හදන්න ඕනෑ. මේක හදන්න මාර කාලයක් යනවා. මේක හරි කඩිනමින්, ඉවසීමෙන්, කාලාන්තරයක් තිස්සේ කරන්න ඕනෑ.


ඔබේ ගම් පළාත එහෙම කොහේද?


මගේ ගම කෑගල්ල. කෑගල්ලෙන් මට ගොඩක් අය කතා කරලා අහනවා ඔයා ගමට එන්නේ නැතිද?. කොළඹට වෙලා මොකක්ද කරන්නේ කියලා. ඇත්තම කතාව මේ අපි දෙන්නා කතාබහ කරන දෙසැම්බර් 01 වැනිදා වන විටත් මෙතැනින් එහාට තවම යන්න බැහැනේ. කෑගල්ලෙ බුලත්කොහුපිටිය, අවිස්සාවේල්ල, අරණායක ප්‍රදේශවල නායයෑම් වගේම ගංවතුර ගැලීම් තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා. අයියා මාත් එක්ක කතා කරන දෙසැම්බර් 01 වැනිදා වන විටත් මේ තියෙන තත්ත්වයත් එක්ක අපිට කෑගල්ලට යන්න පුළුවන්කමක් නෑ. හැබැයි අවස්ථාව ලැබුණ ගමන් මම යන්න ලෑස්තිවෙලා ඉන්නවා. ලංකාවේ ඕනෑම තැනකට වගේම අඩුම අවධානයක් යොමුවුණ උතුරටත් යන්න සූදානම්වෙලා ඉන්නවා. අනික සමාජ මාධ්‍යයෙන් රූපවාහිනියට වඩා වේගයෙන් පණිවුඩය සමාජයට ලබාදෙන්න පුළුවන්නේ. ගොඩක් තැන්වල රූපවාහිනිය බලන්න විදිහක් නැහැ. ඒකට හේතුව දවස් ගණනාවක් තිස්සේ විදුලිය නැහැ.


ෂෙහාන් මලික් දේශපාලනයට එන්න අදහසක් තියෙනවාද දන්නෙත් නැහැ කියලා පෝස්ට් දක්නට ලැබුණා.


ඇත්තටම එහෙම අදහසක් තියෙනවාද?


සමාජ වගකීම ඉටුකරන්න දේශපාලනඥයෙක් වෙන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. ඔයා ශ්‍රී ලාංකිකයෙක්, මනුස්සයෙක් හැටියට ඉපදුණා නම් ඔයාගේ සමාජ වගකීම ඉටුකරන්න ඔයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න ඕනෙත් නැහැ. අපි මෙහෙම කතා කරන්නෙත් මට යම් ආදරයක් මිනිස්සු දීලා තියෙන හින්දයි. දේශපාලනයට මම කොහොමත්ම එන්නේ නැහැ.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post