අලුත් තොරතුරු ගැන කියලාම මේ කතාබහ ආරම්භ කරමු.
මම ටෙලි නාට්‍යයක් සමඟ සම්බන්ධ වුණේ අවුරුදු පහක නිහඬතාවකින් පසුව. ඒ වසර 5 ඇතුළත චිත්‍රපට නම් 2ක රඟපෑවා. එම චිත්‍රපට දෙකෙන් එකක් ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන්.
ඉන් එකක් ප්‍රියන්ත කොළඹගේ මහතාගේ “සූරිය සුළඟ,” අනෙක් එක “මන්දාරම්” කාලයකට පස්සෙ වැඩ කරනවා කියන්නෙ හරිම අමාරු දෙයක්. ඒ සඳහා හිත හදා ගත්තෙ හරිම අමාරුවෙන්.
කාලයක් නිහඬ වෙලා ඉන්න විශේෂ හේතුවක් තිබුණාද?
එකම හේතුව මගේ පුතා. ඔහු නිසා තමයි මම රඟපෑමෙන් ඉවත් වුණේ. දැන් නම් පුතා ටිකක් ලොකුයි. ඒ නිසා මට පහසු වුණා නැවැත රංගනයට එකතු වෙන්න. මේ කාලය තුළ ගොඩාක් නිර්මාණ සඳහා කතා කළා. මම භාර ගත්තේ නෑ. මේ නිර්මාණයට දායක වෙලා ගොඩාක් අයගෙන් බැනුම් ඇහුවා. “අපි කතා කළාම තමයි බැරි” කියල බොහෝදෙනා චෝදනා කළා. ඒ වුණාට මම ටෙලි නාට්‍යයක රඟපානකම් බලාගෙන හිටපු ප්‍රේක්ෂකයන් පිරිසක් හිටියා. ඒ අය වෙනුවෙන් සාධාරණයක් කරන්න ඕනෑ කියලා හිතලා තමයි මම මේ නිර්මාණය භාර ගත්තේ. මොකද රංගන ශිල්පිනියක් ලෙස මම සාර්ථක වුණා නම් ඒ මට ආදරය කළ රසික පිරිස නිසයි. ඒ නිසා අමාරුවෙන් වුණත් හිත හදාගෙන මේ නාට්‍යයේ රඟපෑවා.
කාලයකට පසුව රංගනයෙන් එක් වූ “ආලේ” ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?
අධ්‍යක්ෂවරුන්ට මාව මතක ඇති කියලවත් මම හිතුවේ නැහැ. “ආලේ” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක මල්ලිට බොහොම ස්තුතියි කාලයකට පසුව මාව මතක් වුණාට. මම මේ ටෙලි නාට්‍යයේ චරිතය කරන්නෙ හරිම ආසාවෙන්. සංගීත ගුරුවරියක් විධියටයි මම එහි රඟපාන්නේ. පවුලක් ලෙස එකට ජීවත් වෙද්දි විඳින්න සිදුවන සමහර අමාරුකම් හමුවේ නොසැලී ශක්තිමත් ලෙස සියලු දේ දරා ගනිමින් තාත්තා සහ තමන්ගේ දුවත් සමඟ ජීවත් වෙන චරිතයක්. මේ චරිතය ගොඩනැඟෙන ආකාරය එහි වෙනස්කම් ආදිය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්.
මේ රංගනය වෙනුවෙනුත් “මුතු”ට යහපත් ප්‍රතිචාර ලැබෙනවාද?
දැනටමත් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මේ ටෙලි නාට්‍ය සමඟ සම්බන්ධ වෙද්දි හිතුවේ නැහැ මට මෙහෙම ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මම නැවැතත් ටෙලි නාට්‍යයක රඟපානවා දැක්කම ඇත්තටම සතුටු වුණ රසිකයෝ පිරිසක් ඉන්නවා.
“ආලේ” අධ්‍යක්ෂවරයා ගැන ඔබේ අදහස?
මම ඉන්දික ධර්මතිලක මල්ලි එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ප්‍රථමවතාව තමයි මේ. මම ඔහුව දැකල තිබුණේ නැහැ. අහල විතරයි තිබුණේ. ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණු ගමන්ම හිතුණෙ මෙයාට පුළුවන්ද මේ තරම් දෙයක් සාර්ථකව කරන්න කියලයි. මොකද අපේ කාලේ අපි දැකලා තිබුණේ සහ වැඩ කළේ වයසින් ගොඩාක් වැඩිමල්, අත්දැකීම්වලින් පරිණත අධ්‍යක්ෂවරු සමඟ නේ. ඇත්තටම මම හිතාගෙන හිටියෙ වයසෙන් වැඩි අධ්‍යක්ෂවරු තමයි දක්ෂ කියලා. නමුත් ඒ අදහස ඔහු නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. විශාල දැනුමක් තරුණ වයසේදීම ලබාගෙන සාර්ථක නිර්මාණ බිහි කරන මෙවැනි තරුණ අධ්‍යක්ෂවරු බිහි වීම කලා ක්ෂේත්‍රයට ආලෝකයක්. මෙවැනි දක්ෂ සම්මානනීය තරුණ අධ්‍යක්ෂවරයකු සමඟ මට වැඩ කරන්න ලැබීමම ඇත්තටම භාග්‍යයක්.
ඉදිරියේදී දිගටම නිර්මාණ කාර්යයේ නියැළෙනවද?
එක දිගට රැඳිල ඉන්න නම් කැමැති නැහැ. ඉස්සර මම මගේ පවුල වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කළේ නැහැ. මම පවුල ගැන හිතන්න පටන් ගත්තෙ පුතා ලැබුණට පස්සේ. ඒ නිසා ස්වාමිපුරුෂයා සහ පුතා ගැන බලන්න ඕනෑ කියන අදහසින් තමයි මම ඉන්නෙ. ඒ නිසා රඟපෑමට විශාල ඉඩකඩක් වෙන් කරන්න අදහසක් නැහැ. මොනවා හරි හොඳ නිර්මාණයක් ලැබුණොත් හෝ මේ චරිතය කරන්න පුළුවන් කියලා හිතුණොත් භාර ගන්නවා. එහෙම නැතිව එක දිගටම හැම ටෙලි නාට්‍යයකම ඉන්න ඕනෑ කියන සිතුවිල්ල නම් නැහැ. ආවොත් හොඳ චරිතයක් භාර ගන්නවා එම චරිතය උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා.
වර්තමානයේ බිහි වන නිර්මාණ පිළිබඳ ඔබේ අදහස?
ඇත්තටම හොඳයි. හොඳ නිර්මාණ බිහි වෙනවා. වර්තමානයේ මම හරිම ආසාවෙන් බලපු නාට්‍ය කිහිපයක් තියෙනවා. රට පවුල, ජහුටා, ලවර් ස්ලිප් වැනි නිර්මාණ ඉන් ප්‍රධානයි. මම වගේම වෙනත් ප්‍රේක්ෂකයන් ගෙන්ද එම නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඉස්සර වගේ නෙවෙයි දැන් තිබෙන ටෙලි නාට්‍යවලින් හිතාගන්නවත් බැරි පැතිකඩවල්වලට අපව රැගෙන යනවා. ඉස්සර නම් අපි දන්නවා ඊළඟ කොටසින් මොකද වෙන්නෙ කියලා. දැන් එහෙම අනුමාන කරන්නවත් බැහැ. දෙබස් වුණත් හරි ලස්සනයි. ඒ දෙබසක එක වචනයක් හරි මඟ හැරුණොත් එයින් අදහස් වෙන්නේ වෙනත් අර්ථයක්. දැන් පිටපත් ලියන අය වුණත් හොඳට ලියනවා. හොඳ ටෙලි නාට්‍ය හැදෙනවා. සිනමාව වගේම ටෙලි නාට්‍යයත් නව මානයක් කරා ගමන් කරමින් සිටිනවා. එය හොඳ ප්‍රවණතාවක් විධියටයි මම නම් දකින්නේ.
ඔබ ඔබේ දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන අරගත්තේ නැහැ කියලා හිතෙන්නෙ නැද්ද?
ඔය ප්‍රශ්නය මගෙන් හැමෝම අහනවා. සමහර අවස්ථාවල අධ්‍යක්ෂවරු පවා මට එහෙම කියල තියෙනවා. මම රඟපෑමෙන් දායක වුණු චරිතවලට වඩා යමක් කරන්න මට පුළුවන් කියලා මටත් හිතෙනවා. එහෙම වෙනස් චරිත තිබෙන ටෙලි නාට්‍ය ගණනාවකට ඉස්සර මම සහභාගි වුණා. එහෙත් ඒවා විකාශය වුණේ නැහැ. ඒක මගේ අවාසනාව වෙන්න ඇති. සමහර විට ඉස්සරහට එහෙම වෙනස් චරිතයක් කරන්න මට අවස්ථාව ලැබේවි.
රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නෙ?
ඒ ගැන හරිම ආඩම්බරයි. ඒ වගේම එය මගේ ලොකු වාසනාවක්. මම විශ්වාස කරනවා මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න වගේම මේකට එන්නත් ලොකු වාසනාවක් තිබෙන්න ඕනෑ කියලා. රංගන ශිල්පිනියක් වීම නිසා මට ලැබුණු දේ බොහොමයි. ප්‍රසිද්ධ කෙනෙක් වුණාම පෞද්ගලික ජීවිතයක් නැති තරම් ඒ වුණාට ඒ විදිහට මම කැමැතියි.
නවක පරපුර සමඟ වැඩ කරන එක පහසු වුණාද?
කාලෙකින් ආවා වුණත් ඔවුන් මාව හොඳට පිළිගත්තා. එහෙත් සමහර තැන්වලදී මට තේරුණු දෙයක් තිබෙනවා. නවකයන් තුළ අපි ළඟ තරම් ඉවසීම අඩුයි. මේ ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න ඒ වගේම සාර්ථක ගමනක් යන්න නම් ඉවසීම අත්‍යවශ්‍යයි. ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඔවුන්ට සාර්ථකත්වයට පත්වීම අපහසු වෙන්නේ නෑ.
පුතා ගැන කතා නොකළොත් එය අඩු පාඩුවක් වෙයි නේද?
මගේ පුතා හොඳට ඉගෙන ගන්න ඕන. එහෙම හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන ගමන් අමතර දෙයක් ලෙස කලාවට යොමු වුණාට කමක් නැහැ. මම යම් තැනක ඉන්නෙ කලාව නිසා. ඒ නිසා එයා කලාවට එනවට මම අකැමැති නැහැ. දැනටම එයා නටන්න, සින්දු කියන්න ආසයි. මම දන්නෙ නැහැ එයා මොනවා කරයිද කියලා.