එදා නොවැම්බර් මාසෙ 25 වැනිදා. උදේ ඉඳන්ම වැස්ස. දවල් වෙද්දි අඩුවෙයි කියල හිතුවත් එහෙම වුණෙත් නැහැ. අපේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් කොළඹ ඉඳන් නුවර පුපුරැස්ස ප්‍රදේශයට පිටත්ව යන්න අපි සැලසුම් කරගෙන හිටියෙ එදා. වැස්සෙම වුණත් අපි ගමන පිටත් වුණා. ඒ යන තැන ඉඳන්ම ලොකු මාර්ග තදබදයකට මුහුණ දෙන්න සිදු වුණත් බාධක මගහැරගෙන බොහොම අමාරුවෙන් අපි ලොකේෂන් එකට ගියා.
තවමත් වැස්ස. ඒ නිසා අපේ අධ්‍යක්‍ෂතුමා කිව්වා අපි හෙට ෂූටිං කරන්නේ නැතිව අනිද්ද ඉඳන් පටන්ගමු කියල. ඒ තීරණයත් එක්ක අපිට ආහාර අරගෙන එන වාහනයත් මග එනගමන් තිබුණ නිසා අපි නවාතැනට යන්න පිටත් වුණා. ඒ වෙලාවෙ පහළින් තිබුණ ඔයක් පිටාර ගිහින් අඩි හතරක් පහක් විතර උසට දෙගොඩ තලා වතුර ගලනව. අපිට ඒ හරහා යන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඒ නිසා වාහන ආපහු උඩට අරගෙන අපි කෑම අරගෙන එන වාහනේ අයට කතාකරල කිව්වා ඒ ටිකත් අරගෙන හොටෙල් එකට එන්න, අපිට එතැනදි කෑම ගන්න පුළුවන් කියල. කිසිම ගැටලුවක් නැතිව ඒ මොහොතේ දුරකතනත් හොඳින් වැඩ කළා. නමුත් ඔවුන් කිව්වෙ අපිට එක තැනකින් එන්න බැහැ, නාය ගිහින් කියල. අපි ඔවුන්ට කිව්වා නැවත හරවාගෙන අනෙක් පැත්තෙන් එන්න කියල. ටික දුරයි එන්න පුළුවන් වුණේ. ඔවුන්ට දකින්න ලැබුණෙ ඔවුන් ආපු පාර නාය ගිහින් තියෙන බව. නොසිතූ විදිහට සිද්ධ වුණ දෙයින් ඔවුන් පාර මැද කොටු වුණා. අඩුවක් නොවුණ මහ වැස්ස, ගංවතුර, නායයෑම් එක්ක යන්න එන්න විදිහක් නැතිව අපි හතළිස් තුන් දෙනෙක් ලෙවලන්ඩ් වත්ත ලොකේෂන් එකේම රැය පහන් කළා.
පසුවදා උදේම අපි නවාතැනට එන්න පිටත් වුණත් වාහනයකින් එන්න බැහැ. පාර තැනින් තැන නාය ගිහින්. වෙන විකල්පයකුත් නැති තැන අපි කිලෝමීටර අටක් දුර පයින්ම එන්න පිටත් වුණා. නවාතැන් ගන්න හෝටලයේ ගැටලුවක් නොතිබුණ නිසා බැගේජස් ගන්න ආපහු කිලෝමීටර අටක් ලොකේෂන් එකට පයින් ඇවිදගෙන එන්න මට සිද්ධ වුණා. ඒ ටික අරගෙන නැවතත් නවාතැනට, මේ විදිහට කිලෝමීටර විසිහතරක් එකම වෙලාවක ඇවිද්දා.
මොහොතින් මොහොත කාලගුණය දරුණු වෙනව. ෂූටිං කරන්නවත් නැවත කොළඹ එන්නවත් අපිට පුළුවන්කමක් තිබුණෙ නැහැ. පහුවැනිදා කිලෝ මීටර පහක් දුර ඇවිදගෙන ගලහ ටවුන් එකට ඇවිත් බඩු ටිකක් ගෙනැල්ල අපිම කෑම හදාගත්තා. මේ වෙද්දි විදුලිය, වතුර වගේ පහසුකම් ඇනහිටල. කොහෙන්දෝ ලැබුණ පෙට්‍රල් පොඩ්ඩක් ජෙනියට දාල ඒක ස්ටාර්ට් කරගෙන යාන්තං අපේ ෆෝන් ටික චාර්ජ් කරගත්තා. විශේෂයෙන්ම කියන්න ඕන, මේ අතිශය දුෂ්කර අවස්ථාවේ අපේ කෲ එකේ සියලුම දෙනා එකා වගේ හිටියා. ඒකම තමයි අපේ ලොකුම ශක්තිය වුණේ.
මේ තත්ත්වය අපිට අලුත්ම අත්දැකීමක්. මීට කලින් අපි මෙවැනි තත්ත්වයකට මුහුණදීල තිබුණෙ නැහැ. ඒක ඉතාමත් කටුකයි වගේම ශෝචනීයයි. එක අවස්ථාවක මමයි මේඝ සූරියආරච්චියි කෑම ගන්න පහළට එනව. ඒ අතර එක් වරම පහළින් ගැහැනු අයගෙ අඳෝනාවක් ඇහෙනව. අපිට කිසිම දෙයක් දැනගන්න වෙන්නෙ නැහැ. අපි අපේ ගමන යනව. නමුත් ආපසු එන මොහොතෙ අපිට දැනගන්න ලැබෙනව එකොළොස් දෙනෙක් නායකට අහුවෙලා පස්වලින් යට වුණා කියල.
මේ දේවල් එක්ක අපේ මානසිකත්වයත් හරිම ව්‍යාකූල වෙන්න පටන්ගත්තා. මොකද මේ දේවල් වෙන්නෙ මිනිසුන්ට නේද කියල අපිට හිතෙනවනෙ.
අපි කොටුවෙලා හිටපු කාලය තුළදි ගොඩක් අවස්ථාවල දුරකතන වැඩ කළේ නැති නිසා අපේ පවුල්වල අයත් පුදුම විදිහට බයවෙලා.
ඇත්තටම ඉස්සර මම දැක්ක සුන්දර ගලහ දැන් නැහැ. ඒ වෙනුවට තියෙන්නෙ බොහෝසෙයින් විනාශවෙලා ගිය පරිසරයක් සහිත ප්‍රදේශයක්. නුවර කියන්නෙ මගෙත් ගම. ඉතිං බොහොම දුකයි, බොහොම කනගාටුයි. මගේ ගම මගේ ඇස් ඉදිරිපිටම විනාශවෙලා. මේ, මම ජීවිතේ කිසිම දවසක බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි.
මේ තත්වයේ තවදුරටත් රැඳෙන්න අපිට පුළුවන්කමක් නැහැ. අපි කට්ටියම කතා වුණා 01 වැනිදා කොහොම හරි ආපහු යමු කියල. මොකද ඒ වෙනකොට අපි දවස් පහක් කිසිම දෙයක් කරගන්න විදිහක් නැතිව හිරවෙලා හිටියෙ.
ගලහ කියන්නෙ අපේ ජගත් මනුවර්ණ මහත්මයාගෙ ගම් පළාත. අපි මුහුණ දුන්න අවාසනාවන්ත තත්ත්වය ගැන මේඝ ඔහුට දැනුම් දුන්නා. ආරංචිය දැනගත්ත මොහොතෙම අපිව හොයාගෙන ඇවිත් බැකෝ යන්ත්‍රයක් ගෙන්වල අපිට නැවත යන්න පුළුවන් විදිහට පාර හදා දෙන්න තරම් ඔහු කාරුණික වුණා. අපි වෙනුවෙන් විතරක් නෙමෙයි, මුළු ගමම වෙනුවෙන් මේ මොහොතෙත් එතුමා අති විශාල කැපකිරීමක් කරනවා.
සැලසුම් කළ විදිහටම 01 වැනිදා උදේ පුපුරැස්සෙන් පිටත්වෙලා ඉතාමත් අපහසුවෙන්, ඉතාමත් අවදානම් ගමනකින්, සමහර පාරවල් සුද්දකරගෙන, අතුරුආන්තරාවක් නැතිව දහවල් වෙද්දි අපි සියලු දෙනාම අපේ ගෙවල්වලට ආවා.
මහේෂ් එදිරිසිංහ