ඉතාම සද්භාවයෙන් මට පුළුවන් දේ කළා -චතූ රාජපක්‍ෂ

gossiplanka image 2
දිට්වා සුළි කුණාටුවත් සමග අපේ රට විශාල ආපදා තත්ත්වයකට මුහුණ දුන්නා. මිනිස් ජීවිත වගේම දේපළ විශාල වශයෙන් හානියට පත්වුණා. සෑම කේෂ්ත්‍රයක්ම කඩාවැටුණා. ඉතිං කලාකරුවන්ටත් ඒ තත්ත්වය බලපෑවා වගේම ඔවුන් විපතට පත් ජනතාවට සහන සැලසීමට මැදිහත් වුණා. අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන චතූ රාජපක්ෂත් ඇයට පුළුවන් විදිහට කලාකරුවන් කිහිපපළක් එකතු කරගෙන පිසූ ආහාර වගේම වියළි ආහාර ලබාදීමක් සිදුකළා. ඉතිං ඒ ගැන දැනගන්න අපි චතූට කතා කළා.



ඇත්තටම මට මුලින්ම කියන්න ඕනෑ මේ වැඩේ අපිට තනි තනිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුල් දවස් දෙක තුනේ අපි ගෙදරට වෙලා හිටියා. අපිට හිතට බයක් තිබුණා සුළි කුණාටුව හින්දා අපිට වගේම අපේ ගෙවල්fදාරවල්වලටත් හානියක් සිදුවේවි ද කියලා. නමුත් මම පදිංචිවෙලා ඉන්න ප්‍රදේශවලට ආපදා තත්ත්වය බලපෑවේ නැහැ. ඒ වුණාට අපේ හිතට පුංචි බයක් තිබුණා එළියට බහින්න, සුළි කුණාටුවෙන් වගේම වැස්සෙන් හානි ඇතිවේවි කියලා. නමුත් ගෙදරටවෙලා ඉන්නකොට මේ සිදුවෙලා තියෙන විපත දකින්න ලැබුණා. පුංචි දරුවන්ට කන්න නෑ, ගර්භණී මාතාවන් අන්ත අසරණවෙලා.



තමන්ගේ පුංචි පැලේ ඉඳන් හරි බත් ටිකක් උයාගෙන කාපු කෙනෙකුට ඒ පැල පවා නැතිවෙනවා කියන්නේ ඉතාමත් කනගාටුදායක තත්වයක්. මේ අවාසනාවන්ත තත්ත්වය දුප්පතාට වගේම පොහොසතාටත් උස් පහත් භේදයකින් තොරව බලපෑ කාරණාවක්. එතැනදී මිනිස්සු මෙච්චර දුරට අසරණ වෙන්න ඕනෑ ද කියන කාරණාව මගේ හිතට ආවා. නමුත් ස්වාභාවික විපතක් විදිහට කාටවත් මේකට දෝෂාරෝපණයක් කරන්න බැහැ. ඉතිං ඒකත් එක්ක ගෙදරට වෙලා මම කල්පනා කළා අපිට අපේ ගෙදර හරි කෑම ටිකක් උයලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම දෙය කියලා.



මුලින්ම මමයි මගේ සැමියයි යාළුවෝ ටිකයි එකතුවෙලා කෑම පන්සියයක් විතර බෙදලා දුන්නා. ඒ දෙන්න ගියාට පසුව තමයි ඇත්ත තත්ත්වය දැක්කේ ‘දෙවියනේ මොකක්ද මේ මගේ රටට වෙලා තියෙන්නේ’ කියලා. අපි මුලින්ම ගියේ හංවැල්ල, කඩුවෙල කියන ප්‍රදේශවලට. අපි කෑම පිළියෙල කරගත්තු ස්ථානයේ ඉඳලා කිලෝමීටර් දොළහක් විතර දුරට තමයි මුලින්ම ගිහිල්ලා බෙදුවේ. අන්තිමේ කිලෝමීටර් පනස්අටක් විතර දුරට ගියා. අපි ඒ යන යන හැම පාරකින්ම වතුර දානවා. මිනිස්සු කලබල වෙලා. අපි කෑම ගේනවා කියලා දැනගත්තහම රාත්‍රිය නිසා මිනිස්සු විදුලිපන්දම් ගහලා කෑම අපෙන් ඉල්ලනවා. ඒ තත්ත්වය දැක්කට පස්සෙ අපි හිතවා මේක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මොකද අපි තනියම කළොත් කෑම පන්සියයක් හයසියයක් වගේනේ දෙන්න පුළුවන් වෙන්නේ. අපි කිහිප දෙනෙක් එකතු වුණොත් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන අදහස මගේ ඔළුවට ආවා. විශේෂයෙන් මේ වෙලාවේ මම මතක් කරන්න ඕනෑ ශෂී ඉද්දමල්ගොඩ කියන මගේ අක්කාව.


ඇයයි මමයි යහගුණ පදනම සමගත් ඊගල් ටීවී සමගත් එකතුවෙලා බස්නාහිර පළාතේ අසරණ වෙලා සිටින පිරිසට ආහාර ලබාදීමට තීරණය කළා. මෙහිදී මමයි, ශෂී අක්කයි මූලිකත්වය අරගෙන මගේ කලාකරුවෝ ටික එකතු කරගත්තා. අනික කලාකරුවොත් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නවා. අපි කලාකරුවෝ කිව්ව පළියට අපිට යහමින් සල්ලි නැහැ. මොකද අපි කරන වැඩත් එක්ක බත් පැකට් දහයක්වත් ලබාදෙන්න බැරි කලාකරුවෝ ඉන්නවා. නමුත් ඒ කලාකරුවන්ට ශ්‍රමයෙන් දායකත්වය ලබාදෙන්න පුළුවන්. අපි ඒ වැඩේ ආරම්භ කරන මොහොතේ කලාකරුවෝ එකතු වෙලා ආහාරපාන ලබාදෙන වැඩසටහනක් ආරම්භ කරලා තිබුණෙත් නැහැ. නමුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, වෙනත් විවිධ වෘත්තිකයන් එකතු වෙලා මේ වැඩේ කරන බව අපි දුටුවා. ඒ නිසා යහගුණ පදනමත් එක්ක කතාබහ කරලා, මමයි ශෂී අක්කයි එකතු වෙලා ආහාරපාන ලබාදෙන වැඩේ ආරම්භ කළා. අපි කතාබහ සිදුකරන දවසට පෙර නොවැම්බර් 30 වැනිදා ආහාර පාර්සල් තුන් දහසකට අධික ප්‍රමාණයක් ලබාදීමට හැකි වුණා. ඒ වගේම දෙසැම්බර් මස 01 වැනිදා වන විටත් ආහාර පාර්සල් දෙදහස් පන්සියයක් විතර ලබාදුන්නා.


අපි ගොඩක් දෙනෙක් සෝෂල් මීඩියාවලට බනිනවානේ. මටත් සෝෂල්මීඩියා ගැන කලකිරුණු අවස්ථා තියෙනවා. නමුත් සෝෂල්මීඩියා නිසා අපිට පුළුවන් වුණා ගොඩක් අයගේ බඩගින්න සංසිඳුවන්න. ඒකට හේතුව තමයි මම මුලින්ම සෝෂල්මීඩියාවල වීඩියෝ එකක් දැම්මා අපි කෑම පාර්සල් බෙදාදෙන වැඩසටහන් කරනවා අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න කියලා. ඒ හරහා මට නොයෙකුත් ප්‍රදේශවලින් අසරණ වුණු අය මුණගැසුණා. අපි පිසූ ආහාර විතරක් නෙමෙයි සනීපාරක්ෂක තුවා, වියළි ආහාර, වතුර බෝතල් වගේ පුංචි පුංචි දේවල්වලින් උදව් කළා. මම දැක්කා ගොඩක් දෙනෙක් අපිට පින්දීලත් තියෙනවා.


ඇත්තටම මම මේ දේවල් කළේ පබ්ලිසිටි එකවත්, චතූ රාජපක්ෂ කියන නම හදාගන්නවත් නෙමෙයි. අනික චතූ රාජපක්ෂ කියන නම මට කොහේවත් දාන්න වුවමනා නැහැ. නමුත් මම සමාජ මාධ්‍ය මේකට භාවිතා කළේ මේ වෙලාවේ කාටවත් ටීවි එක බලන්නවත්, රේඩියෝ එකක් අහන්නවත් විදිහක් නැහැ. සමහර ප්‍රදේශවල විදුලියත් නැහැනේ. ඉතිං ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍ය මගින් තමයි අපිට මේකට කට්ටිය එකතු කරගන්න පුළුවන් වුණේ. මම මගේ කලාකරුවන්ට මගේ පෞද්ගලික දුරකථනයෙන් පවා කතා කරලා කිව්වේ මට ශ්‍රමයෙන් තමයි මේ වෙලාවේ සහයෝගය ඕනෑ කියලා. හැබැයි ඔවුන්ගෙන් මේ වැඩේට ලොකු සහයෝගයක් ලැබුණා. මට හරිම සතුටුයි, අපේ කලාකරුවෝ නෑ.. බෑ.. නොකියා අපිත් එක්ක මේ වැඩේට සහයෝගය ලබාදෙන්න පැමිණියා.


ඇත්තටම මේ වෙලාවේ මේ කතාවත් කියන්න ඕනෑ. මේකේ කිසිම යටිඅරමුණක් නැහැ. මට තියෙන්නේ මේ දේ ඇත්තටම මේ වෙලාවේ මට වුණානම් කියන හැඟීම විතරයි. එතැනින් එහාට කිසිම දෙයක් නැහැ. සමහරුන්ට හිතෙන්න පුළුවන් මෙච්චර ලොකු වැඩක් මෙයා කරන්නේ කොහොමද කියලත්. මේ වගේ දෙයක් කරන්න මොකක් හරි අරමුණක් ඇති කියලත්. මේක ඇත්තටම සාමුහික වැඩක්.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post