මම මේ වෙද්දි ගැඹුරටම ආදරය විඳින කෙනෙක්-කසුනි

gossiplanka image 1
නාඩගම්කාරයෝ’ අතර ඉඳපු රසිකා ඔබට මතක ඇති. ආර්ථික ගැටලු, සැමියාගේ අත්හැරයාම නිසා රසිකාට උරුම වුණේ අන්තදුක්ඛිත ජීවිතයක්. නාඩගම්කාරයෝ අහවර වුණත්, ඒ රසිකා තවමත් ප්‍රේක්ෂකයින්ගේ මතකයේ ඉන්න හේතුව, කසුනි කවින්දි ප්‍රනාන්දුගේ රංග ප්‍රතිභාව කියලයි අපිට හිතෙන්නේ. තණමල්විල කොල්ලෙක්, රාවණා 02, කොහොල්ලෑවේ දේවතාවි, ඉර හැංගිලා ආදී ටෙලිනාට්‍ය හරහා වගේම සිහින සමීකරණ, උතුරු සුළඟ, ගජමෑන්, වෙඩි නොවදින ළමයි ආදි චිත්‍රපට හරහාත් ඇය ප්‍රේක්ෂකයන්ට සමීප වුණා. මේ දිනවල ඇය බොහෝදෙනෙකුගේ මතකයට රිංගාගෙන සිටින්නේ නීරා චිත්‍රපටයේ රශ්මි ලෙසින්. මේ සියලු චරිත අස්සේ ඉන්න ඇත්ත ‘කසුනි’ ගැන දැනගන්න අපි මෙවර පිළිසඳරේ යෙදුණේ කසුනි එක්ක.

*නීරා චිත්‍රපටයේ රශ්මිට ලැබෙන ප්‍රතිචාර  කොහොමද?

ඇත්තටම රශ්මිට මම හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාරත් එක්ක බලද්දී ඇත්තටම නීරා කියන්නේ මගේ සිනමා ජීවිතයේ මම ජයගත්ත විශාල කඩඉමක්.

*ඒත් ඔබේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය, සිහින සමීකරණ චිත්‍රපටය නේද?

ඔව්. නීරා චිත්‍රපටය හැරණුකොට මම මේ වෙද්දි රංගනයෙන් දායක වුණ චිත්‍රපට ත්‍රිත්වයක් තමයි සිහින සමීකරණ, ගජමෑන් හා උතුරු සුළඟ. ඒ අතරින් සසික හේරත්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වුණ සිහින සමීකරණ චිත්‍රපටයේ රිද්මිගේ චරිතය වෙනුවෙන් මම මෙරට සිනමා උළෙලවල් කිහිපයක වගේම ජාත්‍යන්තර සිනමා උළෙලකත් ඇගයීමට පාත්‍රවුණා. ඒ වෙනතුරු මට ඇගයීම්, නිර්දේශවීම් වගේම සම්මානත් ලැබිලා තිබුණේ වේදිකා රංගනයට පමණයි.

*විශේෂයෙන්ම නීරා චිත්‍රපටයේ ඔබට රඟපාන්න සිද්ධ වුණේ ආධුනික රංගන ශිල්පී සෙනිත් ගජවීර සමඟ. ඔහුගෙන් ලැබුණේ මොනවගේ සහයෝගයක්ද?

ඇත්තටම සෙනිත් මීට පෙර රංගන ක්ෂේත්‍රයේ නියැළුනු කෙනෙක් නෙවෙයි. රංගනයට ඔහු ආධුනික කෙනෙක්. එහෙම වුණත් ඔහු ඒ ආධුනික බව රංගනයට බාධාවක් කරගත්තේ නෑ. ඒක මට වගේම සෙසු රංගන ශිල්පීන්ටත් ලොකු  පහසුවක් වුණා.

*ඊට අමතරව මේ දිනවල ඔබ නියැළෙන වෙනත් කලා වැඩකටයුතු මොනවද?

පසුගිය දිනවල නම් මම රඟපාපු ඉර හැංගිලා ටෙලිනාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය වුණා.  එහිදී නීරා චිත්‍රපටයේ රශ්මිට ලැබුණ ප්‍රතිචාරවලට සමාන ප්‍රතිචාර ඉර හැංගිලා ටෙලිනාට්‍යයේ බක්මී චරිතය වෙනුවෙනුත් මට ලැබුණා. ඒ වගේම තමයි මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන පැබ්ලෝ ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වල අවසාන අදියරට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරේ මම ‘අප අතර ඌ’ කියලා වේදිකා නාට්‍යයකටත් මේ දිනවල රංගනයෙන් දායක වෙනවා. එහි රාජ්‍ය නාට්‍ය උළෙල නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව ඉදිරියේදී මම රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණ කිහිපයක් මේ වෙද්දී සාකච්ඡා මට්ටමේ පවතිනවා.

*ක්ෂේත්‍රය තුළ ඔබට රෝල්මොඩ්ල් කෙනෙක් ඉන්නවද?

එක්කෙනෙක් කියලා නෑ කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරේ ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මහත්මිය වගේම හොලිවුඩයේ වගේම බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් කිහිපපොළක්ම ඉන්නවා. 

*එතකොට ඔබට ලැබෙන නිර්මාණ  තෝරාබේරාගන්නේ කොහොමද?

ඒක නිර්මාණ වෙනුවෙන් ආරාධනාව ලැබෙන මොහොතේ ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වය  වගේම මගේ අත්දැකීම්, හැදෑරීම් හා රංගන ධාරිතාව අනුව තමයි තීරණය වෙන්නේ.

*ඔබ දකින විදියට ශ්‍රී ලංකාවේ සිනමාවේදීන් මේ වෙද්දී මුහුණපාන දැවැන්තම අභියෝගය මොකක්ද?

මම දකින විදියට මෙරට සිනමාවේදීන් මුහුණපාන ලොකුම අභියෝගය ආර්ථික ගැටලු හා හොඳ  පිටපත් රචකයන්ගේ හිඟකම.

*නිළියක් වෙන එක කසුනි පුංචි කාලේ ඉඳන්ම දැකපු හීනයක්ද?

කවදාහරි දවසක නිළියක් වෙනවා කියලා හීනයක් මට පුංචි කාලේ ඉඳන්ම තිබුණේ නෑ. ඒත් පාසල් කාලේ එක්තරා අවදියකදී විෂයක් විදියට නාට්‍ය හා රංගකලාව හදාරන්න හිතුණා. එහෙම හදාරද්දී තමයි මට තේරුණේ රංගනය කියන්නේ මගේ කැමැත්ත කියලා. ඒ නිසා  උසස් පෙළෙන් පස්සේ විශ්වවිද්‍යාලය තුළත් මම රංගනය හැදෑරුවා. ඒ අතරේ දායක වුණ නිර්මාණ ඇසුරෙන් ලබපු අත්දැකීම් වගේම ජීවන අත්දැකීම් පසුකාලීනව මාව රංගන ශිල්පිනියක් බවට පත්කළා.

*ඔබ පවුලේ කීවැනියාද?

මම පවුලේ තුන්වැනියා. මට අයියා සහ අක්කා ඉන්නේ. අක්කා විවාහකයි. ඇයත්, ඇගේ පවුලේ අයත්, අයියාත්, අම්මාත්, මමත් තමයි අපේ පවුලේ ඉන්නේ. තාත්තා මේ වෙද්දී ජීවතුන් අතර නෑ.

*ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් යමක් කිව්වොත්?

සාමාන්‍යයෙන් මම ඉදිරි සැලසුමක් ඇතුව වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒ වෙනුවට මම නිතරම උත්සාහ කරන්නේ මේ මොහොතේ මට ලැබෙන චරිත වෙනුවෙන් ඇපකැප වෙලා උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි.

*කසුනි මේ වෙද්දී ආදරය විඳින කෙනෙක්ද?

ඔව්. මම මේ වෙද්දි ගැඹුරටම ආදරය විඳින කෙනෙක්. ඒ කවදාවත් මාව විනිශ්වය නොකරන මගේ ශක්තීන් අරගල වගේම දුර්වලතාත් හොඳින් හඳුනන මගේ සීමිත මිතුරු කැළෙන් වගේම පවුලේ අයගෙන්.

*දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?

කාලයට සියල්ල බාරදෙනවා.

නෙත්මි තෂාරා

gossiplanka image 2
Previous Post Next Post