මගේ ඉදිරිපිට ඉඳන් ඇය ඇගේ ඒ අතීතය මතක් කරද්දි මට එකපාරම මතක් වුණේ අපේ අල්ලපු රටේ ජනප්‍රිය නිළියක් වෙන ප්‍රියංකා චොප්රාව. අහලා තියෙන විදියට නම් ඇගේ කතාවත් මීට සමාන එකක්. ඇයටත් පුංචි කාලේ හීන 3ක් තිබිලා තියෙනවා. ඒ රූ රැජිනක් වෙන්න, රංගන ශිල්පිනියක් වෙන්න සහ නිරූපණ ශිල්පිනියක් වෙන්නට. ඔබට මතකනම් 2000 ලෝක රූ රැජින තරඟය තමයි ඇයට ඒ හීන සැබෑකරගන්න පාර පෙන්නුවේ.
“එදා අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණයෙන් පස්සේ මට ගොඩාක් නිරූපණ වැඩවලට ආරාධනා ලැබුණා. ඒ වගේම රංගනයටත් අවස්ථාව උදාවුණා. මුලින්ම සිරස නාලිකාවේ ගියපු නීල පබළු ටෙලිනාට්‍යයේ සුළු චරිතයක් ලැබුණේ. ඒත් එතැනින් පස්සේ දිගටම ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත කරන්න ආරාධනා ලැබුණා. මුලින්ම ප්‍රධාන චරිතයක් කළේ 2023 දි ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වූ රෝස සුදුයි ආදරියේ ටෙලිනාට්‍යයේ.”
ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකවෙලා ගතවුණේ අවුරුදු දෙකක් උනාට මේ වෙනකොට ඇය අපේ රටේ ජනප්‍රිය නිළියක්. ඇය තමයි දසුනි නවෝද්‍යා. මෙවර අපි ‘ධරණී’ කවරයට පෙනී ඉන්න ආරාධනා කළෙත් දසුනිට.
*දසුනි මේ දිනවල රංගන කටයුතු කොහොමද?
“මේ දිනවල රංගනයෙන් දායකවන ටෙලිනාට්‍ය 2ක් විකාශය වෙනවා. ඒ දෙරණ නාලිකාවේ හිතාගන්න බැරි කතාවක් සහ හිරු නාලිකාවේ හිද්දලයෝ ටෙලිනාට්‍යයේ. ඒ දෙකටම ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.”
ඒ අතරින් බුද්ධික සේමසිංහ අධ්‍යක්ෂණය කරන හිතාගන්න බැරි කතාවක් ටෙලිනාට්‍යයේ දසුනි රංගනයෙන් දායකවෙන්නේ ‘ආලෝචනා’ කියන ප්‍රධාන චරිතයට.
“හිතාගන්න බැරි කතාවක් ආරම්භ වෙලා මේ වෙනකොටත් කොටස් ගණනාවක් ගිහින්. ඒත් ප්‍රේක්ෂකයින්ට ආලෝචනාගේ චරිතය හරියටම අඳුනගන්න තවම බැරිවෙලා තියෙනවා. ගොඩාක් අය ඇයව දකින්නේ වැරදි වැඩ කරන කෙනෙක් විදියට. ඒත් ඉදිරියේදි ඒ චරිතයේ යම් වෙනසක් වෙන්න නියමිතයි. ඉතින් මම ප්‍රේක්ෂකයින්ගේ කුතුහලයට බාධා නොකර දිගටම හිතාගන්න බැරි කතාවක් නරඹන්න කියලා ආරාධනා කරනවා.”
හිරු නාලිකාවේ ‘හිද්දලයෝ’ ටෙලිනාට්‍යයේ දසුනි රඟපාන්නේ හින්නි මැණිකේට. ගැමි චරිතයක් වුණු ඒ චරිතය ගැනත් අපි දසුනිගෙන් අහලා බැලුවේ ඒක ඇය මීට පෙර රඟපා තියෙන චරිතවලට වඩා සැබැවින්ම වෙනස් එකක් නිසා.
“හිද්දලයෝ කියන්නෙත් අළුත්වීදියගේ රනිල් කුලසිංහ මහතා අධ්‍යක්ෂණය කරන ලස්සන ගැමි ටෙලිනාට්‍යයක්. බුද්ධදාස විතානාරච්චි, තරින්දි ප්‍රනාන්දු, චමීර ලියනගේ වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක්ම ඒ සඳහා රංගනයෙන් දායකවෙනවා. ඒ වගේ පිරිසක් එක්ක රඟපාන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.”
දසුනි කියන්නේ මීට පෙර රොකී, මී මැස්සා, සේයා, සර්කස්කාරයෝ වගේ ජනප්‍රිය ටෙලිනාට්‍ය බොහෝමයක් වෙනුවෙන් රංගනයෙන් දායක වූ නිළියක්. ඒ අතරින් සිරස නාලිකාවේ විකාශනය වූ ‘මී මැස්සා’ ටෙලිනාට්‍යය ඈට සුවිශේෂී බවත් ඇය මතක් කළා.
“ඩිල්ෂාන් පතිරත්න මහතාගේ නිර්මාණයක් වූ මී මැස්සා ටෙලිනාට්‍යයේ භාග්‍යා කියන චරිතය මට විශේෂයි. මොකද ඒ චරිතය නිසා මුල්වරට මාව සම්මානයක් වෙනුවෙන් නිර්දේශ වුණා. ඒ 2024 වසරේ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළියට. ඒ සම්මානය මට හිමි නොවුණත් නිර්දේශවීමත් එක්තරා ජයග්‍රහණයක් විදියටයි මං දකින්නේ.”
රංගනයට ඇවිත් කෙටි කාලයකදී එහෙව් ‘හොඳම’ කැටගරියේ සම්මානයක් වෙනුවෙන් නිර්දේශ වෙන්න ලැබීම ගැන ඇයගේ අදහසත් අපි අහලා බැලුවා.
“ගොඩාක් සතුටුයි. මුලදි මං මේ රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒත් මං ඒ ගැන ස්වයං අධ්‍යයනයක නියැළිලා තනියෙන් ගොඩනැගුනා. එහෙව් අතීතයක් තිබුණු මං ඉතා කෙටි කලක් ඇතුළත මේ ඇවිත් තියෙන ගමන ගැන සතුටුයි. මේ වෙද්දිත් මං සම්මාන උළෙල කීපයකම හොඳම සහ ජනප්‍රිය කියන කැටගරි දෙකෙන්ම සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා. අවසානෙට සම්මානයකට නිර්දේශ වුණේ මේ වසරේ තිබුණු Calin Popular Awards සම්මාන උළෙලේදි වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නැගී එන නිළිය විදියට.”
*රංගන ජීවිතේ අමතක නැති දවස් තියෙනවද?
“(සිනාසෙමින්) සර්කස්කාරයෝ ටෙලිනාට්‍යයේ දුවන දර්ශනයක් කරන්න තිබුණා. මමත් එක්ක තව පිරිමි ළමයි තුන්දෙනෙක් දිව්වේ. කොළඹ අවට ඒක රූගත කළේ. උදේ 9.00 ඉඳලා හවස් වෙනකල්ම රූගත කළා. අන්තිමේදි මහන්සියට මට අසනීපත් වුණා.”
පුංචි තිරය හරහා රංගනයට ප්‍රවිෂ්ට වෙන ඕනෑම නළු නිළියකගේ බලාපොරොත්තුවක් තමයි එතැනින් රිදී තිරය වෙත පැමිණීම. දසුනිත් පහුගිය ටිකේම එහෙව් හීනයක් දැකපු නිළියක්.
“මගේ ඒ හීනයත් පසුගියදා සැබෑ වුණා. වෛද්‍ය කපිල සූරියආරච්චි මහතාගේ අධ්‍යක්ෂණයක් වෙන අග්නික කියන චිත්‍රපටයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක ලබන වසරේ ප්‍රදර්ශනය වෙයි.”
රංගනය ගැන දිගින් දිගටම අහපු නිසාම ඊළඟට අපි දසුනිගෙන් අහලා බැලුවේ ඇයගේ නිවේදන වැඩකටයුතු ගැන.
“මේ වෙනකොට නිවේදන කටයුතු කරන්නේ ටිකක් අඩුවෙන්. ඒ රංගන කටයුතුවලට වැඩි කාලයක් වැයකරන්න සිදුවෙන නිසා. අනෙක මම කැලණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතුවලත් නිරතවෙනවා. ඒක නිසා කාලය ගැන යම් ගැටලුවක් තියෙනවා. ඒත් කවදාවත් නිවේදනයෙන් අයින්වෙන්නේ නෑ. මං රංගනයට වගේම නිවේදනයටත් ආදරෙයි.”
*දසුනිගේ පවුලේ විස්තර එහෙම මොනවද?
“මට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. අපේ පවුලේ එකම ළමයා මම. එකම ළමයා හින්දා සමහරක් වෙලාවට එකා යකා තමයි ඉතින්.”
රුවෙන් පොහොසත් හැඩකාරියක්ව අපි ඉස්සරහා තියාගෙන ඇයගෙන් ආදරය ගැන නොඅසා කොහොමද? මේ කතාබහේ අවසන් ප්‍රශ්නය විදියට දසුනිට මගෙන් ලැබුණු ප්‍රශ්නය වුණේ ඒක.
“මට තවම එහෙම ආදරයක් නම් මුණගැහිලා නෑ. හැමදෙයක්ම හොඳම කාලෙදි ජීවිතේට ලැබුණා වගේ ඒ දේත් හොඳම කාලේ ලැබෙයි.”