රූ කිරුළ අවුරුදු කුමරිය තරඟයේදි ජනප්‍රියම කුමරිය වුණේ මම -රමේෂා රණසිංහ

gossiplanka image 2
මට ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම තිබුණේ නිළියක් වෙන හීනයක්. මට මතකයි සමහර දවස්වලට මං අම්මගේ සාරි ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් චිත්‍රපටවල දෙබස් කියනවා. කොහොමහරි අවුරුදු 23ක් වෙද්දී මට ටීන් පට්ටි හින්දි චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් උදාවුණා. එදා මං හිතාගත්තා කවදාහරි මම නතරවෙන්නේ ප්‍රේක්ෂකයින්ට මතක හිටින නිළියක් වෙලා කියලා. ඒ හිතපු දේ අද සැබෑ වෙලා.”

එහෙම කියන්නේ ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන ශ්‍රද්ධා කපූර්. ඒ ඇය ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වූ මෝහිත් සූරි අධ්‍යක්ෂණය කළ ‘ආශිකි 2’ (Aashiqui 2) හින්දි චිත්‍රපටය අතිසාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබූ අවස්ථාවක. ඒ වනවිට චිත්‍රපට කීපයකටම දායකවී තිබුණත් ඇගේ හීනය හැබෑවුණේ ‘ආශිකි 2’ චිත්‍රපටයෙන් පස්සේ. ඉතින් ශ්‍රද්ධා වගේම දවසක මතක හිටින නිළියක් වෙන්න හීන මවපු අපේ රටේ නවක නිළියක් ගැනයි අපි මේ ඊළඟට කියන්න යන්නේ. ඒ තමයි රමේෂා රණසිංහ. මෙවර ධරණී කවරය හැඩකළ හැඩකාරියත් ඇයමයි.

“2023 අවුරුද්දේ ජාතික රූපවාහිනියෙන් කරපු රූ කිරුළ අවුරුදු කුමරිය තරඟයේදි ජනප්‍රියම කුමරිය වුණේ මම. ඒ ජයග්‍රහණයෙන් පස්සේ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ ඉන්නැද්දි තමයි ටීවී දෙරණේ දෙවෙනි ඉනිමේ චරිතයකට අලුත් නිළියක් ගන්න ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා මට ආරංචි වුණේ. එදා ගෑනු ළමයි 50ක් විතර ඒකට ඇවිත් හිටියා. ඒත් අන්තිමේට අමන්දා කියන චරිතයට තෝරගත්තේ මාව. ඒ ලැබුණු අවස්ථාවත් එක්ක මං එදා හිතාගත්තා මං කවදාහරි නවතින්නේ ප්‍රේක්ෂකයින්ට මතක හිටින නිළියක් වෙලාමයි කියලා.”

එදා එහෙම හිතපු රමේෂා කියන්නේ අද වෙනකොට තමන්ගේ බලාපොරොත්තුව සැබෑ කරගත් ජනප්‍රිය නිළියක්. මේ වනවිට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අමන්දා චරිතයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ඒ බව පැහැදිලියි.

අපිට ආරංචි වුණු විදියට රමේෂා කියන්නේ යම් නිර්මාණයක් බාරගත්තම ඒකට උපරිමයෙන් කැපවෙන නිළියක්. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.

“ඔව් ඒක ඇත්ත. මට මතකයි ගිය අවුරුද්දේ මං ඉන්න ප්‍රදේශය ගංවතුරින් යටවුණා. එදා ශූටින් තිබුණු දවසක්. ඒත් මං ඒ ගංවතුර මැදත් ශූටින් ගියා. මොකද මොන දේ උනත් මං බාරගත්තු දෙයක් කරන එක මගේ වගකීමනේ.”

*මේ සැරේ ගංවතුරින් බලපෑමක් වුණේ නැද්ද?

“මොකද නැත්තේ, මගේ ගෙවල් කඩුවෙල. කඩුවෙල කියන්නේ ගංවතුරින් වැඩි වශයෙන් හානිවුණු ප්‍රදේශයක්. අපේ ගෙදරත් පහ‍ළ තට්ටුව වතුරට යටවුණා. අපි දවස් කීපයක් ගෙයි උඩ තට්ටුවේ හිරවෙලා හිටියේ. ඒ දවස් ටිකේ නම් සෑහෙන්න දුකෙන් හිටියේ. ඒත් ඒ වෙලාවේ අම්මා කිව්වා රටේ අනෙක් මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් දැක්කම අපිට මේ වෙලා තියෙන දේ මොකක්ද දරුවෝ කියලා. තාත්තාත් කිව්වා අපේ ගෙදර ගංවතුර බැස්සම අපිත් ගිහින් ඒ මිනිස්සුන්ට උදව් කරමු කියලා. ඉතින් ගංවතුරින් කොච්චර පීඩා වින්ඳත් අපිත් මිනිස්සුන්ට පුළු පුළුවන් හැටියට මේ ටිකේම උදව් කළා.”

එම ආපදා තත්ත්වයට මුහුණ පෑ කෙනෙක් හැටියට අපේ රටේ මිනිස්සු ඔවුන් තනි නොකර ඔවුන්ගේ පිහිටට පැමිණි එක ගැනත් ඇයගෙන් මට වචනයක් අහන්න හිතුණා.

“මගේ රටේ ආදරණීය මිනිස්සු ගැන ගොඩාක් සතුටුයි. ඔවුන්ට ගොඩාක් ස්තුතියි. ඒ මිනිස්සු ගැන මට කියන්න වචන නෑ. ඇත්තටම අපේ රටේ ඉන්නේ හදවත්වලින් හුඟාක් පොහොසත් මිනිස්සු කියලා මං දැක්කා.”

රමේෂා නිළියක් සහ නිරූපණ ශිල්පිනියක් විදියට කටයුතු කළත් තවමත් ඇය තම උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන තරුණියක්.

“මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමේ අදහසින් දැනට මං පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙනවා. ඒ අතරේ තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.”

*පුංචි ව්‍යාපාරයකුත් කරගෙන යනවලු නේද?

“ඔව්, ලියාරා නමින් Clothing Brand එකක් පටන් අරන් කරගෙන යනවා.”

වෘත්තීන් කීපයක නිරතවන නිසා කාලය පිළිබඳ ගැටලුවක් නැද්ද කියලත් අපි රමේෂාට ප්‍රශ්නයක් යොමුකළා.

“එතැන ගැටලුවක් තියෙනවා. ඒත් කොහොමහරි කාලය කළමනාකරණය කරගෙන වැඩ ටික කරගෙන යනවා. අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි. ඒ අයගෙන් මට මගේ වැඩවලට උපරිම සහයොගයක් ලැබෙනවා. ඒක මට ලොකු ශක්තියක්.”

එහෙම කියපු රමේෂාට මේ වෙද්දි තියෙන ලොකුම බලාපොරොත්තුව කලා ක්ෂේත්‍රයෙත් රැඳෙන ගමන්ම මෘදුකාංග ඉංජිනේරුවරියක් විදියට ඒ හීනයත් සැබෑකරගන්න එකලු. ඉතින් ඒ වෙනුවෙන් ‘ධරණී’ අපිත් රමේෂාට සුබ පැතුම් එකතු කළා.

gossiplanka image 1
Previous Post Next Post