මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ මටම අනන්‍ය වෙච්ච ගමනක් යන්න-මිෂෙල් දිල්හාරා

gossiplanka image 2
රංගන ශිල්පියෙක් විදියට අපේ රැකියාවේ අරමුණ තමයි රංගනයෙන් තව කෙනෙක්ට යමක් පරිකල්පනය කරන එක. එතැනදී ලැබෙන ජනප්‍රියතාව, වරප්‍රසාද වගේම මාධ්‍ය ඉඩකඩ සමාජයට වැඩදායීව යොදාගැනීම රංගන ශිල්පියෙකුගේ වගකීමක්.”

මීට අවුරුදු 7කට ඉහතදී සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ තමයි එක්තරා දේශනයකදී එහෙම පැවසුවේ. ඔහුගේ ඒ දේශනයට සවන්දීපු පිරිස අතරේ අපේ රටේ ජනප්‍රිය නිළියකුත් හිටියා. ඒ වනවිටත් නිළියක් විදියට කටයුතු කරමින් සිටි ඇයට ලියනාඩෝගේ මේ ප්‍රකාශය මගහැරලා යන්න හිතුණේ නෑ. ඒ නිසා ඈ තීරණය කළා රංගනයෙන් තමන් උපයන ධනය, ජනප්‍රියතාව පරිසරයේ සුරක්ෂිතතාව වෙනුවෙන් වගේම සමාජ සුබසාධනය වෙනුවෙනුත් ආයෝජනය කරන්න. ඇය තමයි තාරුණ්‍යයේ ජනප්‍රියම නිළිය ලෙසින් සම්මානයට පවා පාත්‍රවුණ ජනප්‍රිය රංගන ශිල්පිනී, මිෂෙල් දිල්හාරා. 

*මීට දින කිහිපයකට පෙරදී ඔබේ පළමු දමිළ චිත්‍රපටය, අදිරන් තිරගතවුණා නේද?

ඔව්. 28 වැනිදා සිට සිනමාහල්වල තිරගත වෙන්න පටන්ගත්තා. තිනේෂ් කනගරාජ් සර් අධ්‍යක්ෂණය කරපු, ඒඩ්‍රියන් ප්‍රඩක්ශන් එකෙන් නිශ්පාදනය කරපු අදිරන් චිත්‍රපටයේ මම නිරූපණය කරේ කවී කියන සාම්ප්‍රදායික දමිළ තරුණියකගේ චරිතයක්. කවීගේ චරිතය ටිකක් අභියෝකාරී වුණත් මම ගොඩක් ආසාවෙන් වගේම සතුටින් කරපු චරිතයක්.

*ඒ චරිතය වෙනුවෙන් ඔබට ආරාධනා ලැබුණේ කොහොමද?

අදිරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිනේශ් කනගරාජ් සර් තමයි මට මේ චිත්‍රපටයට ආරාධනා කරේ. මේ චිත්‍රපටයේ මාත් එක්ක සුදර්ශන් රවීන්ද්‍රන් ඇතුළු දමිළ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වුණා.

*පසුගියදා පැවති එහි මංගල දර්ශනයේදී ඔබ සමඟ ඡායාරූප ලබාගැනීමට පැමිණි පිරිස් අතර විශාල තදබදයක් ඇතිවීමෙන් වැඩසටහන පැයක් පමණ ප්‍රමාද වුණා නේද? ඒ විදියට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒ ගැන මම සතුටු වෙනවා. මම යන එන හැමතැනකදිම මාත් එක්ක කතා කරන, සතුට බෙදාහදාගන්න වගේම මාව ධෛර්ය්‍යමත් කරන සියලුම දෙනාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

*ඊට අමතරව මේ දිනවල ඔබ නියැළෙන වෙනත් කලා කටයුතු මොනවද?

මේ දිනවල මම හිරු නාලිකාවේ විකාශය වෙන රොන්සොයා ටෙලිනාට්‍යයේ වගේම ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය තුනක රූගතකිරීම් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

*එතකොට ඔබ රංගනයට පිවිසුණේ කොහොමද?

මම රංගනයට පිවිසුණේ 2016 වසරේ. ඒ 2014 වසරේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීලා වසර දෙකක් පමණ අනෝජා වීරසිංහ මිස්, දමයන්ති ෆොන්සේකා මිස් සහ රන්දික විමලසූරිය සර් යටතේ රංගනය ගැන හැදෑරීමක් කළා. ඊටපස්සේ තමයි මගේ පළවැනි ටෙලිනාට්‍ය සල්සපුනා සමඟ සම්බන්ධ වුණේ.

*රංගනයට පිවිසෙන්න හැදෑරීමක් අවශ්‍යමද?

ඒක සාපේක්ෂයි. මොකද සමහර අයට රංගනය කියන දේ උපතින්ම ලැබිලා තියෙනවා. සමහර අයට එහෙම නෑ. මම හිතන්නේ අපි රංගනය ගැන හැදෑරීමකුත් කරොත් එතකොට අපිට ආත්මවිශ්වාසයකින් යුතුව ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ක්ෂේත්‍රය තුළ රඳාපවතින්නත් ඒ හැදෑරීම ලොකු රුකුලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. 

*රංගනයට අමතරව ක්ෂේත්‍ර කිහිපයකම කාර්යබහුල භූමිකාවක් ඉටුකරන ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ නංගිලා දෙන්නා. ඉතිං ඒ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් වගේම දිරිගැන්වීමක් මගේ හැම වැඩකටයුත්තකටම ලැබෙනවා. 

*ඊට අමතරව ඔබට රෝල්මොඩ්ල් කෙනෙක් ඉන්නවද?

මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ මටම අනන්‍ය වෙච්ච ගමනක් යන්න. ඇත්තටම මගේ ජීවිතේ රෝල්මොඩ්ල් එක මගේ අම්මා, තාත්තා. ඒ දෙන්නා තමයි මේතාක් මගේ ගමනට ලොකු සහයෝගයක් ලබාදුන්නේ.

*තව අවුරුදු 10කින් ඔබ ඔබව දකින්න කැමති මොන විදියටද?

රංගන ක්ෂේත්‍රයේ හොඳ රංගන ශිල්පිනියක් විදියට වගේම හොඳ කතුවරියක් විදියට ඉදිරියට යන්න. 

*කෙදිනක හෝ අධ්‍යක්ෂණයට පිවිසෙන්න  අදහසක් නැද්ද?

ඒ ගැන තාම හිතලා නෑ.

*මේ මොහොතේ ප්‍රාර්ථනාවක් කරන්න ඔබට අවස්ථාව ලැබුණොත්?

එහෙම වුණොත් මගේ එකම පැතුම මේ මොහොතේ හැම කෙනෙක්ටම පරිස්සමෙන් ඉන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියන එක වගේම මෙවැනි ව්‍යසනයක් මගේ රටට නැවතත් ඇති නොවෙන්න කියන එක.

*රටේ ඇතිවුණ ස්වාභාවික ආපදා තත්ත්වය ගැනත් ඔබට කියන්න යමක් ඇති?

මේ මොහොතේ අපි මූණදීලා තියෙන්නෙ ඛේදනීය තත්ත්වයකට. ගංවතුර සහ නායයෑම් නිසා විපතට පත්වෙලා ඉන්නෙ අපේම අය. ඉතින් මේ වෙලාවේ, අපි හැමෝම එකට එකතු වෙලා, අපිට පුළුවන් විදියට මේ ව්‍යසනයට මුහුණ දීපු හැමෝටම නැවත යථා තත්ත්වයට පත්වෙන්න සහයක් ශක්තියක් වෙන්න සහයෝගය ලබාදෙන්න උත්සාහ කරමු.

නෙත්මි තෂාරා

gossiplanka image 1
Previous Post Next Post