ආදරය, විශ්වාසය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක් -ගීතිකා රාජපක්ෂ

gossiplanka image 2
 

ජීවිතයේ විවිධ අරමුණු සපුරාගැනීම වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ ශිල්පිනියන් පසුගිය කාලයේ විදේශගත වුණා. ඒ ශිල්පිනියන් අතර ගීතිකා රාජපක්ෂ හදිසියේම විදේශගතවී ලැබුණු විවේක කාලයත් සමග පසුගියදා නැවත ලංකාවට පැමිණියා. ඉතින් අපි හිතුවා ඇය සමග විස්තර ටිකක් කතාබහ කරන්න.


හදිසියේම ලංකාවට ආවේ ඇයි ගීතිකා?

මම එංගලන්තයේ හිටියේ. ඉතින් ලැබුණු විවේක කාලයත් එක්ක මගේ අම්මා ඇතුළු පවුලේ අයත් එක් ඉඳලා යන්න මම පසුගිය සතියේ ලංකාවට ආවා.

මේ දවස්වල නම් ගොඩක් සතුටින් කාලය ගතකරනවා ඇති?

ඔව් ඉතින් රට ඉද්දී මගේ කියලා කවුරුවත් නැහැ. ලංකාවට ආවම මගෙ පවුලේ අය එක්ක සතුටින් ඉන්නවා. මට ආපු ගමන් වුවමනා කළේ පවුලේ අයත් සමග ශ්‍රීමහා බෝධීන් වහන්සේ වඳින්න යන්න. ඉතින් මම ආපු දවසෙම හවස පවුලේ අයත් එක්ක අනුරාධපුරයේ ගියා. මේ දවස්වල නම් ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ.

එතකොට හදිසියෙම ලංකාවෙන් යන්න හිතුණේ?

පොඩි කලකිරීමක් එක්ක මම හිතුවා ලංකාවෙන් යන්න. ලංකාවේ ඉඳගෙන ඒ දේවල් හිත හිතා ඉන්නවට වඩා වෙනසකටත් එක්ක මම ඒ තීරණය ගත්තේ. හැබැයි ඉතින් මම ගත්ත තීරණය ඵලදායී විදියට ප්‍රයෝජනයක් ගත්තා. මගෙ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ ගෙවුණු කාලය යොදාගෙන කටයුතු කළා. එහෙ ඉන්නකොට වෙන දෙයක් ගැන හිතන්න තරම් කාලයක් නැති තරම්. දෙසැම්බර් අවසානයේ විතර මම නැවත විදේශගත වෙනවා.

කඳුළින් ගැයූ පෙම් ගීතය?

ශාන් පෙරේරාගේ ගීතයකට මම එහිදී සම්බන්ධ වුණා. ලංකාවේ නිර්මාණ සඳහා මට ආරාධනා ආවා. ඒත් ලොකු වියදමක් කරලා ලංකාවට එන්න අපහසු නිසා මම සම්බන්ධ වුණේ නැහැ. නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ කියලා ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා නැහැ. කොතැනට ගියත් ප්‍රේක්ෂක ආදරය තවමත් ඒ විදියටම මට ලැබෙනවා. ඉතින් මම හිතාගෙන ඉන්නවා ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් යමක් කරන්න.

ඒ කිව්වේ මොන වගේ දෙයක්ද?

2026 වර්ෂය මගේ ජීවිතයේ සුබවාදී කාලයක් වෙයි. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලස්සන පිරිසක් එකතු කරගෙන ලස්සන වැඩක් කරන්න. හොඳ නිර්මාණයක් නිෂ්පාදනය කරන්න. ඒ වෙනුවෙන් මේ දවස්වල සැලසුම් කරගෙන යනවා.

ඇතුළුවීම තහනම් ටෙලිනාට්‍යයෙන් පසු ඔබව දකින්න ලැබුණේ නැහැ?

ඔව්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ඇතුළුවීම තහනම් ටෙලිනාට්‍යයේ තමයි මම අවසාන වරට රඟපෑවේ. ඒ සියලු කටයුතු අවසන් කරලා මම ලංකාවෙන් ගියා.

තනිකඩ ජීවිතයට වෙනසක් එකතු කරන්න අදහසක් නැද්ද තවම?

ඒ චරිතයෙන් මම මිදිලා ඉන්නේ. මේ වෙලාවේ ඉගෙන ගැනීම් කටයුතු වෙනුවෙන් හිත යොමුකරලා ඉන්නේ. ආදරය, විශ්වාසය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්. ඒ නිසා ඒ දේවල් ගැන මම හිතන්නේ නැහැ. ජීවිතයේ හැම දේම සුන්දර වෙන ලස්සන කාලයක් එනවා. මගේ ජීවිතයට වසන්ත කාලය උදාවෙනකන් මම ඉන්නවා.

gossiplanka image 1
Previous Post Next Post