මාරියා හි ‘බෙනට්’ ට මංගල දර්ශනයෙන් පසුව ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි තියෙන්නේ. බෙනට්ගේ චරිතය දැකලා ගොඩක් අය සතුටු වුණා.
‘බෙනට්’ ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා අපි දුටුවා?
මාස තුන හතරක් මුහුදු යන බෝට්ටුවක් ඇතුළේ සිදුවන්නේ කුමක්ද යන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂ අරුණ ගොඩාක් දුරට අධ්‍යයනය කරලා තිබුණා. ඒ අනුව තමයි ඔහු ‘මාරියා’ හි චරිත ටික නිර්මාණය කරලා තිබුණේ. ඒ වගේම බෙනට් කියන චරිතය ඔහු හරියටම බෝට්ටුවක යන කැප්ටන් ළඟට ඉන්න වගකිවයුතු චරිතයක් බවට නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම මෙහි රූගත කිරීමට ගියාට පසුව තමයි මේ කාරණාව ගැන අපිට හරි හරියට අවබෝධයක් ලැබුණේ.
මුහුද මැද සිදු කළ රූගත කිරීම්වලදී බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන්න අවස්ථා එහෙම තියෙනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම. මම මෑතකදී වෙනත් රූගත කිරීමක් සඳහා වරායක් ළඟ හිටපු වෙලාවේ දුටුවා බෝට්ටුවක් දියඹට යනවා වගේම බෝට්ටු ගොඩට එන දර්ශන සියල්ල බලාගෙන හිටියා. දැන් බලන කොට හිතෙනවා අපි මොන තරම් භයානක තීරණයක් ද අරගෙන තිබුණේ කියලා.
උදේ හවස අපි පොඩි බෝට්ටුවකින් ගිහිල්ලා ලොකු බෝට්ටුවකට ගොඩ වෙනවා. ඉනිමඟක නැඟලා යන්න ඕනෑ. බෝට්ටු දෙක පරතරය ඇතුළට කකුලක් එහෙම ගියොත් ඉවරයි. කාලය කළමනාකරණය කරගෙන රැල්ල ගිහින් පැද්දෙන්න කලින් බෝට්ටුවට ගොඩවෙන්න ඕනෑ. හරිම අවධානම් අවස්ථා ගොඩක් තිබුණා. ඒ හැම රූගත කිරීමකම.
ඒ කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්?
ඔව්. හැම දෙයක් ඇතුළේම තිබුණු අන්තරාදායක බව. අපේ නිෂ්පාදනය පිටුපස විශාල ලෙස තිබුණු පහසුකම් ආරක්ෂාව යන කාරණා පිළිබඳවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. මගේ අනෙක් සහෝදර ශිල්පීන් වන හේමාල්, අශාන්, දසුන්, මහේන්ද්‍ර, දර්ශන් ගැනත් කියන්න ඕනෑ. ඔවුන් රූගත කිරීම් දර්ශනවලට මුහුදට පවා පනිනවා. ඔවුන් ගොඩට ඇවිත් ආපහු අපේ නවාතැනට එනකම් තියෙන හැඟීම විස්තර කරන්න හරි අමාරුයි.
අශාන්, හේමාල් මුහුදට පනින දර්ශන රූගත කරනකොට මොනවගේ හැඟීමක් ද ආවේ?
ඒක හරි භයංකර සිදුවීමක්. මමයි මහේන්ද්‍ර අයියයි ගොඩක් බයවෙලා හිටියේ. මටත් ඒ චකිතය තිබ්බා. නමුත් ඔවුන් වෘත්තියටත් එහා ගිය ආසාව කැපවීම නිසාම චිත්‍රපටයක චරිතයකට එහාට ගිහින් ඒ වෙනුවෙන් උපරිම වැඩ කළා. මෙහි නිෂ්පාදන කණ්ඩායමක් උපරිම උදව් කළා. කැමරා අධ්‍යක්ෂ එක්ක උපරිම කැප කිරීමක් සිදු කළා. අපිට ඒ වගේ අත්දැකීමක් ලබන්න කවදාවත් බැහැ. ඉදිරියේදී ඒ වගේ අත්දැකීම් මුණ ගැසෙයි. නමුත් මේ අත්දැකීම ඉතාමත් සුන්දර වගේම භයානක අත්දැකීමක්.
ඔබට මුහුදේ පිහිනන්න පුළුවන්ද?
මට ඇත්තටම චිත්‍රපටයේ පිහිනන දර්ශන තිබුණේ නැහැ. මට කොහොමටත් පිහිනන්න පුළුවන්. අපේ රූගත කිරීම් නොමැති විවේක දවස්වල මුහුදේම කාලය ගත කරපු දවස් තිබුණා. අපි මුහුදේ යොට් එක නැවතිලා හිටියා. එතකොට මම පොඩ්ඩක් මුහුදට පැනලා හිටියා. ඉතිං ඒක ආසා දෙයක්නේ. නමුත් දැන් ආපහු හිතෙන කොට හරි භයංකාර අත්දැකීමක්. මොනවා වුණත් මගේ මිතුරන් ටික වන හේමාල්, අශාන්, දසුන්, මහේන්ද්‍ර, සුරන්, දර්ශන් ගත්තේ ලොකු රිස්ක් එකක්. ඔවුන් එවැනි අවදානමක් ගත්තේ තමන්ගේ චරිතයට තිබුණු ආසාව, කැපකිරීම හින්දයි.
2025 වසරේ ඔබේ දැවැන්ත නිර්මාණ ගොන්නක් තිරගත වුණා. ගොඩක් දෙනෙක් කියනවා මේක ඔබේ අවුරුද්ද කියලා. මොකද හිතෙන්නේ?
ඇත්තටම සන්තෝසයි. අවුරුදු ගණනාවක් බලාගෙන හිටියා අපේ තියෙන හැකියාව ඉදිරියට අරගෙන යන්න. ඒක කාලයක ඉඳලා කරගෙන ආපු දෙයක්. දැන් මගේ ජීවිතය ගත්තොත් එක් දහස් නවසිය අසූ ගණන්වල රඟපාන්න තිබුණ ආසාවට ක්‍ෂේත්‍රයට ආපු කෙනෙක් මම. සෑම කාලයක් මේකේ ඉඳලා මේ අවුරුද්දේ මොකක්දෝ වාසනාවකින් මට ලැබුණා. ඒ වගේම අවුරුදු ගණනාවක් තිස්සේ කරපු චිත්‍රපට මේ අවුරුද්දේ තිරගත වෙන්න ගත්තා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවක් අහම්බයක් විදිහට. මොකද ඒ වගේ අවස්ථාවක් ඇත්තටම එන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ මෙම නිර්මාණ තිරගත කිරීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. පුද්ගලික ජීවිතය ගත්තොත් එහෙම අපි සෑහෙන ඉලක්ක තියාගෙන වැඩ කළාට ක්‍ෂේත්‍රයේ අපිට එහෙම ලොකු විශ්වාසයක් ඇති කරවන්නෙත් නැහැනේ. මොකද මේ ක්‍ෂේත්‍රය පවතින විදිහත් එක්ක. පසුගිය කාලයේ නිර්මාණවලට රංගන ශිල්පීන් කියලා තාම කරන්න බැරි කැප කිරීමත් සිදු කළා. සමහර වෙලාවට ඒක ඇත්තටම එළියේ එච්චර දුරකට කතා වෙන්නේ නැහැ. ගන්න ගාණ එහෙම කතා බහ වෙනවා. ඒ වගේ දේවල් කතා කළාට නමුත් ක්‍ෂේත්‍රයක් කියන්නේ මොකක්ද? ඒ වටිනාකම් කියන්නේ මොකක්ද? යන්න අපි තවම හොයාගෙන නැහැ.
මෑත කාලයේ බිහිවුණ නිර්මාණ බොක්ස් ඔෆිස් වාර්තා තැබුවට නළු නිළියන්ට ගෙවන මුදල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?
මම හිතන්නේ ඒක නළු නිළියන් ගැනම විතරක් නෙමෙයි. නිෂ්පාදන කණ්ඩායම්වල කාර්මික ශිල්පීන් ගැන පවා කතාබහ වෙන්න ඕනෑ. මේ ක්‍ෂේත්‍රයට පවතින ආකාරය ගැන ගැටලුවක් තියෙනවා. වෘත්තීන් විශාල ප්‍රමාණයක් මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා. නමුත් එක වෘත්තියක් වත් අදාළ විෂය ක්‍ෂේත්‍රයට අනුගත කරලා නැහැ. එතකොට ඒක ව්‍යාපාරික ඇසින් වුණත් බලන්න පුළුවන්. අපි හැමෝගෙම වෘත්තීය භාවයක් පිළිබඳව වටිනාකම් බෙදී යන ක්‍රමවේදය නිරවුල් කරන්න ඕනෑ කියලා මම හිතනවා. මේ ආරම්භයේදීම ඒක තේරුම් අරගෙන සිදුකරන්න ඕනෑ කියලයි අපි හිතන්නේ. ආරම්භය කියලා මම සඳහන් කළේ නැවත ක්‍ෂේත්‍රය ගමන් කරන වෙලාවේ අපිට පුළුවන් නම් ඒවා ගැන හිතන්න සෑහෙන වටිනවා.
ඇත්තටම අපි අමුතු විදිහකටනේ මේක කරන්නේ. හැමෝම අසරණයි. යම්කිසි විදිහකට හැමෝටම ගැටලු තියෙනවා. නිෂ්පාදනයක් පටන් ගන්නවා කියන්නේ ම මුදල් නැති රටක අමාරු කාරණයක්. අධ්‍යක්ෂවරයාගේ වුවමනාව මතයි නිෂ්පාදකවරයා කැප කිරීම සිදු කරන්නේ. එතකොට ක්‍ෂේත්‍රයේ එතැනින් එහාට පවතින්නේ ඒ වැඩේ කෙරුණොත් විතරයි. ඉතිං එහෙමනේ මේක තියෙන්නේ. චිත්‍රපට බෙදා හරින තැනේ ඉඳලා වගේම සිනමා ශාලාවල පහසුකම්වල ඉඳලා රාමුවකට ඇතුළුවෙලා ක්‍රමවේදයක් හැදුවොත් හැමෝටම සාධාරණ හැමෝටම සතුටුවෙන ක්‍ෂේත්‍රයක් හැටියට පවත්වා ගන්න ලැබෙනවා නම් තමයි හොඳ. ඒක ඉදිරියේදී නිර්මාණය වේවි.
ඔබ මේ තාක් ආපු ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?
සතුටක් තමයි තියෙන්නේ. දුක් වෙන්න කියලා දෙයක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳලා ආස කරපු විෂයකදී හීන දැකපු විෂයකදී යම්කිසි විදිහකට යථාර්ථයක් බවට පත්වෙන්න ලැබිලා ඒකේ නැවත ආපහු ඕනෑම වෘත්තිකයෙක් හැටියට ඒ වෘත්තියේ ස්වභාවය අනුව වගේම ඒ වෘත්තියේ අර්ථය ගත්තහම අර්ථය තුළ ඇත්තටම රංගන ශිල්පියකුට ප්‍රේක්ෂකයා කියන කාරණය වැදගත්ම සාධකයක්. මට හිතෙනවා එහෙම බලද්දී අද වෙනකොට ප්‍රේක්ෂක අවධානයට යන්න පුළුවන් වෙලා ක්ෂේත්‍රයෙන් හැමෝගෙම උදව් ඇතිව යම් විදිහකට ඉස්සරහට එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගත් බලපුවහම සතුටින් තමයි ඉන්නේ.
ඔබ ළඟ හිටපු දක්ෂ වේෂ නිරූපණය ශිල්පියාට මොකද වුණේ ඔහුව මඟ හැරුණද?
මම දැන් අවුරුදු පහළොවක විතර ඉඳලා ටෙලිනට්‍ය චිත්‍රපටවල මේකප් ආර්ටිස් කෙනෙක් විදිහට වැඩ කරල නැහැ. මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ විතරයි වැඩ කළේ. මම එතැන වැඩ කළේ හැම වෙලාවෙම අප්ඩේට් එකක් ඇතිවුණත් එතැන හින්දයි. අලුත් ශිල්පීය දැනුම එනවා. අලුත් ශිල්පීන් එනවා. පහසුකම් තිබෙනවා. අධ්‍යක්ෂවරු එනවා. එතැන වැඩක් සිද්ධ වෙනවා. ඒ වැඩේට අපි ඇතුළු වෙනවා. එහි අත්දැකීම අපිටත් එනවා. හැම වෙලාවෙම අපිට කතාබහ කරන්න පුළුවන් පරිපූර්ණ ක්ෂේත්‍රයක් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ තියෙනවා. මම මේ මොහොතෙත් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. මට ඒක නැතුව ගියොත් ලොකු පාළුවක් දැනේවි. මොකද විෂය පිළිබඳව හැම වෙලාවෙම එතැන අප්ඩේට් එක තියෙනවා. එතැන කතාබහ කරනවා. ගමන් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ගත්තොත් දැන් චිත්‍රපට ක්ෂේත්‍රයේ තියෙන උණුසුමත් එක්ක මට යම් කිසි විදිහකට තියෙන හඳුනා ගැනීමත් එක්ක ලැබෙන අවස්ථා එක්ක ගත්තහම මම ටිකක් චිත්‍රපට එක්ක වැඩ කරන්න තමයි කාලය අයින් කරන්න කැමැති. ඒ අතර මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වේෂ නිරූපණ ශිල්පියා කියන කාරණාව අත හරින්නේ නැතිව ඉන්නවා. මොකද හැම වෙලාවෙම එතැන අප්ඩේට් එක තියෙනවා. ඉඳලා හිටලු වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නෙත් ඒකයි. නැතිනම් අපි වෘත්තීය ඇතුළේ අත්දැකීම් එක්කම ඉස්සරහට ගමන් කරනවා. අනික මෙතැන ඉන්නවා නම් අප්ඩේට් විය යුතුයි. අපි ආයේ අපේ පර්යේෂණවලට යන්න පුළුවන් අවස්ථාවලදී අපි යන්න ඕනෑ.
මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වෙන ‘නුග ගහක්’ වේදිකා නාට්‍ය ගැනත් ලොකු කතා බහක් ඇතිවෙලා තිබෙනවා නේද?
ලංකාවේ වේදිකා නාට්‍යවල පළපුරුදු දක්ෂ අධ්‍යක්ෂවරියක් වන කංචුකා ධර්මසිරිගෙන් තමයි මට මේ ආරාධනාව ලැබුණේ. මම ඇත්තටම වරින් වර එහෙම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. මට හොඳ අවස්ථාවක් ආවොත් ඒක මම අතහරින්නේ නැතිව අරන් තියනවා. මේකත් මට පිටපත ගැන දැනගන්න ලැබුණා. ඒ වගේම ඇය මට මේ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළා. ඊට පසුව පිටපත කියෙව්වහම ඒ ගැන ආසාවක් ඇතිවුණා. මේ නාට්‍යයට විශේෂ වූ අත්දැකීම් තියෙනවා. මට හැමවෙලාවෙම ක්ෂේත්‍රයේ ඉන්න පරිපූර්ණ ශිල්පීන් පිරිසක් එක්ක එකම නාට්‍යයක් ඇතුළේ වැඩ කරන්න ලැබෙනවා. ඒක මට ලොකු අවස්ථාවක්. අනික මට හැම වෙලාවේම මෙහෙම දැනුම බෙදාගන්න පුහුණුවීම් සිදු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ. වෘත්තීය මට්ටමේ වැඩ කරගෙන යනකොට තිබෙන අවිවේකී තත්ත්වය එක්ක සමහර වෙලාවට අපිට එක දිගට වැඩ කරගෙන යන්න සිද්ධ වෙනවා. ඉතිං ඒ අතර මට හම්බවුණු වෙනස්ම නිර්මාණයක්.
එකිනෙකාට පරයා නොයන දැවැන්ත රංගන ශිල්පීන් පිරිසක් එක්ක තමයි ඔබට මාරියාහි රඟපාන්න ලැබෙන්නේ. ඒක වෙනස්ම අත්දැකීමක් නේද?
මාරියා චිත්‍රපටයට මාව යෝජනා කරලා තිබුණේ මහේන්ද්‍ර පෙරේරා. අරුණගේ නිකිණි වැස්ස චිත්‍රපටයට මම ගොඩක් කැමැතියි. ඒ වගේම ඔහුගේ නිර්මාණශිලීත්වය පිළිබඳව ඉතා විශාල විශ්වාසයක් තිබ්බා. ඉතිං ඔහුගේ චිත්‍රපටයක් මට හම්බ වුණහම මම ඒ ආරාධනාව ඉතාම ඉහළින් භාර ගත්තා. මෙහි වැඩ කරන ශිල්පීන් ගත්තහම එතැන තිබුණේ ඉතා ඉහළ පළපුරුදු වෘත්තීය භාවයක්. ඒ වෘත්තීයභාවය හින්දම හැම වෙලාවේම අපි උත්සාහ කළේ අපිට හම්බවෙලා තියෙන මේ අත්දැකීම අපිට පැවරිලා තියෙන කාර්ය ඔස්සේ කොහොමද ඒක ඉදිරියට අරගෙන එන්නේ කියන කාරණය. අපිට එතැන එකිනෙකා පරයා යන්න එකිනෙකා ඉස්මතුවන්නේ නැති කතා කරන්නේ නැති කාරණා බවට පත්වෙලා තිබුණ අවස්ථාවක්. හැමෝම කොහොමද මේ චරිත හය ඇතුළේ කතාව ඉස්සරහට කියන්න ඕනෑ කියලා විතරයි කල්පනා කළේ. තනිකර අපේ අවධානය තිබුණේ එතැනට. ඉතිං මම දැක්කා ඉතාම පළපුරුදු රංගන ශිල්පියෙක් විදිහට ඔහුගේ කැලිබරේට් එක. බෙදා හදා ගැනීම්. ඒක තව තවත් අපිව උනන්දු කළා. හැමෝම උපරිමයෙන් වැඩ කළා.
දිනේෂ් විතාන