කාංචනාගේ අලුත්ම වැඩේ මෙන්න

gossiplanka image 2
 


කාංචනා අනුරාධි කිව්වාම දැන් නොදන්න කෙනෙක් නැති තරම්නෙ. ඉතිං ඇය ගැන අලුතින් හැඳින්වීමක් අපේ රසිකයන්ට අවශ්‍ය වෙන්නෙ නැහැ. අද අපි කාංචනා එක්ක කතා කළේ ඇයගේ අලුත්ම නිර්මාණය වන ‘දැන දැන මා’ ගීතය ගැන. දැනටමත් බොහෝ දෙනෙක් රසවිඳල තියෙන මේ ගීතය ගැන හරිම සතුටින්, කාංචනා අපිට මේ විස්තර ටික කිව්වා.


‘දැන දැන මා’ ගීතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවලු?


ඔව්, මේ දවස්වල ගීතයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. කියන්න සතුටුයි, මේ ප්‍රතිචාර විදියට ලැබෙන්නෙ හැමෝගෙම ආදරය. මේ ගීතය හැඟීම් මහා ගොන්නක එකතුවක්. ඒ නිසාම වෙන්න ඇති ගොඩක් දෙනෙක් ගීතය රස වින්දට පස්සෙ හැඟීම්බර වෙලා තියෙනව. මේ අතර කෙනෙක් දාපු ලස්සන කමෙන්ට් එකක් තිබුණ. ඒකෙ කියල තිබුණෙ දැන දැන මා කියන්නෙ කන්දෙකෙන් නොව, හදවතින් අහන්න ඕන ගීතයක් කියල. ඒ වගේම තව කෙනෙක් කියල තිබුණ කන්දෙක පිනවන ගීතයන් නොවෙයි, හදවත සනසන ගීතයක් කියල. මේ අතර දිනේෂ් අයියගෙ සහ මගේ කම්බිනේෂන් එක ගැන ගොඩක් දෙනෙක් කතාකරල තිබුණ. ඔවුන් කියල තිබුණෙ ඒක මැජිකල් එකක් කියල.



මේ ගීතය නිර්මාණය වුණ හැටි ගැන කතා නොකරම බැහැ?


අපි මේ ගීතය නිර්මාණය කරන්න පටන් ගත්තෙ ජනවාරි මාසයේ. දිනේෂ් අයිය මේ ගීතයේ වචන ටිකක් එක්ක මෙලඩි එක මට එවල තිබුණා. ඒ ගැන හොයල බැලුවාම හරිම ලස්සන මෙලඩි එකක්. එතැනින් පස්සෙ අපි මේ ගීතය කරමු කියන තැන ඉඳන් අපි කතාකරගත්තා. මෙතැනදි මනුරංග අයියව මතක් නොකරම බැහැ. ඔහු තමයි ඉන් පස්සෙ මුළු ගීතයම රචනා කළේ. වීඩියෝ එක කරල දුන්නෙ චමිල් පතිරණ අයියා. ඉදල්ගස්හින්න, ඇල්ල වගේ ලංකාවෙ අපි මීට කලින් ගිහිල්ල නැති ලස්සන ලොකේෂන් වලට ගිහිල්ල සොබාදහමේ අපූර්වත්වයත්, සංගීතයේ අපූර්වත්වයත්, හැඟීම් දැනීම්වල අපූවර්වයත් එක තැනකට කැටි කරල චමිල් අයිය ලස්සන වීඩියෝ එකක් කළා. ඒ වගේම මේ නිර්මාණයේ ඩීඕපී විදිහට කටයුතු කළේ දිමුතු කාලිංග අයියා. අපේ කණ්ඩායමේම කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නිර්මාණය එළිදකින්නෙ.



දිනේෂ් සමග මින් පෙරත් ඔබ නිර්මාණ කළා?


ඔව්, දැනෙනා තුරු මා කියන ගීතයට පස්සෙ අපි කරපු දෙවැනි ගීතය මේක. ඊට අමතරව අපි තවත් ගීත තුනක් නිර්මාණය කළා.


මේ සියලුම ගීත ජනප්‍රිය වුණා?


ඔව්, අපි දෙන්න කරපු හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. දිනේෂ් අයියි මමයි ක්‍ෂේත්‍රයට එන්නෙ එකම කාලයක. මට මුලින්ම ඔහුව මුණගැහෙන්නෙ මාතර පවත්වපු පළමුවැනි නාදගම ෂෝ එකේදි. එදාම ඔහු මට කිව්වා අපි දෙන්න එකතුවෙලා ගීතයක් කරමු කියල. කාලෙකට පස්සෙ අපි දෙන්න එකතු වෙලා ගීතයක් කරන්න පටන්ගත්තා, නමුත් අදටත් ඒක අවසන් කරගන්න බැරි වුණා.


මනුරංග විජේසේකරගේ පද රචනාව ගැන අදහස මොන වගේද?


මනුරංග විජේසේකර කියන්නෙ එක් එක් ගායකයාගේ හෝ ගායිකාවගේ හැඩය වගේම ඔහු හෝ ඇය මේ මොහොතේ ඉන්න ලෙවල් එක හරි හැටි හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාව අනුව පදරචනාවක් කරන්න විශේෂිත හැකියාවක් තියෙන කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් ඔහුට තියෙන්නෙ මැජිකල් රයිටින් ස්කිල් එකක්.


මෙවැනි රූප රචනාවක් ගෙන එන්න විශේෂ හේතුවක් තිබුණද?


මේ රූප රචනාව සත්‍ය සිදුවීමක් මුල්කරගෙන තමයි චමිල් අයියා විසින් නිර්මාණය කරන්නෙ. පුද්ගල රසඥතාවට බාධාවක් වෙන්න පුළුවන් නිසා මම එහි අන්තර්ගතය ගැන සඳහන් නොකර ඉන්නම්.


කොහොමද සංගීත වැඩ කටයුතු?


සංගීත වැඩ කටයුතු හොඳින් කරගෙන යනව. උපාධියේ වැඩ නිසා සංගීත වැඩකටයුතු ටිකක් අතපසු වුණා. නමුත් දැන් ඒ කටයුතු අවසන් නිසා මගේ සම්පූර්ණ කාලයම සංගීතය වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වෙලා තියෙනව.


ප්‍රසංග වේදිකාවේදී ලැබෙන ෆීඩ්බැක් එක කොහොමද?


මම ගෘහස්ථ වගේම එළිමහන් වේදිකාවේත් එක හා සමානවම ගීත ගායනා කරනව. අපේ ප්‍රේක්‍ෂකයන්ගෙ ස්වභාවය විවිධයිනෙ. ඔවුන්ගේ රසවින්දනයත් එකිනෙකට වෙනස්. මට තියෙන ලොකුම සතුට තමයි, මේ හැම කෙනකුගෙම හිත සනසන්න අවස්ථාව ලැබෙන එක. මේ යන එක හැම තැනකදිම ප්‍රේක්‍ෂකයන්ගෙ උපරිම ආදරය මට ලැබෙනව.


පසුගිය දවස්වල නාදගම ප්‍රසංගයක් කළා?


ඔව්, මේ වතාවෙ ෆෙස්ටිවල් එකක් විදිහට තමයි නුවරඑළියේදි නාදගම ප්‍රසංගය පැවැත්වුණේ. ඒක අපිට වගේම ප්‍රේක්‍ෂකයන්ටත් වෙනස්ම අත්දැකීමක් වුණා.


‘දැන දැන මා’ ගීතයේ ඔබ සාර්ථක රංගනයක යෙදෙනවා. රඟපෑමට ආරාධනයක් ලැබුණොත්?


දැනටමත් රංගනයට ආරාධනා ලැබෙනව. අපි බලමු නේද ඉදිරියේදී.


ඔබේම ප්‍රසංගයක් කරන්න අදහසක් නැතිද?


ගායකයෙක් හෝ ගායිකාවකගෙ හීනයක් තමයි තමන්ගෙම සෝලෝ ප්‍රසංගයක් පවත්වන එක. ඒකත් අපි ඉදිරියේදී බලමු. දැනට ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්.


පසුගිය කාලේ චිත්‍රපට පසුබිම් ගායනයටත් සම්බන්ධ වුණා?


විසල් ආදරේ, ගෞතම බුද්ධ මාතා, සෝලෝ ටවුන්, කම්බිලි වැනි නිර්මාණ රැසක පසුබිම් ගායනගෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ෆාදර්, ආදරණීය තරුවක්, වර්ෂා වැනි සිනමා නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව. ඒ වන තුරු මමත් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නව.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post