මගේ පවුලට සතුට ගේන්නේ කලණි – තුමිඳු

gossiplanka image 2
 

ඔයාලා ආදරය කරන හරි ආදරණීය චරිත දෙකකගේ ආදරණීය කතාබහක් තමයි අද අපි ඔයාලට ගෙන එන්න සූදානම් වෙන්නේ. මේ දෙන්නා රඟපෑ ටෙලි නාට්‍ය, චිත්‍රපට ඔයාලා හරියට නරඹලා ඇති. ඒ චරිත හරි අපූරුවට විඳලත් ඇති. හැබැයි අද අපි මේ දෙන්නත් එක්ක කතාබහ කරන්නේ ඔවුන් දෙපළ රඟපෑ චරිත, එහෙමත් නැතිනම් නිර්මාණ ගැන නම් නෙමෙයි. අද අපි ඒ දෙන්නාගේ විවාහ ජීවිතයට එබී බලන්න අදහස් කළා. ඔයාලා කවුරුත් ආදරය කරන තුමිඳු දොඩම්තැන්න සහ කලණි දොඩම්තැන්නගේ කතාවයි මේ ආරම්භ කරන්න හදන්නේ.



කොහොමද තුමිඳු කාලෙකට පස්සේ?


මමයි, කලණියි, පුතයි අවුරුදු තුන හතරක් ලංකාවේ හිටියේ නැහැ. මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් අපි ජීවත් වුණේ එංගලන්තයේ. ආචාර්ය උපාධියේ වැඩකටයුතු බොහෝදුරට ඉවරයි, ඒක හින්දා අපි ලංකාවට ආවා. අනෙක් කාරණය අපට ආදරය කරන මිනිස්සු, අපේ නෑදෑ මිත්‍රයෝ, යාළු හිතවතුන් එක්ක ජීවත්වෙන එක තමයි සතුට කියන්නේ. කලණි කොහොමත් එංගලන්තයේ ඉන්න එච්චර කැමති නැහැ.


එංගලන්තයේ ගෙවුණු ජීවිතය කොහොමද?


මට ඕනෑ වුණා මගේ ආචාර්ය උපාධිය එංගලන්තයේ හදාරන්න. ඒක මට තිබිච්ච ආසාවක් වුවමනාවක්, උනන්දුවක්. ඒ වෙනුවෙන් මම එංගලන්තයට ගියේ. අපි තුන්දෙනා එකට ඉන්න ඕනෑ කියන කාරණාව කලණි දැඩිව විශ්වාස කරන කාරණාවක්. තවමත් එයා හිතන්නේ අපි කොහේ හිටියත් එකට ඉන්න ඕනෑ කියලා. ඒක හින්දා එයයි පුතයි එංගලන්තයේ පදිංචියට ආවා. මම හිතනවා අපි හැමෝටම පුළුවන්කමක් තියෙනවා නම් ලෝකේ කොහේ හරි රටක අත්හදා බැලීමක් සිදුකරන්න ඒක හරි වටිනවා. කලාකරුවෙක් විදිහට මට මේ තරම් සුන්දර රටක් ලෝකේ වෙන කොහේවත් නැහැ. අපි තුන්දෙනාටම එහෙමයි. හැබැයි එංගලන්තයේ ජීවත්වෙන කාලයේ ඉතාමත් සුන්දර ලාංකිකයෝ ටිකක් අපට මුණගැසුණා. තවමත් අපිට ඔවුන් කතාබහ කරනවා.



දැන් කොච්චර කාලෙකින් රඟපාලා නැතිද?


මම එංගලන්තයේ ජීවත් වුණ කාලයේ චිත්‍රපට දෙකක රඟපෑවා. ජයන්ත චන්ද්‍රසිරි අයියා එංගලන්තයට ආවා හිඩ්න් සිටි කියන චිත්‍රපටය කරන්න. හේමාල් සහ උමා අසේනි ලංකාවෙන් සම්බන්ධ වුණා. අනෙක් කලාකරුවන් සියල්ල හිටියේ එංගලන්තයේ. මම එංගලන්තයේ හිටපු හින්දා ජයන්ත අයියා මටත් ආරාධනා කළා චිත්‍රපටයේ රඟපාන්න. ඊළඟට මම එංගලන්තයේ ඉඳලා ඇවිත් අනුරුද්ධ ජයසිංහගේ ධාරා කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒකෙත් උමයි, මමයි, ප්‍රියන්ත සිරිකුමාරයි වැඩ කළා.



කලණිට ප්‍රේක්ෂක ආදරය දැනෙන්නේ මොන විදිහටද?


මම ටිකක් කතා කරනවා අඩුයි. ගොඩක් අය ආදරෙයි කියන එක දැනිල තියෙනවා. මගේ සරසවියේ ඉන්න මගෙත් එක්ක ඉගෙන ගත්ත දරුවන්ගේ ඉඳලා හැමෝම වගේ ආදරෙයි. සමාජ මාධ්‍යවලත් මම ගොඩක් ක්‍රියාකාරී චරිතයක් නෙවෙයි. නමුත් සමහර වෙලාවට ඒ ආදරය මට දැනිලා තියෙනවා. ඒක කොච්චරක්ද කියන්න හරියටම දන්නේ නැහැ.


පුංචි කාලේ ඉඳලා ඔබ අඩුවෙන් කතාබහ කරන නිහඬ චරිතයක්ද?


ඉස්සර ඉඳලම සාමාන්‍යයෙන් වැඩිය කතාබහ කරනවා අඩුයි. අපි එක එක්කෙනා ආසා දේවල් තියෙනවානේ. මම හරි ආසයි අහගෙන ඉන්න. ඇත්තටම තුමිඳු කතාබහ කරන කොටත් මම අහගෙන ඉන්න හරි ආසයි. සමහරු මට කියලත් තියෙනවා ඔයා අඩුවෙන් කතා කරන්නේ කියලත්. ඒ වුණාට මාව ළඟින්ම ආශ්‍රය කරන අය දන්නවා මම ටිකක් අඩුවෙන්ම කතා කරන කෙනෙකුත් නෙමෙයි කියලා. මගේ පවුලේ සීමාව ඇතුළේ මම හරි විවෘත චරිතයක්. මගේ අයත් එක්ක මම හොඳට කතාබහ කරනවා.



මේ කතාබහට තමිඳුගේ කතාවකුත් එකතු වුණා. කලණි ගැන තුමිඳු කිව්වේ මෙන්න මේ විදිහට කලණි පුංචිකාලේ ඉඳලාම පල්ලියත් එක්ක හැදිච්ච කෙනෙක්. මමත් කලණිත් මට්ටක්කුලියේ ජීවත් වෙනවා අවුරුදු පහකට වැඩි කාලයක්. අපි දැනටත් ජීවත්වෙන්නේ මට්ටක්කුලියේ. මට්ටක්කුලිය කියන්නේ මතුපිටින් පෙනෙන මට්ටක්කුලිය නෙමෙයි. ඉතා යහපත් මිනිස්සු, ඉතාම සුන්දර ආගම දහමට ළැදි මිනිස්සු ජීවත්වන පරිසරයකුත් තියෙනවා.


මම කලණිගේ දැකපු විශේෂත්වය තමයි ඒ ගොල්ලන්ගේ පවුලම පල්ලියත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම කලණිගේ අම්මා ගුරුවරියක්. ඇත්තටම කලණි ළඟ යම්කිසි යහපතක් තියෙනවා නම් ඒකේ පළමු වැනි හිමිකරුවන් ඒ දෙමාපියන්. දෙවැනි හිමිකරුවන් කලණිගේ පාසල සහ පල්ලිය කියලයි මම හිතන්නේ.


කලණි ඔබ දෙවියන් වහන්සේ වගේම බුදුන්ගේ දර්ශනයත් විශ්වාස කරනවා කියලත් කියලා තිබුණා. ඒක හරි සුවිශේෂීයි?


ඒකට හේතුව මම ඉපදුනේ මට්ටක්කුලියේ. මට්ටක්කුලිය කියන්නේ හරි මල්ටි කල්චර් ප්‍රදේශයක්. අපිට නත්තලුත් තියෙනවා. වෙසක්, පොසොන් එහෙමත් තියෙනවා. හින්දු, මුස්ලිම් ආගම් අදහන සියලු ජාතිකයන් ජීවත්වෙන ප්‍රදේශයක්. ඒ පරිසරය මට හරි ආරක්‍ෂිතයි. මම දන්නේ නැහැ ඒක මම හැදුණ පරිසරය හින්ද ද කියලත්. මගේ යාළුවෝ එතැන ඉන්නවා. එතැනින් එළියට එනකොට, මගේ යාළුවෝ කතාබහ කරන කොට දැනට වුණත් හරි ආසයි. එකට එකතුවෙලා වැඩ කරන එක පුංචි කාලේ ඉඳලා අපිට පුරුදු වෙලා තිබුණේ. මම විශ්වාස කරන දෙයක් තමයි හැම ආගමකින්ම අපිට හරියට ජීවත් වෙන්න කියලනේ කියන්නේ. ඉතිං ඒක බුද්ධාගම, කතෝලික, හින්දු, ඉස්ලාම් ද කියලා නෑ ඒ සියලු ආගමකින්ම කියන්නේ යහපත් ජීවිතයක් ගතකරන්න කියලයි. මම බෞද්ධ දර්ශනයට හරි කැමතියි. මුලදී ඒ ගැන හරියට දැනගෙන හිටියේ නැහැ. තුමිඳුව කසාද බැන්දට පස්සේ ඒ දර්ශනය ගැන අදහසක් එන්න පටන් ගත්තා. අනික තමිඳුව දැක්කට පස්සේ බෞද්ධ දර්ශනය ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. මම හරි ආසයි පන්සල් යන්න.


තුමිඳු ආගම දහමට තියෙන්නේ මොන වගේ නැඹුරුවක්ද?


එයා ගොඩක් හෘද සාක්‍ෂිය විශ්වාස කරන චරිතයක්. මම අහලා තිබෙන බෞද්ධ දර්ශනය මම එයාගෙන් දකිනවා. මගේ සර්කල් එක හරි පොඩියි.


කලණි ඔබ රඟපෑ චරිත අතුරින් ඔබට වඩාත්ම සමීප, හිතට වැදුණ චරිතය මොකක්ද?


ඇත්තටම මම හරි අඩුවෙන් වැඩකරන කෙනෙක්. මම මොකක් හරි චරිතයක් එක්ක වැඩ කරන්න බැඳෙන්නේ මට ඒ චරිතය දැනෙනවා නම් විතරයි. ඒක තුමිඳුත් දන්නවා. මම කරපු චරිත එකිනෙකට වෙනස්. තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ කොටස් සුළු ප්‍රමාණයක් වුණාට ඒකේ මරියටත් මම හරි ආදරෙයි. ඇත්තටම එකක් තෝරන්න අමාරුයි.


තුමිඳු – කලණි සහභාගි වුණ වැඩසටහන්වලදී ලැබුණු අදහස්වල තියෙනවා තුමිඳු හරි වාසනාවන්තයි කියලා. මොකද ඒ ගැන හිතෙන්නේ?


ඔව් ඇත්තටම වාසනාවන්තයි. මම වාසනාව කියන එකත් එහෙම විශ්වාස කරන්නේ නැහැ. අපිට ලැබෙන්න තියෙන දේවල් අපිට ලැබෙනවා. අපිට නොලැබෙන දේවල් අපිට නොලැබෙනවා. ඇත්තටම අපි දෙන්නා දැන් විවාහ වෙලා අවුරුදු 12ක් වෙනවා. ජීවිතයේ ලග්න බාධක සියල්ල අපිට ආවා. හිතේ තියෙන හැම දෙයක්ම කතා කරලා විසඳගන්න පුළුවන් කියන්නෙත් වාසනාවක්. ඉතිං මට කලණි වගේ කෙනෙක් ලැබීම ගැන මම සතුටු වෙනවා.


ඒ කතාවට කලණිත් මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා.


මමත් සතුටුවෙනවා තුමිඳු වගේ කෙනෙක් ලැබීම ගැන. ඒකට හේතුව මට මම විදිහට ඉන්න දෙනවා. මම තුමිඳුගේ දැකපු ලොකුම විශේෂත්වයත් ඒක. මට කවදාවත් එයා මේක කරන්න එපා කියලා නැහැ. අපි දෙන්නගේ විවාහ ජීවිතය අවුරුදු දොළහක්. ඒ කාලය ඇතුළත කිසිම වෙලාවක මේක කරන්න එපා කියලා නැහැ. මොනවා හරි දෙයකට මම ඇහැව්වොත් ඒකට කිසිම වෙලාවක විරුද්ධ වෙන්නේ නැහැ. මට මං විදිහට ජීවත්වෙන්න ඉඩ දෙනවා. සමහර වෙලාවට තුමිඳු ටිකක් ඇකඩමික් කෙනෙක්. ගොඩක් වෙලාවට පොත්පත් එක්ක ඉන්න කොට මම දමිළ ගීතයක් අහගෙන හිටියොත් ඔයාට බාධාවක්ද කියලා අහන වෙලාවලුත් තියෙනවා. ඒ කිසිම වෙලාවක එයා මට බාධාවක් කියා කියන්නේ නැහැ. හැම වෙලාවකම එයා මට මං විදිහට ඉන්න දෙනවා. මම හිතනවා ගැහැනියකට විවාහ ජීවිතයේ තමන් තමන් විදිහට ජීවත්වෙන්න ඉඩදීම තමයි ලොකුම ආශිර්වාදය. විවාහ ජීවිතය ඇතුළේ අපි වෙනස් වෙනවා. අපිට වගකීම් තියෙනවා. අපිට අපිව නැති වෙන්නේ නැතිව සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා කියන එක හරි වටිනවා.


ඔබේ තෝරාගැනීම ඇතුළේ ඇයගේ ජාතියත් ඔබේ ආදරයට යම්කිසි අලංකාරයක් ගෙන එන්න ඇති නේද? මොකද ඒ සංස්කෘතිය එහෙම ඔබ හොඳට විඳිනවා ඇති කියලා අපි හිතනවා?


අපි හැමෝම තරුණ කාලේදී විවාහය, ප්‍රේමය ගැන හිතනවානේ. මම කවදාවත් හිතුවේ නැහැ මම දමිළ තරුණියක්, කතෝලික තරුණියක් විවාහ කරගනීවි කියලා. එහෙම සිහිනයක්වත් දැකලා තිබුණේ නැහැ. අපි දෙන්නා ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන ටික කාලයක් ගියාට පස්සේ තමයි මම දැනගත්තේ ඇය දමිළ කතෝලික තරුණියක් කියලා. කතෝලික බව මම දැනගෙන හිටියා. දමිළ බව දැනගත්තේ පසුවයි. මගේ තීරණය පිළිබඳව ලොකු වටිනාකමක් දැනුණා ඇය දමිළ කිව්වාට පසුව. වාසනාවකට ඇයට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. පණිවුඩ හුවමාරු කිරීමේදී ගැටලුවක් එන්නේ නැහැනේ. අපිට අදහස් හුවමාරු කරගැනීමේදී බාධාවක් එන්නේ නැහැනේ. කලණිගේ සංස්කෘතිය, ආගම, පරිසරය, ඔවුන් ජිවත්වෙන වටපිටාව, හිතන පතන විදිහ එක්ක ඒ හැමදෙයක්ම මට අලුත්. ඒ හැමදෙයකම මම අලුත් දෙයක් දකිනවා. මිනිස්සුන්ගේ විවිධත්වය එක්ක නැවත අලුත් ලෝකයක් ඇතුළට යනවා වගේ හැඟීමක් ඇතිවෙනවා. මම ඒක බොහොම ආසාවෙන්, සතුටින්, ගෞරවයෙන් භාරගත්තු තත්ත්වයක්.


කලණිට රඟපාන්න පුළුවන් කියලා තුමිඳු දැනගත්තේ කොයි වගේ කාලයකදී ද?


මම කලණි මුලින්ම රඟපානවා දැක්කේ පල්ලියේ පාස්කු නාට්‍යයක. එතකොට මම රඟපාමින් හිටියා. එතකොට කලණි මට එන්න කිව්වා දෙහිවල පල්ලියේ රඟපාමින් හිටිය වෙරෝනිකාගේ චරිතය බලන්න. ඒක රඟපෑම විනිශ්චය කරන්න පුළුවන් තරම් දෙයක් නෙමෙයි, ඒක පෙනී සිටීමක්. නමුත් කලණිට රඟපෑමේ උනන්දුවක් තිබුණා. අපි ආදරය කරන කොටත් අපි වැඩිපුර කතාබහ කරන්නේ අපි කැමැති දේවල්නේ. මම වැඩිපුර කතාබහ කරන්නේ නාට්‍ය ගැන. රඟපෑම ගැන. ඒ වගේම කලණිත් කලාව ගැන ඉගෙන ගත්තු කෙනෙක් විදිහට ඒ ගැන කතා කරනවා. හැබැයි කලණිගේ රඟපෑමේ හැකියාව අඳුරගත්තේ නාමල් ජයසිංහ. නාමල් කලණිට විශ්වවිද්‍යාලයේදී ඉගැන්නුවා. කලණි රඟපෑම විෂයක් විදිහට සිදුකළා. කලණිගේ රඟපෑම ගැන නාමල් විශ්වවිද්‍යාලයේදී අඳුර ගත්තා. එතකොට නාමල් තමයි කලණිට ආරාධනා කරන්නේ. සහෝදරයා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න. එතකොට සහෝදරයා ටෙලිනාට්‍යයට ප්‍රධාන චරිත කිහිපයක්ම තිබුණා. රොෂාන් එක පැත්තකින්, චාන්දනී අක්කා තව පැත්තකින්, කලණි තව පැත්තකින්, එතන තමයි මම හිතන්නෙ කලණිගේ ජීවිතයේ රංගනයේ හැරවුම් ලක්‍ෂ්‍යය.


කියමුකෝ බලන්න මේ ආදර කතාව පටන් ගත්තේ කොහොමද කියලත්?


රංගනය ගැන කතා කරන මාතෘකාව එන්නෙත් තුමිඳුගෙන්.


අපේ ගෙදර රංගනය ගැන කතාබහ කරන්න පරිසරයක් නැහැ. මම ඉගෙන ගත්තේ චිත්‍ර. රංගනය ගැන කතා කරන්නේ තුමිඳු එක්ක. එතකොට ඇන්ටගනී නාට්‍යයේ මම රඟපානවා. එතකොට ලුම්බිණියේ දර්ශනවාරය නරඹන්න කලණිත් අම්මත් එක්ක ඇවිත් හිටියා. නාට්‍ය අවසන් වුණාට පස්සේ කලණි මා ළඟට ඇවිත් සුභ පැතුවා. මගේ රඟපැම අගය කළා. මම අඳුරගත්තේ ඒ වෙලාවේ. මට ඇය පිළිබඳව ආකර්ෂණයක් දැනුණා. විශේෂත්වයක් දැනුණා. මම ඒ වෙලාවේ ඇගේ දුරකථන අංකය ඉල්ල ගත්තා. ඒ තමයි පළමු හමුවීම. ඒ පළමු හමුවීම දිගටම හමුවීමක් බවට පත්වුණා.


කලණි අද වෙනකොට මේ ආදර කතාව ගැන මොකද හිතෙන්නේ?


තුමිඳු අපේ ගෙදර ආපු පළමු දවසේම අපේ ගෙදර අය ඔහුට කැමැති වුණා. තුමිඳුට හරි විවෘත මනසක් තියෙන චරිතයක්. ඔහුගේ පවුලේ අයත් හරි විශේෂ විදිහට මම දුටුවේ. තුමිඳුගේ නංගිත් හරිම විවෘත මනසකින් කතා කරන චරිතයක්. මට ඒ පවුල ඇතුළෙන් කිසිම වෙලාවක ප්‍රතික්ෂේපවීමක් ආවේ නැහැ. හැම වෙලාවේම මම දන්නේ නැති දේවල් ඔවුන් සමග බෙදාහදා ගන්නවා. මම තුමිඳු සහ ඔහුගේ පවුලට ගෞරව කරනවා. අපේ අම්මත් තුමිඳුට හරි ආදරෙයි. ඔහු ආදරණීය සහ වෙනස් විදිහට බලන චරිතයක්.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post