පහුගිය දිනවල නීතිඥවරියක් ලෙස පෙනී සිටි ඔබ මේ දිනවල පෞද්ගලික ලේකම්වරියක්. ඒ අත්දැකීම කොහොමද?
ඔව්. මේ දවස්වල සුප්‍රීම් නාළිකාවේ විකාශය වන ඉන්දික ධර්මතිලකගේ යොවුන් වසන්තේ ටෙලි නිර්මාණයේ භාග්‍යාගේ චරිතයට පණ පොවනවා. ඒක තාරුණ්‍යයේ සුන්දරත්වය ගැන කතා කරන ටෙලි නිර්මාණයක් කිව්වත් හරි. යොවුන් වසන්තේ කියන නම ඇතුළෙම එහි අදහස ගැබ්වෙලා තියෙනවා. නෙත්මි රොෂෙල් සහ සචින් ලියනගේ ප්‍රධාන භූමිකාවලට පණ පොවනවා. මම එහි නෙත්මිගේ ඒ කියන්නේ සාරාගේ පෞද්ගලික ලේකම්වරිය. මං කලිනුත් ඒ වගේ චරිත කරල තිබුණු නිසා මට ලොකු අපහසුතාවක් දැනුණෙ නැහැ. අධ්යක්ෂවරයාමයි මට මේ සඳහා ආරාධනා කරන්නේ. ඇත්තටම ඉන්දික ධර්මතිලක වගේ අධ්යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක් වගේම ලොකු අත්දැකීමක්.
පහුගිය දිනවල ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා නේද?
ඔව්. ඔව්. අමල් අල්විස්ගේ අලුත්ම සිනමාපටය Swans by the sea සිනමාපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ පළමුවැනි සිනමා අත්දැකීම නිසා ඒක මට විශේෂයි. දැන් එහි රූගත කිරීම් ඉවරයි. එඩිටින්වල තියෙන්නේ. ඉතාම ඉක්මනින් තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
පළමු සිනමා අත්දැකීම මොන වගේ එකක් වුණාද?
ඇත්තටම ඒක මට ලොකු අත්දැකීමක් වුණා. ඒක මගේ රංගන දිවියට ලොකු පන්නරයක්. පළමු සිනමා අත්දැකීම ප්‍රවීණයන් ඇසුරේ ලබාගන්න හැකිවීමත් වාසනාවක්. හේමාල් රණසිංහ, යුරේනි නොෂිකා ප්‍රධාන භූමිකාවලින් දායක වන හරිම ලස්සන සිනමාපටයක්. යුරේනිගේ පෞද්ගලික ලේකම්වරියගේ භූමිකාවට තමයි මං සම්බන්ධ වෙන්නේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කීප දෙනෙක් එක්කම වැඩ කරන්න ලැබුණා. දින කිහිපයක් රූගත කිරීම් වුණත් ලස්සන දර්ශන පෙළක් රූගත වුණා. ඒක මට විශාල අත්දැකීමක්. අධ්යක්ෂවරයා, ප්‍රවීණ නළු නිළියන් වගේම කැමරා අධ්‍යක්ෂ, නිෂ්පාදන කළමනාකරු ඉඳන්ම මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. මං මේ වෙලාවේ ඒ සියලු දෙනාම ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කරනවා නම්?
පළමුවැනි සිනමා අත්දැකීමත් එක්ක එයට දායක වුණු ප්‍රවීණයන්ගෙන් හොඳ කමෙන්ට්ස් ලැබුණා. ඒ නිසාම වෙන්න ඇති ඔවුන් දායක වන තවත් අලුත් සිනමා නිර්මාණයක හොඳ චරිතයකට ආරාධනාවක් ලැබුණා. ඉදිරියේදී එහි රූගත කිරීම් ආරම්භ කෙරෙනවා. එයට සම්බන්ධ වෙන්නත් ලොකු ආසාවකින් ඉන්නවා.
අද කලාවට පිවිසෙන බොහොමයක් දෙනා කලාව ගැන හදාරන්න පටන් ගන්නේ කලා කටයුතුවල නියැළෙන අතරතුරේ. ඒ අත්දැකීම ඔබට බලපාන්නේ කොහොමද?
ඇත්තටම මමත් කලාවේ නියැළෙන ගමන් ඒ ගැන අධ්‍යයනය කරමින් තමයි මේ ගමන යන්නේ. ඊට අමතරව මං මේ දිනවල තිරපිටපත් රචනය පිළිබඳවත් හදාරනවා.
බොහෝදුරට ඔබට ලැබෙන්නේ නාගරික චරිත. ඒකට හේතුව මොකක්ද?
ඒකට හේතුවක් නම් දන්නෙ නැහැ. ඒ වගේ චරිතවලට තමයි වැඩිපුර ආරාධනා ලැබෙන්නේ. ඒ අතරිනුත් පෞද්ගලික ලේකම්වරියකගේ චරිතයට ලැබෙන ආරාධනා ප්‍රමාණය වැඩියි. මගේ පළමු සිනමා අත්දැකීමේ චරිතය වුණෙත් පෞද්ගලික ලේකම්වරියක්. ඊට අමතරව ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්ගේ රාග ටෙලි නිර්මාණයේත් මං පෞද්ගලික ලේකම්වරියක්. සිවා සර් එක්ක වැඩ කරන්න ලැබීමත් ලොකු සතුටක්. මං ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා සිවා සර්ගේ වැඩකට සම්බන්ධ වෙන්න. රාග මට ඒ අවස්ථාව උදාකරලා දුන්නා. මං හරිම ආසාවෙන් භාර ගත්තා.
ඔබ ක්ෂේත්රයට පිවිසීම ගැන සිහිපත් කරනවා නම්?
මගේ ගම මාතලේ. මං කොළඹට එන්නේ නිවේදනයට තියෙන ආසාවත් එක්ක. දැනටත් මම නිවේදන කටයුතු කරනවා. ගොඩක් දුරට වැඩසටහන් නිවේදනය කරන්නේ. නිවේදන කටයුතු කරන අතරතුර අහම්බෙන් වගේ තමයි මම රංගනය පැත්තට යොමු වෙන්නේ. මට එක්තරා තිර පරීක්ෂණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් තේරිලා තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ. මුලින්ම සම්බන්ධ වෙන්නේ ටෙලි ෆිල්ම් එකක ප්‍රධාන චරිතයට. ඊට පස්සේ ආයාචනා, පාරාදීසේ, ජානු, මාස්ටර් සර්, රාග වගේ ටෙලි නිර්මාණ පහකට විතර සම්බන්ධ වෙන්න ලැබුණා. ඒවත් ගොඩක් ජනප්‍රිය වුණා.
සෙව්වන්දිට ආදරය කියන හැඟීම දැනෙන්නේ කොහොමද?
දැනට නම් මම ආදරවන්තියක් නෙවෙයි. ආදරණීය අත්දැකීම් තියෙනවා. ඇත්තටම මිනිස්සු තනිකම සුන්දරයි කියල කොතරම් කිවුවත් තනිකම කියන්නෙ සුන්දර දෙයක් නෙවෙයි. අපිට එදිනෙදා අපේ වැඩකටයුතු කරගෙන යද්දි් ඒ දේවල් කියන්න, බෙදා ගන්න කෙනෙක් ඉන්නවා නම් හොඳයි. මාව තේරුම් ගන්න පුළුවන්, මේ ක්ෂේත්‍රය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හමු වුණොත් අනිවාර්යයෙන්ම මාත් ඒ ගැන හිතනවා. ආදරේට මං හරි ආදරෙයි.