ලෝකයට සාමයේ පණිවුඩය ගෙනාපු අසිරිමත් නත්තල උදාවෙන්න තවත් ඉතිරිව ඇත්තේ දින කීපයයි. වෙනදා වගේම මෙවර නත්තල සමරන්න කලා ලෝකයේ තරු මේ වෙද්දි ලෑස්ති වෙනගමනුයි ඉන්නෙ. ඒ අතරින් හිරිපොද වැස්ස, ටැක්සිකාරයා, සංගීතේ, මායාවී ඇතුළු ටෙලිනාට්‍ය 4 න් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන ෂයිනි නෙත්තිකුමාර මෙවර නත්තල සමරන ආකාරය ගැන සහ ඇයගේ අලුත් වැඩකටයුතු පිළිබඳව දැනගන්න අපි හිතුවා. නත්තලට තව දින කීපයක් ඉතිරිව තිබෙන මොහොතක අපි ෂයිනි නෙත්තිකුමාර එක්ක මේ අසිරිමත් නත්තලේ සතුට බෙදාගත්තා.
‘‘සහෝදරත්වය, ආදරය සහ බෙදාහදා ගැනීමේ සංකල්ප මත ජේසුතුමාගේ උපත සැමරීමයි නත්තලෙදී සිදුවන්නේ. නත්තල එක්ක බැඳුණ ලස්සන මතකයක් මට තියනවා. පුංචි කාලෙදි මම හිතුවෙ නත්තල් සීයා ඇත්තටම ඇවිත් ළමයින්ට තෑගි දෙනවා කියලා. ඉතින් නත්තල් දවසට කලින් දවසේ ඕන තෑගි ගැන චිට් එකක ලියලා නිදා ගන්නවා. පහුවදා ඇහැරිලා බලනනොට මම ඉල්ලපු ඒ තෑගි ඇඳ ළඟ තිබුණා. හැබැයි ඇත්තටම ඒ තෑගි මට දීලා තියෙන්නෙ අම්මයි තාත්තයි. අවුරුදු දොළහක් යනකන් මම ඒ විදිහට හැම නත්තලකදීම නත්තල් සීයාගෙන් ඉල්ලපු තෑගි අම්මයි තාත්තයි මට හොරෙන් නත්තල් සීයා දුන්න විදිහට දීලා තිබුණා. ලොකු වුණාට පස්සෙත් හැමදාම ඒ විදිහට තෑගි දෙන්න වෙයි කියලා අම්මයි තාත්තයි පස්සෙ කාලෙක ඒ රහස මට එළිකළා. අදටත් නත්තල් කාලෙ එනකොට ඒ සුන්දර අතීතය මට මතක් වෙනවා. උපතින් බෞද්ධයකු වුණත් හැම වසරකදීම මම නත්තල පවුලේ අය එක්ක සහ යාළුවෝ එක්ක සමරනවා. නමුත් මෙවර නත්තල වනවිට ලංකාවෙ මිනිස්සු ගොඩක් දෙනෙක් අයහපත් ගංවතුර තත්ත්වයෙන් අවතැන්වෙලයි ඉන්නෙ. ඉතින් ගංවතුරෙන් කරදරයට පත්වුණ අපේම සහෝදර ජනතාවට උදව් කරමින් සහයෝගයෙන් මෙවර නත්තල සමරන්නයි මම බලාපොරොත්තු වෙන්නෙ.
නිළියක් හැටියට ක්ෂේත්‍රයට එන සෑම කෙනෙක්ගේම හීනය ඉතා ඉක්මනින් සාර්ථක වීම. මම හිතන්නේ මේ ගතවෙන්නෙත් ෂයිනිගේ ජීවිතේ හොඳම කාලය. නිළියක් හැටියට ප්‍රේක්ෂකයන්ගේ ඇගයීම ලබන හොඳම කාලය...
‘‘මම රංගනයෙන් දායක වෙන හිරිපොද වැස්ස, ටැක්සිකාරයා, සංගීතේ, මායාවී ඇතුළු ටෙලි නාට්‍ය 4 ක් මේ වෙද්දි විකාශය වෙනවා. ඒ අතරින් ටැක්සිකාරයා ටෙලි නාට්‍යය මගේ රංගන ජීවිතයේ සාර්ථක කඩඉමක් කිව්වොත් හරි. හඬක් නැති මිනිස්සු වෙනුවෙන් හඬක් නගන නිර්භීත මාධ්‍යවේදිනියකගේ චරිතයකුයි මම ටැක්සිකාරයා ටෙලි නාට්‍යයේ රඟපාන්නෙ. එකම විදිහෙ චරිතවලට කොටු නොවී චරිතාංග නිළියක් විදිහට යන ගමනේදි වෙනස් දෙයක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මට ටැක්සිකාරයා ටෙලි නාට්‍යයේදි කරන්න පුළුවන් වුණා. ටැක්සිකාරයා වගේම මගේ රංගන ජීවිතයේ සාර්ථක සංධිස්ථානයන් විදිහට තවමත් විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ සකුනිගේ චරිතය හඳුන්වන්න පුළුවන්. මගේ රංගන හැකියාව පුළුල් විදිහට ප්‍රේක්ෂකයෝ අතරට ගෙනියන්න සංගීතේ සකුනිගේ චරිතය හරහා පුළුවන් වුණා. අද වෙද්දි විවිධ පරාසවල චරිත ලැබෙන්න සංගීතේ වැනි ටෙලි නාට්‍යයවල ඉරිපත් කරපු රංගන හැකියාව බලපාන්න ඇති කියලා මම විශ්වාස කරනවා.’’
නිළියකගේ සාර්ථකත්වයට ඇය රඟපාන නළුවාගේ භූමිකාවත් බලපානවා. සමහර වෙලාවට ඔවුන් රඟපාන්න කැමැති නළුවොත් ඉන්නවා. මේ සුන්දර නිළියටත් නළුවෝ ගැන අදහසක් තිබෙන්න පුළුවන්...
‘‘මේ තාක් මම රඟපාපු නිර්මාණවලදි හැම නළුවෙක්ම මට හොඳ සහයෝගයක් දුන්නා. ඒ අතරින් එක්කෙනෙක් විතරක් විශේෂ විදිහට මට හැඟෙන්නෙ නැහැ. නමුත් මම කැමැතියි ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා එක්ක එකට රඟපාන්න. මහේන්ද්‍ර පෙරේරා මගේ ප්‍රියතම නළුවෙක්. නමුත් ඔහුත් එක්ක තාම මට රඟපාන්න අවස්ථාව ලැබුණෙ නැහැ. ඉදිරියේදි මම හිතනවා නිර්මාණයකදි මහේන්ද්‍ර පෙරේරා එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා.’’
රංගන ජීවිතයේදී අභියෝගයක් වුණු චරිත හැම නිළියකටම පොදුයි. ඇයටත් මේ ප්‍රශ්නයට හොඳ උත්තරයක් තිබෙන්න පුළුවන්...
මේ වෙද්දි මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12 ක් වෙනවා. මේ අවුරුදු 12 ඇතුළත රඟපාන්න ලැබුණ සෑම චරිතයක්ම වගේ මට ඒ තරම් අභියෝගයක් වුණේ නැහැ. නමුත් මෑතකදි මම රඟපාපු R.A.T ටෙලි නාට්‍යයේ අසේනිගේ චරිතය සෑහෙන්න ලොකු අභියෝගයක් වුණා. සයිබර් අපරාධයකට ගොදුරුවෙලා අසේනි මියයෑම වටායි චරිතය ගොනුවෙලා තිබුණේ. ලංකාවෙ පළමුවැනි වතාවටයි මේ විදිහට සයිබර් අපරාධයක් ආශ්‍රයෙන් ටෙලි නාට්‍යයක් නිර්මාණය වුණේ. නව මානයක වෙනස් විදිහේ කතාවකින් සමන්විත වුණ R.A.T ටෙලි නාට්‍යයේ අසේනි මගේ චරිතාංග රංගන ජීවිතයේ තවත් එක සාර්ථක රංගන අත්දැකීමක් වුණා. රංගන ක්ෂේත්‍රයට ඇවිත් ගතකරපු අවුරුදු 12 ඇතුළත මට විවිධ නිර්මාණයවල විවිධ චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ හැම චරිතයක් වෙනුවෙන්ම මම උපරිම සාධාරණය ඉෂ්ට කළා කියලා විශ්වාස කරනවා. ප්‍රේක්ෂක ජූරිත් මගේ රංගන හැකියාව විශ්වාස කරලා රයිගම් 2023 ටෙලි සම්මාන උළෙලේ සහ සිග්නීස් 2025 ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය විදිහට මාව සම්මානයට පාත්‍ර කළා. නමුත් ප්‍රේක්ෂකයෝ දැනට දකින මගේ රංගන හැකියාව නෙමෙයි මගේ උපරිමය. මට මීට වඩා පුළුල් වෙනස් රංග පරාසවල චරිත කරන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසය තියාගෙන හදිස්සි නැතුව රංගන ක්ෂේත්‍රය තුළ ඉවසිලිවන්ත ගමනක් මම යමිනුයි ඉන්නෙ. රඟපාපු පළමුවැනි ටෙලි නිර්මාණයේ සිට හැම නිර්මාණයකදිම ප්‍රේක්ෂකයෝ මට හොඳ ප්‍රතිචාර ලබාදුන්නා. මම කැමැතියි හොඳ වගේම මගේ අඩුපාඩු දුර්වලතා ගැන කියන ප්‍රතිචාරවලට ඇහුම්කන් දෙන්න. රඟපාන මට වඩා මගේ රංගනයේ නියම ස්වභාවය පේන්නේ ප්‍රේක්ෂකයන්ට. ඉතින් වැරැදි අඩුපාඩු තියනවා නම් නිවැරැදි කරගෙන රංගන හැකියාව දියුණු කරගන්න ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අවශ්‍ය වෙනවා.’’
ඕනෑම ක්ෂේත්‍රයක අභියෝග තිබෙනවා. මේ ක්ෂේත්‍රය තුළත් ඇයටත් ඒ අභියෝග දැනෙන විදිහක් තිබෙනවා...
‘‘නිර්මාණශීලී හැකියාවෙන් පරිපූර්ණ නිදහස් කලාකාමී ක්ෂේත්‍රයක් විදිහටයි මම රංගන ක්ෂේත්‍රය දකින්නෙ. හැබැයි ක්ෂේත්‍රයේ යන ගමන බුද්ධිමත්ව, අවබෝධයෙන් සහ ඉවසිලිවන්තව යන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ දේවල් අනුගමනය කරන්නෙ නැතුව කලා ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි වෙනත් ක්ෂේත්‍රයක වුණත් ඉස්සරහට යන්න අමාරුයි.’’
අද වෘත්තීය නිළියක් වෙනවා කියන්නෙත් ලෙහෙසි පහසු අභියෝගයක් නෙවේ. නමුත් තම දක්ෂතාව විශ්වාස කරන කෙනාට එය ඒ තරම් අපහසු නැහැ...
‘‘ඔව්. රංගන ක්ෂේත්‍රයට මම පිවිසුණේ වෘත්තීය නිළියක් වෙලා ක්ෂේත්‍රයේ දිගටම ඉදිරියට යන බලාපොරොත්තුවෙන්. ඒ අතරතුරේදි මම වෘත්තීය ගුරුවරියක් විදිහට අධ්‍යාපනය හැදෑරුවා. හදිස්සියෙවත් රංගන වෘත්තියෙන් ඉදිරියට යන්න බැරිවුණොත් වෙනත් විකල්පයක් විදිහට තමයි මම ගුරු වෘත්තිය තියාගෙන ඉන්නෙ.’’
තම දියණිය, සහෝදරිය නිළියක් වෙනවා දකින්න ගෙදර බොහෝ අය කැමැති නැහැ. හැබැයි මේ ගමන වෙනුවෙන් ගෙදරින් ආශිර්වාදයක් ලැබෙනවා නම් ඇයට එම ගමන නිදහසේ ඉස්සරහට යන්න පුළුවන්..
‘‘පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි. මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණ දා ඉඳලා එයාලා ගොඩක් ආසාවෙන් මම රඟපාන ටෙලි නාට්‍ය බලනවා. රංගන ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න මාව දිරිමත් කරවනවා සහ මට ශක්තියක් වෙලා පවුලෙ අය නිතරම මගෙත් එක්ක ඉන්නවා. ඒක තමා මට තිබෙන ලොකුම ශක්තිය. මොකද තවත් තැනකින් ආදරයක් අවශ්‍ය නොවන තරමට මට ගෙදරින් ආදරය ලැබෙනවා. මේ නිසා නිදහසේ මට මගේ ගමන යන්න පුළුවන්. මම තාම තනිකඩයි. පවුලෙ අයගේ ආදරය විතරයි මම තාම විඳින්නේ. ආදරය පස්සෙ යනවට වැඩිය රංගන ජීවිතයේ වැඩ කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙනුයි මගේ අවධානය යොමුවෙලා තියෙන්නෙ.
සමහර නිළියෝ තමන්ගේ ගමන පහසු කරගන්න තමන්ගේ ප්‍රේමවන්තයා නළුවෙක් කරගන්නවා. හැබැයි ෂයිනිට නම් එහෙම ගමනක් අනවශ්‍ය බව තමයි කියන්නේ.
‘‘රංගන ජීවිතයේදි නළුවන්ව නිතර දෙවේලේ දකිනවනේ. ඒ නිසා පෞද්ගලික ජීවිතයට නළුවෙක්ව ළංකර ගන්න මට අදහසක් නැහැ. එහෙම ළංකර ගත්තාමත් ඒක ප්‍රශ්නයක්.
තරුණ, සුන්දර නිළිය තාමත් ආදරය පැටලුණේ නැති වුණාට ඇයටත් ආදරය ගැන සුන්දර අදහස් තිබෙන්න පුළුවන්. මේ නිසාම ඒ ආදරණීය හැඟීම පිළිබඳ කතා කරන්න ෂයිනි නෙත්තිකුමාරට ආරාධනා කළා.
‘‘ආදරය කියන්නෙ අපි හැමෝම විඳින්න ඕන සුන්දර දෙයක් කියලයි මම හිතන්නෙ. හොඳ කෙනෙක් ජීවිතයට හම්බවුණොත් ආදරය ලස්සනට විඳින්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නෙ මාව ආදරෙන් බලාගන්න, වැඩකටයුතුවලට සහයෝගය දෙන අවංක කෙනෙක්. හැබැයි තාම එහෙම කෙනෙක්ව හම්බවෙලා නම් නැහැ. හම්බ වුණු දාට පිනිපලසට කියන්නම්.’’