හරියන වැඩක් නාවොත් මම ලංකාවෙන් යනවා - ධනුක දිල්ෂාන්.

gossiplanka image 1
 

ඔහු කලාකෙත තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ දීප්තගේ චරිතයට පණ පොවමින් ලාංකේය ප්‍රේක්ෂක සන්තානය කැලඹූ ඔහු ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් විශිෂ්ට රංගන ශිල්පියෙක්. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ධනුක දිල්ෂාන්.


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දිනවල මම රංගනයෙන් දායක වුණු මෝඩ තරිඳු දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වෙනවා. මම මෝඩ තරිඳු සිනමාපටයේ පණ පෙව්වේ රසික කියන චරිතයට. දැන් මෝඩ තරිඳු තිරගත වෙනවා. ඉතින් මම ඒ මෝඩ තරිඳු දිහා බලාගෙන ඉන්නවා.


මෝඩ තරිඳු සිනමාපටයේ රසික ගැන කතා කරමු?


තිසර ඉඹුලාන මට මෙහෙම චරිතයක් තිබෙනවා කියලා තිරපිටපත කියවන්න ආරාධනා කළා. ඉතින් මම තිරපිටපත කියවලා ඉතා ආශාවෙන් මේ චරිතය භාර ගත්තා. මට පුළුවන් විධියට මම රසික කියන චරිතයට පණ ලබා දුන්නා. මම මේ චරිතයට පණ ලබා දුන්නේ හරිම ආශාවෙන්. කිසිදු පැකිලීමකින් තොරව මම මේ චරිතයට මගේ උපරිමයෙන් දායකත්වය ලබා දුන්නා. ඉතින් රසික කියන චරිතය නිර්මාණය වුණේ ඒ විධියට.


සහාය නළුවා කියන භූමිකාව තුළ රංගනයෙහි යෙදීම කවර ගණයේ අභියෝගයක්ද?


සහාය නළුවා කියන වචනය තුළම එහි අරුත ගැබ් වී තිබෙනවා. ප්‍රධාන නළුවාටත් සමස්ත නිර්මාණයටත් ඒ කියන්නේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව ආදී මේ කවර ගණයේ කලා මාධ්‍යයක් තුළ වුණත් සහාය ලබා දෙන භූමිකාවක්. සහාය රංගන ශිල්පියා තමන්ගේ රංගන භූමිකාව සිදු කරන්න ඕන සහාය දැක්වීමක් ලෙස. ඒ විධියට සහාය දැක්වීමකින් තොරව කැපී පෙනීමට උත්සාහ දැරුවොත් සකල නිර්මාණයටම ඉන් හානියක් සිදු වෙනවා.


සහාය නළුවකුගේ තිබෙන විශේෂ කාරණාව වන්නේ සෑම විටම තමන්ගේ චරිතය උද්දීපනය කරනවාට වැඩියෙන් ප්‍රධාන චරිතවලට සහාය ලබා දීමයි. රසික කියන චරිතයට ලබාදිය යුතු සත්කාරය ලබා දුන්නා කියලා මම සිතනවා. මෝඩ තරිඳු කියන්නේ මම රංගනයෙන් දායක වුණු තෙවැනි සිනමාපටය.


ඔබ ගිනි අවි සහ ගිනි කෙළි 2 සඳහා හොඳම නළුවා සම්මානය ජයග්‍රහණය කළා. සම්මානයක් කියන්නේ නළුවකු කර මතට වැටෙනා තවත් එක් බරක්ද?


ධර්ම යුද්ධය කියන සිනමාපටයට මම රංගනයෙන් දායකත්වය සැපයුවා එයට මට සම්මානයක් ලැබුණා. ඉන්පසුව ලංකාවේ කිසිදු අධ්‍යක්ෂවරයකු මට සිනමාපටයක් සඳහා ආරාධනා කළේ නැහැ. කාලයක් ගත වුණු පසුව උදයකාන්ත වර්ණසූරිය මහතා තමයි මාව සිනමාපටයකට තෝරා ගත්තේ. ගිනි අවි සහ ගිනි කෙළි කියන්නේ ඒ සිනමාපටය. එහි තිබෙන මංජුගේ චරිත නිරූපණය වෙනුවෙන් මට හොඳම නළුවා සඳහා සරසවි සම්මානය ලැබුණා. ඒ ගැන මට ගොඩක් සන්තෝෂයි. ඒ සම්බන්ධයෙන් මම අදටත් උදයකාන්ත වර්ණසූරිය මහතාට ස්තූතිවන්ත වෙනවා. ඔහු මාව සිනමාවට සම්බන්ධ කර ගන්නකල් ලංකාවේ කිසිදු අධ්‍යක්ෂවරයෙක්ට මාව සිනමාපටයකට අරගන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඉතින් මම රංගනයෙන් එක් වුණු දෙවැනි සිනමාපටයෙන්ම මට හොඳම නළුවා සම්මානය ලැබුණා. ඇත්තටම මගේ සිනමා ගමන ගැන මට ගොඩක් සතුටුයි.


ඔබ වරෙක කියනවා ඔබේ සිහිනය සිනමා නළුවකු වීම කියා. අද ඒ සිහිනය සැබෑ වෙලා. මොකද සිතෙන්නේ?


අනිවාර්යයෙන්ම මම පොඩි කාලේ ඉඳන්ම සිහින දැක්කේ සිනමා නළුවෙක් වෙන්න. අද ඒ සිහිනය සැබෑ වෙලා. ඒ ගැන සතුටුයි.


රාණිවලින් ආරම්භ වුණු සිනමා පුනරුදයේ බැටන් එක දැන් තිබෙන්නෙ නවක පරපුර අතේ. මේ ගැන කියනවා නම්?


2025 කියන්නේ ශ්‍රී ලංකා සිනමාවේ සුවිශේෂී අවුරුද්දක්. රාණි සිනමාපටයෙන් ආරම්භ වෙලා නෙළුම් කුලුන, වාලම්පුරි ආදී වශයෙන් සිනමාව දෙසට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා. කලින් සිනමාපටවලට ලැබුණු වාර්තා ඊළඟට තිරගත වූ සිනමාපටවලින් බිඳී ගියා. අපේ සිනමාපටය මේ වනවිට ලබා තිබෙන වාර්තා පවා ඒ විධියට ඉදිරියට එන්න තිබෙන සිනමාපටවලින් බිඳී යනවා නම් අපි ඉතා කැමැතියි. එතකොට තමයි තමයි කර්මාන්තයක් විධියට අපිට ලොකු වෙන්නේ. එතකොට අපි හැමෝටම වැඩ තිබෙන්නේ. නිෂ්පාදකවරු සිනමාව වෙනුවෙන් මුදල් යොදන්න කැමැති වෙන්නේ. ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මම ඒ හැමෝටම ගොඩක් ආදරෙයි. අද වෙනතුරා අපිව ඉහළින්ම ඔසවා තබන ඔබට අපි ගොඩක් ළෙන්ගතුයි.


තණමල්විල කොල්ලෙක් “දීප්ත” ගැන ඔබේ අදහස?


එය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මේ අවස්ථාව ලබාදීලා එය අවසන් වූ පසුව රොෂාන් රවින්ද්‍ර අයියා මට කිව්වා දැන් ඔයා ටෙලිවිෂනයේ පේන්න ඕන නැහැ. සිනමාවට යන්න කියලා. හැබැයි තිසර ඉඹුලානගේ සිනමාපටයක් ලැබුණොත් එය කරන්න කියලා ඔහු මට කිව්වා. දීප්ත නිසා තමයි ගොඩක් අය මට ආදරය කරන්න ගත්තේ, මාව දැනගත්තේ සහ මගේ දක්ෂතා හඳුනා ගත්තේ.


ඔබ රංගන ශිල්පියෙක් නොවී ක්‍රිකට් ක්‍රීඩකයකු වූවා නම්?


මම ඒ ගැන ඩිසපොයින්ටඩ් නැහැ. මේ දෙය තමයි වෙන්න තිබුණු විධිය. ඒ වෙන්න තිබෙන දෙය තමයි වෙලා තිබෙන්නේ.


ඔබ ඉදිරියේදී රංගනයෙන් දායක වීමට කැමැති චරිතයක් තිබෙනවාද?


මෝඩ තරිඳුවලින් පසුව මම කොහොමත් රඟපානවා කියන අදහසක් නැහැ. මම කොහොමත් නැවතත් ටෙලි නාට්‍යයක රඟපාන්නේ නැහැ. මෝඩ තරිඳු වාර්තා නොතැබුවොත් ලංකාවේ මම සිටින්නේ නැහැ කියලා මම සිතාගෙන සිටියා. නමුත් දැන් ඒ දෙය වෙනස් වෙලා. නමුත් මම තවමත් කිසිදු  වැඩක් භාර ගත්තේ නැහැ. තවම මට කරන්න හරි යන වැඩක් අතට ආවේ නැහැ. හරි යන වැඩක් ආවේ නැති නම් වැඩ ඕන නැහැ කියලා ලංකාවෙන් යනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


මගේ කිසිම වැඩක් එන්න නැහැ. එහෙම කරන්න තරම් හරි වැඩක් ආවේ නැහැ. ඒත් එක වැඩක් ලැබුණා. එය තවමත් තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ. මම දැන් එම්.එම්.ඒ. ෆයිටර් කෙනෙක්. මම මගේ ෆයිටින් වැඩවලට මේ දවස්වල දායකත්වය ලබා දෙනවා. මම සතියකට දවස් තුනක් පුහුණු වීම් කරනවා. ඒ ඇතුළත කිලෝමීටර් හයත් හතත් අතර ප්‍රමාණයක් දුවනවා. මලින්ත අමරසිංහගේ බොයිකා කියන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස මම මේ පුහුණුව ලබනවා. ළඟදී එන නැෂනල් මුයිතායි තරගාවලියට මම ෆයිට් කරනවා. එහි පදක්කමක් ලබා ගැනීම තමයි මගේ ලොකුම හෝප් එක වෙන්නේ. ඒ වෙනුවෙන් මම මගේ මනස සහ ශරීරය කැප කරනවා.


ධනුක දිල්ශාන්ට දැන් ජීවිතය ගැන මොකද සිතෙන්නෙ?


ජීවිතයේදී අපි හොඳ දේවල් කළොත් අපිට ලැබෙන්නේ හොඳ දේවල් විතරයි. අපි අනෙකාට වැරැද්දක් කරනවා නම් අපිට කවදාවත් හරි යන්නෙ නැහැ. අපි ආදරය කළොත් අපිට අනෙක් පැත්තට ආදරය ලැබෙනවා.


ගිහාන් සචින්ත

gossiplanka image 2
Previous Post Next Post