සංජානා ගමාරච්චි කියන්නේ රසික ආදරය නොඅඩුව දිනාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල පුංචි තිරයේ ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා. ඉතින් මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ටෙලිඩ්‍රාමා තුනක් නාළිකා දෙකක විකාශය වෙනවා. ඊට අමතරව ව්‍යාපාර කටයුතුත් කරගෙන ඉන්නවා.
ජහුටා ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර ගොඩක් හොඳයි. ජහුටා ටෙලි නාට්‍යයේ ආකර්ෂණාගේ කැරැක්ටර් එකට තමයි මම පණ පොවන්නේ. ඒක මම හරිම ආශාවෙන් දායක වුණු නිර්මාණයක්. සමහර අවස්ථාවලදී ආකර්ෂණා මගේ සැබෑ ජීවිතයටත් සමාන දෝ කියලා හිතෙන අවස්ථා නැතිවම නෙවෙයි. ඒක හරි ලස්සන ටෙලි නාට්‍යයක්. ඉතින් මේ ටෙලි නාට්‍යය නොබලපු අයටත් මුල ඉඳන් බලන්න කියලා ආරාධනා කරනවා. ඇත්තටම මේක ඇබ්බැහි වනසුලු නාට්‍යයක්.
බ්‍රයිඩ්ස් by සංජානා හි වැඩකටයුතු කොහොමද?
ඇත්තටම හොඳයි. හොඳ ප්‍රතිචාර තිබෙනවා. මම කෙනෙක්ව ලස්සන කරලා සතුටු වෙන්න ඇත්තටම හරි කැමැතියි. ඉතින් මට පුළුවන් උපරිමයෙන්ම මම ඒක කරනවා කියලා හිතනවා. ඉතින් හැඩ වෙන්න කැමැති කෙනකුට මං ළඟට ඇවිත් හැඩ වෙන්න පුළුවන්. මම මේ වගේ දේවල් දන්නේ පොඩි කාලේ ඉඳන්මයි. මගේ අම්මා ගුවන් හමුදාවේ උසස් නිලධාරිනියක්. ඉන් පසුව ඇය වැඩකටයුතු කළේ සැලෝන් සම්බන්ධව. ඉතින් අම්මා ඒ කරන දේවල් බලාගෙන ඉඳලා මමත් පොඩි කාලේ ඉඳන්ම ඒ දේවල් ටික ටික කරන්න පටන් ගත්තා. ඊට පස්සේ උසස් පෙළ විභාගයෙන් පසුව මම මේ දේවල් ගැන හැදෑරුවා. නමුත් රඟපාන්න සම්බන්ධ වුණාට පසුව මට ඒ වැඩකටයුතු මඟහැරුණා. නමුත් දැන් මට අවස්ථාව තිබෙනවා. ඒ නිසා මම ඒ වැඩකටයුතු නැවතත් පටන් ගත්තා.
ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට අනුගමනය කරන විශේෂ ක්‍රම මොනවාද?
ගොඩක් වෙලාවට මම කරන්නේ චිත්‍රපට නරඹන එක තමයි. ඒ හරහා තමයි මම මගේ රංගන කුසලතා වැඩිදියුණු කරගන්නේ.
අද වෙද්දී සමාජ මාධ්‍ය කෙනකුගේ ජනප්‍රියත්වයට වගේම චරිතයට හානි කරන්නත් යොදා ගන්නවා. ඔබේ අදහස?
සමාජ මාධ්‍ය කෙනකුට හොඳ විධියටත්, නරක විධියටත් දෙවිධියටම යොදා ගන්න පුළුවන්. ඒ සම්බන්ධව කොතරම් කතා කළත් මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ දේවල් කරන අයට ඔවුන් කියන දේවල් අනුව කර්මයට අනුව ඒවාට මුහුණ දෙන්න සිද්ධ වෙයි.
රූපලාවණ්‍ය සැත්කම් සම්බන්ධව රංගන ශිල්පිනියක් විධියට ඔබට තිබෙන්නේ මොනවගේ ආකල්පයක්ද?
මම රූපලාවණ්‍ය සැත්කම් කරලා නෑ. නමුත් රූපලාවණ්‍ය සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම වගේම සැත්කම් අපේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම කරන දෙයක්. තමන්ට කැමැති නම් තමන්ගේ යම් කිසි දෙයක් වෙනස් කරන්න හෝ ලස්සන කර ගන්න එක තමන්ගේ කැමැත්ත. ඒකට කෙනෙක් බය වෙන්නත් පුළුවන්. නමුත් කැමැතිනම් කරන්න පුළුවන්. ලෝකයක් කියන දෙයට වඩා තමන් සතුටු වෙනවා නම් ඒ දේ කළාට කමක් නෑ කියලා තමයි මම නම් කියන්නේ.
එදත් අදත් ඔබට එක සේ ලැබෙන රසික ආදරය දැනෙන්නේ කොහොමද?
ආදරය අඩු වැඩි වශයෙන් මේ අවුරුදු හය තුළ මම ගොඩක් අත්වින්දා. මේ වෙද්දී මම ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන්ම ලබනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.
නැවත විදේශගත වීමට අදහසක් නැද්ද?
පදිංචියට විදේශගත වෙන්නේ නැහැ. නමුත් විදෙස් සංචාරයක් වගේ තිබුණොත් ගිහින් එනවා.
ඔබේ උපන්දින ෆොටෝ ෂූට් එකත් සමඟ ඔබ දිනෙන් දින සරාගී වන බවට ලැබෙන අදහස් ගැන මොකද හිතන්නේ?
මාව ප්‍රේක්ෂකයෝ මුලින්ම දැකලා තිබෙන්නේ චබී ගැහැනු ළමයෙක් විධියට. නමුත් මම හිතලම කෙට්ටු වුණා. ඒක නිසා වෙන්න ඇති සරාගී කියලා කියන්නේ. මොකද මම මහත කාලේ අඳින්න බැරි වුණු ඇඳුම් දැන් මට අඳින්න පුළුවන්. ඉතින් මගේ දැන් ඉන්න පෙනුමට මම කැමැතියි. ඒක දිගටම රඳා පවත්වා ගැනීමට මම හිතනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි. ඊට අමතරව ව්‍යාපාර කටයුතු දෙකක් ආරම්භ කළා. මගේ ස්ටූඩියෝ එකක් දෙල්කඳ තිබෙනවා. එතැනට ඇවිත් කැමැති අයට පුහුණු වීම් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කටයුතුත් එක්ක ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.
රුවිනි අමරකෝන්