දිවිල්ල අවසානයේ සතුට ලැබුණද කියන එක ප්‍රශ්නයක් - චින්තක කුලතුංග

gossiplanka image 2
 


කලාකරුවකුගේ ජනප්‍රියත්වය යනු නිතර පෙනී සිටිය පමණින් හිමි වන්නක් නොවේ. නොනැසී පවතින ජනප්‍රියත්වයක් සඳහා තමා නිරතවන කලාවට දක්ෂ වීම අත්‍යවශ්‍ය කාරණයකි. චින්තක කුලතුංග යනුද එවැනි නිතර පෙනී නොසිටින නමුත් රංගනයේ ඇති දක්ෂතාව හේතුවෙන්ම ජනප්‍රිය වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. රංගනයට අමතරව නිෂ්පාදකවරයෙක් ලෙසද මෙරට කලාවේ දියුණුව උදෙසා තම කාලය, ශ්‍රමය, ධනය කැප කළ ඔහු පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වන්නේ ආලේහි ආදරණීය පියාගේ චරිතය හේතුවෙනුයි.


බොහොම කාලයකට පසුව ඔබව පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා?


සුදු ඇඳගෙන කළු ඇවිදින් කරන කාලෙම අනුරුද්ධ ජයසිංහගේ ද ෆ්‍රෝසන් ෆයර් චිත්‍රපටයත් එක්කම කැනඩාවට යන්න අවස්ථාවක් ලැබුණා. එහේ ගියාට පස්සේ ඒත් එක්කම කොවිඩ් නිසා මාස කිහිපයක් එහේ හිරවෙලා ඉද්දි ප්‍රොෆෙෂනල්ස්ලාට එහේ ජොබ් කරන්න වර්ක් පර්මිට් දුන්නා. ඔය දේවල් එක්ක මට අවුරුදු දෙක තුනක් එහේ ඉන්න සිද්ද වුණා. ඒ අතරතුර කිහිප වතාවක් ඇවිත් ගියත් නිර්මාණයක් කරන්න තරම් කාලයක් ලංකාවේ හිටියේ නෑ. ඒ අතරතුර කාලයේ එහේ කළමනාකරුවෙක් විධියට රැකියාවක් කරන ගමන් අපේ කලාව ජාත්‍යන්තර තලයට අරගෙන යන්න තියෙන අවස්ථා පිළිබඳව අධ්‍යයනයක් කළා.  කොහොමහරි ලංකාවට ඇවිත් ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉද්දි මුලින්ම රොෂාන් රවින්ද්‍රගේ ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණා. ඒක කරලා ඉවර වෙද්දි වගේ තමයි ඉන්දික කතා කරලා ආලේ ටෙලි නාට්‍යයට ආරාධනා කළේ.


ආලේ වෙනස්ම ආරම්භයක් සහිත නිර්මාණයක්, කොහොමද ප්‍රතිචාර?


ප්‍රතිචාර ඉතාමත් හොඳයි. මටත් හිතා ගන්න බැරි තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. අද වෙද්දි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම අරමුණෙන්ම නිර්මාණ සිදු කරන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසාම හොඳ ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිර්මාණයක වුණත් ඒ වගේ ගති ලක්ෂණ තිබිය යුතුමයි. ආලේ ටෙලි නාට්‍යය ගත්තම මහ සංකීර්ණ ප්‍රශ්නයක් එක පාරටම පුපුරලා ගිහින්. ඒ හරහා තමයි අතීතයටත් යමින් කතාව විකාශය වෙන්නේ. මෙහි ආරම්භයම විශාල කුතුහලයක් සහිතවයි සිදුවුණේ. ඒ දේ වගේම තාත්තා සහ දුවෙක් අතර තියෙන බැඳීම පෙන්නුම් කරන ආකාරය නිසාත් ප්‍රේක්ෂකයන් මේ නිර්මාණයට ගොඩක් කැමැතියි.


ලොකු දරුවෝ ඉන්න පියෙක් විධියට ඔබට මේ චරිතය පෞද්ගලිකව දැනුණේ කොහොමද?


ඒ චරිතය ලියැවිලා තියෙන විධියට, අපේ ජීවිතවලටත් සමහර අවස්ථාවල එහි ඇතැම් සිදුවීම් සමීපයි. කලාවේ නියැළීමේදීත් ව්‍යාපාර සිදු කිරීමේදීත් වගේම විදෙස්ගත වීමේදීත් මේ හැම අවස්ථාවකදීම මගේ අරමුණ වුණේ දරුවන්ගේ සාර්ථකත්වය. මේ හැම කැප කිරීමකින්ම අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ සතුට. හැබැයි අපි සතුට මහ ඈතක තියෙන දෙයක් කියලා හිතාගෙන දුවන දිවිල්ල අවසානයේ ඒ බලාපොරොත්තු වුණු සතුට ලැබිලද  කියන එක හරියටම තේරෙන්නේ දුවලා ඉවර වෙලා ආපසු හැරිලා බලද්දි.  සමහර වෙලාවට අපිට ඒ දිවිල්ල නිසා දරුවන්ගේ ගොඩක් දේවල් මඟ හැරිලා කියලා තේරෙන්නේ පස්සේ. අපේ ජීවිතවල මහ ලොකු සැලකිය යුතු ප්‍රශ්න නැති වුණත් ඇත්තටම ආලේ ටෙලි නාට්‍යයෙන් දෙන ඒ පණිවුඩය හරහා මටත් අපි මේ දුවන දිවිල්ලේ අවසානය ගැන කලින්ම හිතන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.


ආලේහි ඔබේ තරුණ අවධියට වගේම ඔබේ පුතා විධියටත් රංගනයේ යෙදෙන්නේ ඔබේ සැබෑම පුතා, ඒ අත්දැකීම ගැනත් කියමු?


ඒක ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්. සමහර වෙලාවට පුතා මගේ තරුණ කාලේ චරිතයට පණ පොවද්දි එයා උත්සාහ කරනවා මගේ ගති ලක්ෂණ ටිකක් ඒ චරිතයට යොදා ගන්න. ඒ වගේම මම මැදිවියේ අරවින්දගේ චරිතයට පණ පොවද්දි, පුතා තරුණ කාලේ අරවින්දට පණ පොවද්දි පෙන්නපු ගති ලක්ෂණ කිහිපයක් මැදි වියේ අරවින්ද තුළින් පෙන්නුම් කරන්න මමත් උත්සාහ කරනවා. ඒ හරහා අපි උත්සහ කරන්නේ ප්‍රේක්ෂකයන්ට මේ දෙන්නාම එක්කෙනෙක් බව හැඟෙන විධියට චරිතය ගොඩනඟන්න. ඒක හරිම ඉන්ටරෙස්ටින්ග් වැඩක්. මට පළමුවැනි වතාවට පුතත් එක්ක මෙහෙම අවස්ථාවක් ලැබුණේ. ඒ අත්දැකීම හරිම සුන්දරයි.


ඉදිරියේදී දිගටම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?


ඇත්තටම මට එහෙම එක දිගටම රඟපාන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ආලේ ටෙලි නාට්‍යයත් එක්ක මට මේ වෙද්දි ආරාධනා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් එක්කම තමයි මමත් කල්පනා කළේ හැමදාම ව්‍යාපාර කටයුතුම කර කර ඉන්නේ නැතුව කලාවටත් යම් කිසි විධියකින් දායකත්වයක් දිය යුතුයි කියලා. ඒ අනුව මට හිතෙන දැනෙන, මට යම් කිසි දෙයක් කරන්න තියෙන චරිතයක් නම් මම ඒ සඳහා දායකත්වය ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. නමුත් එතැනදි ඒ පිළිබඳව මට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕන මම කරන නිර්මාණය පිළිබඳව මට සතුටු වෙන්න බැරි නම් මම ඒ සඳහා සම්බන්ධ වෙන්නෙ නැහැ. ඉදිරියේදි ලැබෙන වැඩ අනුව තෝරා බේරා ගෙන දායකත්වය දෙන්න අදහසක් තිබෙනවා. මේ වෙද්දි ආලේ සහ තව නිර්මාණ දෙකකට  දායකත්වය ලබා දීලා තියෙනවා.


නැවතත් නිෂ්පාදනයට යොමු වෙන්න අදහසක් නැද්ද?


නිර්මාණ කිහිපයක්ම කරන්න අදහසක් තියෙනවා. පුතාලාවත් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ  හැකියාවන්ගෙන් මටත් වැඩක් ගන්න ඕනෑ කියන අදහසත් තියෙනවා. මීට කලින් මගේ නිර්මාණවලට සාධනීය දායකත්වයක් ඔවුන්ගෙන් ලබා ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් එක්කම ඉදිරියේදි ෆිල්ම් කිහිපයක්ම කරන්න අදහසක් තියෙනවා.


අලුතෙන් ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වෙන්න අදහසක් නැත්තේ පාඩු නිසාද?


ඇත්තටම ටෙලි නාට්‍ය නිෂ්පාදනයට නම් ලොකු අදහසක් නැහැ. මොකද කරපු නිර්මාණවල වුණත් මුදල් ලැබෙන්නේ වසර කිහිපයක්ම ගියාට පස්සේ. ඒ වගේම අපි වියදම් කරපු මුදලට හරියන්න නාළිකාවලින් හා අනුග්‍රාහක ආයතනවලින් මුදල් ලැබෙන්නේ නැති ගැටලුවක් තියෙනවා. ඉතින් අපේ රටේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔය ගැටලු කිහිපයක් තියෙන නිසා ටෙලි නාට්‍යය නිෂ්පාදනයට නම් ලොකු අදහසක් නැහැ. මේ වෙද්දි චිත්‍රපට සඳහා හොඳ අවස්ථාවක් තියෙනවා සහ චිත්‍රපටයක් කළොත් ඒක ලෝකෙටම යවා ගන්න හැකියාවක් තියෙන නිසා චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කිරීමේ බලාපොරොත්තු තියෙනවා.


ඔබට ඔබේ තරුණ කාලයේ ලැබුණු ආකර්ෂණ අද වෙද්දි ඔබේ පුතාට ලැබෙනවා දකිද්දි මොකද හිතෙන්නේ?


මට හරිම සතුටුයි ඒ ගැන. ඇත්තටම එයා මටත් වඩා ගොඩක් ජනප්‍රියයි. මොකද එයා ගොඩක් ළාබාල අවධියකදී තමයි රංගනයට අවතීර්ණ වෙන්නේ. මට දැනෙනවා රංගන ශිල්පියෙක්ට තිබිය යුතු තරු ගුණය එයාට තියෙනවා කියලා. එයා මේ විෂය ගැන අධ්‍යයනය කරන්නේ බොහොම කුඩා අවධියේ ඉඳලා. ඔහුට හොඳට ඉගෙනගන්න පුළුවන්. නමුත් ඔහු අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා වෙනුවට රංගනය තෝරා ගත්තේ දැඩි ඇල්ම නිසා. ඒ වගේම ඔහුට මේ සම්බන්ධයෙන් හොඳ කියැවීමක් තියෙනවා. ඔහු මේ ගමන යන්නේ හොඳ අධ්‍යයනයකින්. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔහුට ලෝක සිනමාව දක්වාම යෑමට හැකියාව තියෙනවා කියලා.

gossiplanka image 1
Previous Post Next Post