මම හරි සතුටුයි. ඒ චරිතය කරන්න ලැබුණා. ඒක හරිම සංකීර්ණ චරිතයක්. අම්මලාගේ චරිත එක එක විදිහනේ. මේ තවත් එක අම්මා කෙනෙක්.
පිටපත කියෙව්වාට පස්සේ මොකද හිතුණේ?
ඇත්තටම මට හිනාගිය අවස්ථා තිබුණා. සමහර දෙබස් හිනා යනවා. සමහර දෙබස් අපි රූගත කිරීමේදී එකතු කළා. මම සමහර දේවල් ගැන දැනුවත් වුණේ රූගත කිරීම්වලදී.
ඒ මොනවාද?
මම දැනගෙන හිටියේ නැහැනේ මළගෙවල් රස්සාවල් වෙනවා කියලා. මොකද මම එහෙම කියන්නේ සමහරුන්ගේ රස්සාවල් තමයි මළගෙවල්. මළගෙයක් විකිණෙනවා. එක තැනකදී තරිඳු අම්මාට ලක්ෂයක් දෙනවා බූරු පියදාසගේ පිටියේ ආදායම කියලා. ඒක පෙන්වන්නේ නැහැ. නමුත් එහෙම කියවෙනවා. මම ඇහැව්වා ඇයි මේ ලක්ෂයක් දෙන්නේ කියලා. එයාගේ නැන්දම්මාව තව දවසක් තියාගන්නවාට. මම ඒ වෙලාවේ ඇහැව්වා ඇයි මේ මිනියක් තව දවසක් තියාගන්නේ කියලා. හේතුව ටෙන්ට් එක විකිණෙනවා, කොෆි මැෂින් එක විකිණෙනවා, බූරු ගහන තැන විකිණෙනවා. මාර බිස්සන් ගොඩක් ඒ මළගේ ඇතුළේ යනවා.
මෝඩ තරිඳු හින්දයි මළගෙවල් ඇතුළේ බිස්නස් වෙනවා කියලා දැනගත්තේ?
ඔව්. මම කලින් ඕවා දන්නේ නැහැ. ඔළුවේ අතගහ ගත්තා. ඇත්තටම මේවා වෙනවාද පුතේ කියලා තිසරගෙන් ඇහැව්වා. එයා තමයි කිව්වේ මේවා සමාජයේ වෙන දේවල් කියලා. මම මෙච්චර වැඩිහිටියෙක් වෙලා මම දැනුවත් වුණෙත් මේ මෝඩ තරිඳු චිත්‍රපටය හින්දා.
හාස්‍ය පිටපත් ඔබට නුහුරු දෙයක් නෙමෙයිනේ.
මේ වගේ පිටපතක් හම්බවුණේ පළමු වතාවටද?
මේක අමුතුම එකක්. කතාව ගලාගෙන යද්දි වෙනස්ම හැඟීමක් ඇතිවෙනවා. මොකද අපි ඔක්කොම චරිත දිහා බලන්නේ නැහැනේ. දැන් මට දීලා තියෙන්නේ අම්මා නම් මම අනෙක් චරිත දිහා වැඩි වුවමනාවකින් කියවන්නේ නැහැ. අම්මාගේ චරිතය වටා බැඳිලා තියෙන අනෙක් චරිත ටික කියවනවා. අපිත් කාර්යබහුල හින්දයි එහෙම වෙන්නේ. හැබැයි ෆිල්ම් එක බැලුවාට පස්සේ පිස්සු කියන්නේ කියලා වැඩක් නැහැ. ඩිස්ටි ඩිඩිං දර්ශනයට යන එකත් මම හොල්මන් වෙලා හිටියා. මම ඒත් ඇහැව්වා හැම වෙලේම මොකක්ද මේ කියන්නේ කියලත්. ඊට පස්සේ තමයි ඒ සියල්ලම දැනගත්තේ. හැබැයි හරිම සුන්දර විදිහට පොඩි ළමයෙකුට වුණත් බලන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. එකක්වත් කුණුහරුප නැහැනේ.
කෞෂල්‍යා සුබසිංහ එක්ක කරපු දර්ශන හරි සුන්දර ඇති නේද?
ඇත්තටම අපි දෙන්නා වේදිකාවේ කොතරම් සැරිසැරුවත් අපි දෙන්නා එකට මුණගැසුණේ තිසරගේ මෝඩ තරිඳු චිත්‍රපටයත් එක්ක. කෞෂල්‍යා එක්ක වැඩකරන්න මාර පහසුයි. ඔය ෆිල්ම් එක පුරාවටම හිටපු හැම චරිතයක් එක්කම රඟපාන්න ලේසියි. අන්න ඒකයි තියෙන වටිනාකම. ෆිල්ම් එකට කරලා තියෙන ලොකුම වටිනාකම ආවට ගියාට චරිත තෝරාගෙන නැහැ. පොඩි චරිතයකට පවා හොඳ දැනුවත්භාවයක් තියෙන වේදිකාව පරිශීලනය කරපු අය තමයි අරගෙන තියෙන්නේ. ඉතිං කෞෂල්‍යා අක්කා කියන්නේ මට දැවැන්තයෙක්. මට වැඩිමල් වුණත් වේදිකාව ඉතාම ජයගත්තු කෙනෙක්. එයා හැම වෙලාවේම අපි නොදන්න දේවල් පවා කියලා දෙන නිහතමානී චරිතයක්. සුන්දරව තමයි කාලය ගත කළේ. අපි දන්නෙත් නැහැ ෂූටින් ඉවරවුණා. එතකොට හරි දුක හිතුණා.
මේ දවස්වල හෝල් හවුස්ෆුල්නේ. හොඳම ප්‍රතිචාර කොහේදිද ලැබුණේ?
අනේ එක තැනක් කියන්න බැහැනේ. හැමෝම වගේ කතා කරන්නේ මෝඩ තරිඳු ගැන. පාරට බැස්සත් කට්ටිය කියන්නේ මෝඩ තරිඳු ගැනනේ. වැඩේ තියෙන්නේ හරි දුකයි.
ඒ මොකද ඒ?
සමහරු වීව්ස් ගන්න මේක වීඩියෝ කරලා ෆේස්බුක්වලයි සමාජ මාධ්‍යවලයි දාන හින්දා හරිම කනගාටුයි. මොකද මේවා කරන්න අපි හරි දුක්වින්දා. නිෂ්පාදක කණ්ඩායම, අධ්‍යක්ෂවරයා වගේම නළු නිළියන්ගේ දැඩි පරිශ්‍රමයකින් තමයි මෝඩ තරිඳු එළියට ආවේ. හරිම දුක්මහන්සියෙන් කරපු එකක් මේ කොහේවත් ඉන්න පිරිසක් මේක බලන්න ගිහිල්ලා මේ කරන වැඩේ වැරදියි. මම මේ හැම දෙනා ගැනම නෙමෙයි කියන්නේ. එහෙම එපා කියද්දී කියද්දිත් මේක දාලා මොනවා බලාපොරොත්තු වෙනවාද මන්දා. අනික අනුන්ගේ නිර්මාණයක් මංකොල්ලා කනවා වගේ වැඩක්නේ. එහෙම කරන්න එපා කියලා කරුණිකව ඉල්ලලා තියෙද්දිත් ඒ දේම කරනවා.
දිනේෂ් විතාන