දැන් ඩබල් ගේම් එකක ඉන්නෙ -ශනුද්‍රි ප්‍රියසාද්

gossiplanka image 1
 

ශනුද්‍රි ප්‍රියසාද් ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඇය මේ වෙද්දි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ශනුද්‍රි මේ ගත කරන්නේ එයාගේ ජීවිතේ ලස්සනම කාලේ කියලයි මට නම් හිතෙන්නේ. රිදී තිරයෙන් ඇය රඟපෑ සිනමා නිර්මාණ දෙකක්ම සාර්ථකව තිරගත වෙනවා. ඒ එක්කම මේ කාලේ හැමෝම කියන්නේ ‘දිනූ මගේ යකෝ…‘ කියලා. දිනූ අපිට හමුවෙන්නේ මෝඩ තරිඳු චිත්‍රපටයෙන්. ඒ දිනූ තමයි ශනුද්‍රි ප්‍රියසාද්. රසඳුන මේ සොඳුරු කතාබහ ශනුද්‍රි ප්‍රියසාද් සමඟයි.


ශනුද්‍රි කොහොමද ජීවිතය?


මේ දවස්වල ජීවිතේ හොඳින්ම ගෙවෙනවා. මොකද මගේ චිත්‍රපට දෙකක් අතිසාර්ථකව තිරගත වෙනවා. ලංකාවේ වගේම ලෝකයේ රටවල් කිහිපයකම. වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ නීරා සහ තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ මෝඩ තරිඳු චිත්‍රපට දෙකම සාර්ථකයි. ඒ නිසා හරිම සතුටුයි.


මෝඩ තරිඳුහි දිනූ ඔබයි කොහොමද ලැබෙන ප්‍රතිචාර?


දිනූ වගේ චරිතයක් මම කරපු පළමු අවස්ථාව. මම මෙතෙක් කරලා තියෙන්නෙම බොහොම ආදරණිය චරිත. නමුත් දිනූ කියන්නේ ඉන් එහාට ගිය සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ‘ඩබල් ගේම්‘ චරිතයක්. හැබැයි ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් මෝඩ තරිඳු වැලඳගෙන තියෙනවා. ඒ නිසාම මෝඩ තරිඳුහි දිනූට ප්‍රතිචාර නම් ඉහළයි.


දිනූ වෙන්න ආරාධනා ලැබෙද්දී හිතුවද මෙහෙම දෙයක් වෙයි කියලා?


මට මේ නිර්මාණයට කතා කරද්දී මම දැනන් හිටියේ නැහැ මට ලැබෙන චරිතේ මොකක් ද කියලා. ඒ කිසිම දෙයක් නොදැන තමයි මම මේ වැඩේට හා කිව්වේ. මොකද මම දන්නවා තිසර අයියලාගේ වැඩ ගැන. ඉතින් අද වෙනකොට චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. හැබැයි මේ තරම් විශාල ආදරයක් ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ. බොහොම ස්තුතියි ‘මෝඩ තරිඳු’ හරි ආදරෙන් භාර ගත්ත අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට.


තිසර ඉඹුලාන කියන අධ්‍යක්ෂවරයා ගැනත් කියන්න දෙයක් ඇති?


තිසර ඉඹුලාන කියන්නේ මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරුන්ගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්. මට එයාගෙන් ආරාධනාවක් ආවම ෆිල්ම් එකක් කරමු කියලා මම කිසි දෙයක් අහන්නේ නැතුව හා කියන්නෙ මම හරිම ආසයි තිසර අයියාගේ නිර්මාණ එක්ක වැඩ කරන්න. මගේ ප්‍රියේ ගීතයේ විෂුවල් එක අධ්‍යක්ෂණය කළේත් තිසර අයියා. ඊට අමතරව වැහි බිඳු සහ හතේ හත කියන මියුසික් සීරියස් එකෙත් මම වැඩ කළා. ඒ වැඩ කිරීමත් එක්ක මට එයත් එක්ක වැඩ කරන්න තියෙන ආසාව තවත් වැඩි වුණා. තිසර අයියා කියන්නෙ මම සහෝදරයෙක් විදිහටත් අධ්‍යක්ෂවරයෙක් විදිහටත් හරිම ගරු කරන චරිතයක්. එයාලා වැඩ කරන විදිය සහ වැඩක් ඇතු‍ළෙ අපිව හසුරුවන විදිහ එක්ක ගත්තම එයා එක්ක වැඩ කරන එක හරිම පහසුයි.


අමතක නොවන මතකයන් ඇති?


මෝඩ තරිඳු චිත්‍රපටයම අපිට අමතක නොවන මතකයක්. චිත්‍රපටයේ රූපගත කිරීම් තිබුණේ දවස් 12යි. ඒ දවස් 12ම තාමත් අපිට මතකයි. එක දවසක් රෑ තමයි අපි මේ චිත්‍රපටයේ එන සොරි සර් ගීතය රූපගත කළේ. කොළඹ මහ රෑ පටන් ගත්ත ෂූට් එක පහුවදා පාන්දර වෙනකම් ගියා. ඒ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. තව දවසක් තිබුණා මට පහුවදා රට යන්න. ඊට කලින් දවසෙත් පාන්දර වෙනකම් ෂූට් කරලා තමයි මම එයාර් පෝර්ට් ගියේ. ඒ වගේම ප්‍රවීණ අය බොහොමයක් එක්ක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ එක්කම මේ තමයි මම රංගනයෙන් දායක වුණු පළමු බ්ලැක් කොමඩි චිත්‍රපටය. ඒ නිසා මගේ රංගන ජීවිතයේ කවදාවත් මට මෝඩ තරිඳු අමතක වෙන එකක් නැහැ.


ශනුද්‍රි චරිතයක් භාර ගන්න කලින් මූලිකව බලන්නෙ මොනවාද?


ඇත්තටම චරිතයක් භාර ගන්න කලින් වැදගත් වෙන දේ තමයි මට ඒ චරිතේ තුළ මට කරන්න තියෙන දේ. ඒකට ස්ක්‍රීන් ටයිම් එක අදාළ වෙන්නේ නැහැ. මට ලැබෙන පොඩි කාලය තුළ හරි මට හොඳ දෙයක් කරන්න ලැබෙනවා ද මට මටම අභියෝගයක් වෙන චරිතයක් ද කියන එක ගැන මම හිතනවා. මෙතෙක් නම් මට හොඳ ස්ක්‍රීන් ටයිම් එකක් එක්ක චරිත ලැබුණේ. නමුත් ඒක නෙවෙයි මට වැදගත් වෙන්නේ. ඊට පස්සේ වැඩ කරන්න තියෙන්නේ කා එක්ක ද කියන එකත් බලනවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


නීරා සහ මෝඩ තරිඳු තිරගත වෙනවා. බොහෝ දෙනා මගේ චරිත දෙක ගැනම බොහෝ සටහන් ලියනවා. මේ අවුරුද්ද ඉවර වෙන්නේ මට සිනමාවෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක. ඒ එක්කම ලබන අවුරුද්ද වෙද්දී තවත් චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. මම බොහොම හෙමින් යන ගමනක් තියෙන්නේ.


පුංචි තිරයෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?


දිවිතුරා ටෙලි නාට්‍යයෙන් පස්සේ මම කිසිම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. ඒකට හේතුව මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ චිත්‍රපට හතරක වැඩ භාර ගත්තා. ඒත් එක්කම මම රට රටවල්වල ට්‍රැවල් කරපු නිසා මට ටෙලි නාට්‍ය වෙනුවෙන් දෙන්න තියෙන කාලය සිමා වුණා. හැබැයි ඉස්සරහට හොඳ පිටපතක් එක්ක හොඳ නිර්මාණයකට ඇරයුම් ලැබුණොත් ඒ නිර්මාණය වෙනුවෙන් මම දායක වෙන්න ඉඩ තියෙනවා.


අනාගත ඉලක්ක ගැනත් කිව්වොත්?


ලොකු ලොකු බලාපොරොත්තු ඉලක්ක නම් නැහැ. මම බොහොම හිමින් මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා. ඇත්තටම කරන වැඩේට උපරීම සාධාරණයක් කරන ගමන් ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්න තමයි මම හැමවිටම උත්සහ කරන්නේ.


ශනුද්‍රිට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් ඇති?


ඇත්තටම මට ආදරේ කරන ප්‍රේක්ෂකයන් කොයිතරම් නම් ඉන්නවද කියන එක මට මේ වෙලාවේ තමයි තේරෙන්නේ. ඒ මගේ සිනමා නිර්මාණ දෙකක්ම තිරගත වන නිසා. ඒ අයට හැමදාම වගේ කියන්නේ මගෙත් එක්ක ඉන්නවට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ අයට මම හරිම ආදරෙයි. ඒ නිසා මගෙත් එක්ක දිගටම ඉන්න කියලත් කියනවා.

gossiplanka image 2
Previous Post Next Post