බස් එක පදවන ගමන් රංගනයේ යෙදෙන එක ලේසි වුණේ නැහැ -අභිලාෂි සන්තුෂ්කි

gossiplanka image 2
 

බස් රථයක් පදවාගෙන යන අභිලාෂි සන්තුෂ්කිගේ රුව මේ දිනවල බොහෝ ප්‍රතිචාර ලබමින් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් පැතිර යයි. ඒ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ සතියේ දිනවල විකාශය වන හසිත රාජපක්ෂගේ ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයේ නිකීය. සිනමාව ඔස්සේ කලාවට පිවිසි අභිලාෂී මේ වන විට පුංචි තිරය ද ජයගෙන ඇතැයි සිතේ. සෝමරත්න දිසානායකගේ ‘සිංහබාහු’ සිනමාපටයේ සුප්පා කුමරියට පණ පොවමින් සිය කුලුඳුල් රංගන අත්දැකීම ලබන ඇය මේ දිනවල ඔහුගේ නවතම සිනමාපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නීය. දැඩි කාර්යබහුලත්වය හමුවේ වුවද ඇය අප හා කතාබහට එක්වූවාය.


අභිලාෂි මේ දවස්වල ගෑනු ළමයෙක් තෝරගන්නෙම නැති රස්සාවක් තෝරගෙන නේද?


ඔව්. බස් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ ඇත්තටම ගෑනු ළමයෙක් තෝර ගන්නෙ නැති රස්සාවක්. ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණය හරහා මට ඒ අත්දැකීම ලබාගන්න හැකි වුණා. ඒක මටත් අලුත් අත්දැකීමක්. මගේ කලාවට පිවිසීම සිදුවෙන්නේ සිනමාව ඔස්සේ. මේ වෙද්දි මං දායක වුණු සිනමා නිර්මාණ කිහිපයක්ම තිරගත වීමට නියමිතව තියෙනවා. ඒ අතරතුර ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් මේ දිනවල විකාශය වන සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණය ප්‍රේක්ෂකයින්ට හොඳ රසවින්දනයක් ලබාදිය හැකි ගුණාත්මක ටෙලි නිර්මාණයක් කියල හිතනවා. ඒකෙන් මගේ රංගන පරාසය තවත් වැඩිදියුණු වුණා කියලත් හිතෙනවා.


ගෑනු ළමයෙක් බස් එකක් පදවනවා කියන්නෙ පහසු වැඩක් නෙවෙයි. කොහොමද පුරුදු වුණේ?


ඩ්‍රයිවින් දැනගෙන හිටියට කවදාවත් මං බස් එකක් පදවල තිබුණෙ නැහැ. තිමිර, හසිත, නිලන්ත ඇතුළු කණ්ඩායමම විශේෂයෙන්ම මෙහිදී මතක් කරන්න ඕන. ඔවුන් තමයි මට හැමදේම කියල දීල මාව මෝටිවේට් කළේ. ෂූට් එක කරන්න විනාඩි පහළොවකට විතර කලින් තමයි මම බස් එක පුරුදු වුණෙත්. මගේ තිබුණු උනන්දුව, කැපවීම, ආසාව නිසාම මම ඒක විනාඩි පහෙන්, දහයෙන් අල්ලගත්තා. ඒ නිසාම බස් එක පදවන ගමන්ම නිකී කියන බස් ඩ්‍රයිවර්ගේ චරිතය කරන්නෙ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබිලා ප්‍රේක්ෂකයාට රස විඳිය හැකි වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න පුළුවන් වුණා.


‘සිහිනෙක තනිවෙලා’ ඇක්ෂන් කට් ඇතුළෙ විතර ද ඔබ බස් එක පැදෙව්වේ?


ඇක්ෂන් කට් ඇතුළේ විතරක් නෙවෙයි මම ඇත්තටම පාරෙත් බස් එක පදවන් ගියා. මේ නිර්මාණයට කතා කරද්දිම මං කිව්වා මට බස් පදවන්න බැහැ කියලා. ඒත් තිමිර අයියා, හසිත අයියා මං ඒක කරාවි කියලා මං ගැන ලොකු විශ්වාසයක් තියලා තිබුණා. ඇක්ෂන් එක ඇතුළෙම මං අනෙක් වාහනවලට කිසිදු හානියක් නොකර විමසිල්ලෙන් ප්‍රධාන පාරක බස් එක පදවගෙන ගියා. බස් එක පදවන ගමන් ඒ විමසිල්ලත් තියාගෙනම රංගනයේ යෙදෙන එක නම් ලේසි වුණේ නැහැ. නමුත් රංගන ශිල්පිනියක් වුණහම ඕනෙම අභියෝගයක් භාරගන්න ධෛර්යයක් තියෙන්න ඕන. මං හිතනවා මට ඒ ධෛර්යය තිබුණා කියලා.


නිකී කියන්නේ රංගන ජිවිතේ ඔබට ලැබුණු ලොකුම අභියෝගය ද ?


එහෙමම කියන්නත් බැහැ. මං හිතන්නේ මං මෙතෙක් කරපු හැම චරිතයක්ම වගේ මට අභියෝගයක් වුණා. මගේ කුලුඳුල් රංගන අත්දැකීම සුප්පා කුමරියගේ චරිතයේ ඉඳන් මේ දක්වා ලැබුණු හැම චරිතයක්ම එකිනෙකට වෙනස් අභියෝගාත්මක චරිත. සුප්පා කුමරිය කියන්නේ ගොඩක් බැරෑරුම් චරිතයක්. අවුරුදු දාහතක කුමාරිකාවකගේ ඉඳන් ගැබිනි මවක්, දරුවන් සුරතල් කරන මවක් දක්වා දිවෙනවා. සීතල, ගැඹුරු ජලාශයක පිහිනන්න තිබුණු දර්ශනය වුණත් ලේසි වුණේ නැහැ. ඒ වගේම මේ දිනවල රූගත කෙරෙන The Rapist සිනමාපටය වගේම රජීව් සිවදාසන්ගේ නවතම සිනමාපටයේ සාරදා කියන චරිතයත්. මං හොයන්නෙ ප්‍රේමයක් සිනමාපටය වෙනස්ම අත්දැකීමක්. මේ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් හොඳ ගුණාත්මකභාවයකින් යුතු ඒවා. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තත් මට ඕන කළේ යමක් කරන්න පුළුවන් ප්‍රේක්ෂකයින්ට දැනෙන විවිධ චරිත කරන්න. කොහොමත් මං අභියෝගාත්මක චරිතවලට තමයි වැඩිපුරම කැමති.


පිටපත කියවගෙන යද්දි බස් එකක් පදවන්න තියෙනව කියල දැක්කම හිතට ආපු පළවෙනිම සිතුවිල්ල මොකක්ද?


දැක්ක ගමන්ම මං කිව්වේ බස් පදවන්න නම් මං දන්නෙ නැහැ කියලා. එකපාරටම මගේ හිතටත් පොඩි තිගැස්මක් ආවා. මේක ලොකු බස් එකක්. හරිම පරිස්සමෙන් පදවන්න ඕන. මොකද අපෙන් වෙන පොඩි වැරැද්දකින් අපේ කණ්ඩායමේ අයගේ වගේම පාරෙ යන මිනිස්සුන්ගේ ජීවිතවලටත් හානියක් වෙන්න පුළුවන්නේ. ඒ නිසා මාත් පොඩ්ඩක් පසුබැස්සා. මේ වෙලාවේ මම ටෙලි නාට්‍ය භාරගන්නෙ නැහැ කියල හිතුවත් නිකී කියන චරිතයට මට ආස හිතුනා. පිටපතත් සම්පූර්ණයෙන්ම කියවලා තිමිර අයියගෙ අදහසුත් ගත්තට පස්සේ මට හිතුනා මගේ චිත්‍රපටත් එන්න ටික කාලයක් යන නිසා මේ වගේ හොඳ ප්‍රේක්ෂකයින්ට වෙනස් අත්දැකීමක් දෙන්න පුළුවන් නිර්මාණයකට සම්බන්ධ වෙන එක හොඳයි කියලා.


නිකී කියන්නේ සාමාන්‍ය තරුණියකට එහා ගිය භූමිකාවක්. නිකීව අභිලාෂිට දැනුණෙ කොහොමද?


නිකී කියන්නේ හරිම සරල පාසල් වයසේ ගෑනු ළමයෙක්. තමන්ගේ තාත්තා ඔත්පල වීමත් එක්ක පවුල නඩත්තු කරන්න වෙහෙසෙන අම්මගෙයි අක්කගෙයි විඩාබර ඇස් දකිද්දි නිකීට ඕන කරන්නේ ඉගෙනීමත් පැත්තකින් තියලා සල්ලි හම්බ කරන්න. එයාගේ වයසත් එක්ක වෙන රස්සාවක් හොයාගන්න අපහසු නිසා තමයි ඇය තමන්ගේ තාත්තා පදවපු බස් එක අතට ගන්නේ. අත්වල කරගැට එනකල් බස් එක පැදලා කීයක් හරි හම්බ කරගන්න තමයි ඇය වෙහෙසෙන්නේ. එතනදි ඇයට මේ සමාජයේ ඉන්න විවිධාකාරයේ මිනිසුන් එක්ක ගැටෙන්න වෙනවා. අභිලාෂි විදිහට මටත් අද සමාජයේ ඉන්න තරුණ ගැහැනු ළමයින්ටත් නිකී හොඳ ආදර්ශයක් වේවි කියල හිතෙනවා.


අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහාය ගැන කතා කළොත්?


හසිත රාජපක්ෂ අයියත් එක්ක මම වැඩ කරන පළමු අවස්ථාව මේක. මම ටෙලි නාට්‍ය කලාවට අලුත් කෙනෙක් කිව්වම, බස් පදවන්න දන්නෙ නෑ කිව්වම ඔහුගෙන් ලැබුණු මෝටිවේෂන් එක තමයි ඔහුගේ ආරාධනාව පිළිගන්න ප්‍රධානම හේතුව වුණේ. සිනමාවයි පුංචි තිරයයි ගත්තම රංගන පරාසයේ වෙනසක් තියෙනවා. එතනදි අභිලාෂි කියන සිනමා නිළියට කිසිදු හානියක් නොවන විදිහට නිකීව ගොඩනඟා ගන්න ඔහුගෙන් ලැබුණු දැනුම සහ අවබෝධය මට ගොඩක් වටිනවා.


බස් එකක් පදවන නිකී මේ දවස්වල සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රියයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඔව්. නිකී බස් එක පදවන දර්ශනය සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වීමත් එක්ක සිහිනෙක තනිවෙලා ප්‍රේක්ෂකාගාරය තව තවත් වැඩි වෙලා තියෙනවා. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. නිකී ඇත්තටම ද මේ බස් එක පදවන්නේ කියන එක තමයි බොහෝ දෙනාට ගැටලුවක් වෙලා තිබුණේ. ඔන්න ඒ ගැටලුවටත් අද පිළිතුරු ලැබුණා කියල හිතනවා.


සිනමාව හරහා රංගනයට පිවිසි ඔබ මේ වෙද්දි පුංචි තිරයත් ජයගෙන. මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?


ගොඩක් සතුටුයි. සිනමාව තමයි මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය. මේ වෙද්දි මං චිත්‍රපට පහක් කරල තියෙනවා. තවත් ආරාධනා කිහිපයක්ම පිළිඅරන් තියෙනවා. හොඳ ගුණාත්මක සිනමා නිර්මාණ තුළින් ඉදිරියට යන්න තමයි ආසම. සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණයේ නිකීටත් මේ දිනවල ගොඩක්ම ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. ඒ ගැනත් ගොඩක් සතුටුයි. මගේ සිනමා නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී දැකගන්න පුළුවන්.


සුප්පා කුමරිය කියන්නෙ ඔබේ ජීවිතේ අමතක නොවන සන්ධිස්ථානයක්. ඒ ගැනත් මතක් කරමු?


සුප්පා කුමරිය කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. අවුරුදු දාහතක් තරම් පාසල් වියේදී රංගනයට පිවිසි මගේ මුළු ජීවිතේම වෙනස් කළේ සුප්පා කුමරිය. රංගනය පිළිබඳ මං පාසල් වේදිකාවේ අත්දැකීම් ලබල තිබුණට සිනමාව ගැන මට කිසිම අත්දැකීමක් තිබුණෙ නැහැ. සෝමරත්න සර්ට සහ රේණු නැන්දට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුප්පා කුමරියට මාව තෝරගෙන සිනමාව ගැන මුල ඉඳන්ම මට කියල දුන්නට. අදටත් ඔවුන් තමයි මගේ සෙවණැල්ල වගේ ඉන්නේ.


සිනමාව තුළ ඔබ සම්මානිතයි. ඒ ගැනත් කියමු?


පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම නවක නිළියට හිමි සම්මානය ලැබුණේ සුප්පා කුමරියට. පළමු රංගන අත්දැකීමම හොඳම කැටගරිය යටතේ සම්මානිත වීම මට වචනයෙන් විස්තර කරන්න බැරි අත්දැකීමක්. ඒක ඇත්තටම මට ආශීර්වාදයක්. ඒ සඳහා සහාය ලබාදුන් සෝමරත්න සර්, රේණු නැන්දා ඇතුළු සිංහබාහු කණ්ඩායමට වගේම මගේ අම්මා තාත්තා, මාව මේ තැනට යොමුකළ මගේ පාසලේ ගුරුවරුන් ඇතුළු හැමෝටම මේ වෙලාවෙ මං ස්තුතිවන්ත වෙනවා.


මේ දිනවල රූගත වන The Rapist සිනමාපටය ගැන කතා කරනවා නම්?


The Rapist මං සම්බන්ධ වන පස්වැනි චිත්‍රපටය. ආරාධනා ලැබිලා ටික කාලයක් වුණත් රූගත කෙරුණේ මේ අවුරුද්දේ. මේ වෙද්දි රූගත කිරීම් අවසන් අදියරේ තියෙන්නේ. ශෂිනි කියන්නේ වෙනස් ගැඹුරු කැරැක්ටර් එකක්. මට ඒ වගේ චරිතයක් ලැබුණු පළමු අවස්ථාව. කණ්ඩායමෙන් ලැබුණු ප්‍රතිචාර දිහා බැලුවම ප්‍රේක්ෂකයින්ගෙනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි කියන බලාපොරොත්තුව ඇති වුණා.


ඔබ ගොඩක් දුරට සම්බන්ධ වෙලා තියෙන්නේ සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය නිර්මාණ එකතුවත් එක්ක. ඒකට විශේෂ හේතුවක් තියේද?


ඔවුන් දෙදෙනා තමයි මාව සිනමාවට ගෙනාපු සිනමාවේ මගේ මවුපියන් දෙදෙනා. සුප්පා කුමරියට මාව තෝරගන්නේ ඔඩිෂන් දෙකකින් පස්සේ. එදා ඉඳන් මගේ අම්මා තාත්තාට සමානවම මගේ හෙවණැල්ල වගේ ඉඳන් මට මඟ පෙන්වන්නේ ඔවුන් දෙදෙනා. මගේ රංගන පරාසය ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. මමත් මගේ උපරිම කැපවීමෙන් ඔවුන්ගේ නිර්මාණවලට දායකත්වය ලබා දෙනවා.


සිනමාව ගැන කතා කරද්දි මං හොයන්නෙ ප්‍රේමයක් ගැනත් කතා නොකරම බැහැ?


ඔව්. ‘මං හොයන්නේ ප්‍රේමයක්’ තිළිණ බොරලැස්සගේ නිර්මාණයක්. සාමාන්‍ය ආදර කතාවලින් මිදුණු වෙනස්ම විදිහේ ලස්සන ආදරණීයම කතාවක් කිව්වත් හරි. ඒකත් වෙනස්ම විදිහේ කැරැක්ටර් එකක්. මං හොයන්නේ ප්‍රේමයක්. ළඟදීම ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබේවි. ඒ වගේම රජීව් සිවදාසන්ගේ චිත්‍රපටයේ සාරදාගේ චරිතයක් මට විශේෂයි. ගැහැනියක් සපත්තු අඩියටම වැටුණට පස්සේ ආයෙ නැඟිටින්නෙ කොහොමද කියන එක ඒකෙ හරි ලස්සනට පෙන්වනවා.


නිකී මේ දිනවල ආදි ගැන ආදරණීය සිහින දකිනවා. අභිලාෂිත් එහෙම හීන දකිනවා ඇති. ඒ ගැනත් කියමු?


ඔව්. සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණයේ නිකී නම් ආදි ගැන සිහින දකිනවා. ඒත් අභිලාෂි දකින්නෙ වෙන හීනයක්. පසුගියදා හොඳම නවක නිළිය විදිහට ජුරිය විසින් මා ගැන තැබූ විශ්වාසයට සාධාරණයක් කරමින් ඉදිරියටත් හොඳ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන එක තමයි මගේ හීනය.

gossiplanka image 1
Previous Post Next Post