මං ආදරෙයි ටෙලිනාට්‍යයේ මාලා ඇයයි. සිය දරුවන්ට තිබෙන ආදරය නිසාම අසීමිත කැපකිරීම් කරන ඇය, ආර්ථික පීඩනයෙන් ද බැටකමින් කටුක දිවියක් ගෙවන්නීය. ආදරණීය මවක්, බිරියක් ලෙස පුංචි තිරයෙන් ඔබ හමුවට එන මාලා හෙවත් අශිකා මතසිංහ සිය නිර්මාණ දිවිය ගැන ඉකුත්දා රසඳුනට මෙසේ පැවසුවාය.
‘මං ආදරෙයි’ ටෙලියේ මාලා ඔබයි. එම චරිතය ගැන කියනවානම් ?
ඔව්, ‘මං ආදරෙයි’ කියන්නේ හර්ෂ උඩකන්ද මහතාගේ අධ්‍යක්ෂණයක්. එහි මාලා කියන්නේ ආදරණීය මවක්, බිරිඳක්. ඒවගේම දිළිඳු , දුෂ්කර දිවියක් ගෙවන සංයමයෙන් යුත් කාන්තාවක් . දරුවන් වෙනුවෙන් මෙහෙකාරියක් විදිහට වුවත් ජීවිතය කැපකරන්න මවක් ලෙස ඇය සූදානම් . මේ චරිතයේ දරුවන් වෙනුවෙන් ඉතා සංවේදී වෙන අවස්ථා තිබෙනවා . දරුවන්ට අම්මලා කොතරම් ආදරෙයි ද කියනවා නම් ‘මාලා’ චරිතයෙන් ඒක තේරුම් ගන්න පුළුවන් .
කොහොමද ‘මාලා’ට ආරාධනා ලැබුණේ ?
අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද මහතා හරහා ඔහුගේ නිෂ්පාදන කළමනාකරු නන්දලාල් අයියා තමයි චරිතයට මට ආරාධනා කළේ.
මේ චරිතය භාරගන්න විශේෂ හේතුවක් තිබෙන්න ඇති ?
ඔව්, හර්ෂ උඩකන්ද ඇතුළු ටීම් එක බොහෝ කලක ඉඳන් හඳුනන නිසාත් , සුහදශීලී පිරිසක් නිසාත් ‘මාලා’ චරිතය භාරගත්තා. නොහඳුනන පිරිසක් එක්ක වැඩකරන්න මම ටිකක් බයයි.
අශිකාත් සැබෑ දිවියේ ආදරණීය මවක් ?
ඔව්, මාත් දරුවන් තිදෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. මාත් මාලා වගේ නිතරම දරුවන් ගැන සිතනවා. මාත් මවක් නිසා සැබෑ ලෙස දරුවන්ට ආදරය කරන ආකාරයටම චරිතය තුළත් ජීවත්වෙන්න පුළුවන් වුණා.
‘මං ආදරෙයි’ ටීම් එක ගැන කීවොත් ?
අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද මහතාගේ හොඳ ටීම් එකක් ඉන්නවා. ටීම් වර්ක් වචනයට නියම අර්ථය ඔවුන්. ඔහුගේ බිරිඳ ශලනි ප්‍රනාන්දු නංගිවත් අනිවාර්යයෙන් මතක් කරනවා. ඇයට අනෙක් අයගේ සිත් ඇදබැඳ තබාගැනීමේ හොඳ හැකියාවක් තිබෙනවා . හැමෝම සමඟ ඉතා සමීප ආදරණීය චරිතයක් . අපිව ආදරයෙන් බලාගන්නවා. ඒවගේම කාර්මික ශිල්පීන් පවා හරිම සුහදශීලියි. මේ ටීම් එකේ එකමුතුකම ඉහළින්ම තිබෙනවා .
අධ්‍යක්ෂ හර්ෂ එක්ක මීට කලින් වැඩකර තියෙනවා නේද…?
ඔව්, ඔහු තමයි මාව මුලින්ම චිත්‍රපටයකට ගත්තේ. ඒ ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපටයට . ඔහු එක්ක සතුටින් වැඩකරන්න පුළුවන් . ඔහුගේ HU ප්‍රඩක්ෂන් එකෙන් කළ ‘ප්‍රාර්ථනා’ ටෙලිනාට්‍යයේත් මම රඟපෑවා . හර්ෂ උඩකන්ද ඇතුළු පිරිස එක්ක මම සතුටින් වැඩකරනවා.
මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයක අශිකාව දකිනවා ?
‘පාට කුරුල්ලෝ’ ටෙලිනාට්‍යයේ විශේෂ රංගනයක යෙදෙන්න මට පුළුවන් වුණා. ‘හිරිපොද වැස්ස’ ටෙලියේ ‘අරලියා’ නමැති ආදරණීය මවකගේ චරිතයක් කරනවා. මල් විකුණමින් ඉඳලා දරුවන්ට උගන්වලා හොඳ තත්ත්වයකට පැමිණි සංකීර්ණ චරිතයකුයි එහි මම නිරූපණය කරන්නේ. ඒවගේම ‘සුදු අඟුරු’ ටෙලිනාට්‍යයත් නැවත විකාශය ළඟදී ආරම්භ වුණා
මිනෝලි ජයනාථ හරිම සැරයි නේද ?
අම්මෝ ඔව්, ‘හිත ළඟ හිනැහුණා’ ටෙලිනාට්‍යයේ මිනෝලි ජයනාථ කියන්නේ සැරපරුෂ, ගාම්භීර කාන්තාවක්. ඒ ටෙලියේ විකාශය අවසන් වුණා. මිනෝලි ගැන ප්‍රේක්ෂකයා බොහෝ කතාබහ වුණා…ඒක මගේ රංගන දිවියේ සුවිශේෂී චරිතයක් .
රඟපාන්න ආසවෙන් ඉන්න චරිතයක් තියේ ද ?
කොයි චරිතය ලැබුණත් ආසාවෙන් රඟපානවා. හිරු ටෙලි ෆිල්ම්ස්වල මම නිතරම රඟපානවා. මොකද එහි මට විවිධාකාර චරිත ලැබෙනවා . අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක් එහි ඉන්නවා. විවිධාකාර චරිතවලට මම කැමැතියි .
රිදී තිරයේත් චරිත රැසකින්ම ඔබව දැක්කා ?
හර්ෂ උඩකන්ද මහතාගේ ‘ෆේස් ටු ෆේස්’වලින් සිනමාවට එන්නේ මීට වසර 7කට කලින්. ඉන්පසු ඔහුගේම ‘කොළඹ කොළොප්පම් Retune’ හි රඟපෑවා . සුමිත් කුමාර මහතාගේ ‘සුබා තෙරණියෝ’ හි මහා තෙරණිය වුණේ මමයි. ඒකේ බොහෝ අයට මාව හඳුනාගන්නත් බැරිවුණා, නාමාවලියේත් මගේ නම දාන්න අමතක වෙලා. ඔහුගේම ‘ඇලඩින්ගේ පුදුම පහන’ චිත්‍රපටයේ ඇලඩින්ගේ මව මමයි. ශ්‍රියාණි අමරසේන මහත්මියගේ ‘යාත්‍රා’ චිත්‍රපටයේ රඟපෑවත් තවම එය තිරගත වුණේ නැහැ . හර්ෂණ වික්‍රමසිංහ අයියගේ ‘හොරා අන්කල්’ හි රඟපෑවේ ක්‍රීඩා ගුරුවරියක් ලෙසයි. අවසානයට රඟපෑවේ සංජය ලීලාරත්න අයියගේ ‘ අහස සිඹින ආදරේ’ චිත්‍රපටයේ.
රඟපාන්න ආසාවෙන් සිටින චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඉන්නව ද ?
විශේෂයෙන් කියලා එහෙම අධ්‍යක්ෂවරයෙක් නැහැ . අධ්‍යක්ෂවරුන් විෂයය ගැන හොඳින් හදාරා ඉගෙනගෙන තමයි ඒ කාර්යයට යොමුවෙන්නේ. නව හෝ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ මට ලැබෙන චරිතය හොඳනම් ඒ චිත්‍රපටයට දායකවෙනවා . ලැබෙන චරිතය උපරිමයෙන් කරන්නයි මම උත්සාහ කරන්නේ
රූප රචනාවලටත් පෙනී සිටියා නේද ?
රඟපෑමට ආ මුල් කාලයේ තමයි ඒවට හිටියේ. රූප රචනා 20කට වැඩි ප්‍රමාණයක රඟපා තියෙනවා . ‘මන්දිර සඳළුතල’ රූප රචනයෙන් මම බොහෝ ජනප්‍රිය වුණා. මේ ළඟදී සනා නංගිගේ ‘ ආලවන්තකම’ රූප රචනයේ පෙනී සිටියා .
ඉදිරි නිර්මාණ මතක් කළොත් ?
මේ වෙද්දි වෙනස්ම ටෙලිනාට්‍ය 4කට දායක වී තිබෙනවා . ඒවා ඉදිරියේදී විකාශය වේවි. පසුගිය දිනවල මගේ නංගිගේ අසනීප තත්ත්වයක් නිසා නිර්මාණවලට සහභාගි වෙන්න බැරිවුණා.
පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ලැබෙන සහාය මොනවගේ ද ?
මගේ පවුලේ අම්මා, සැමියා, දරුවන් තිදෙනා, නංගිලා දෙන්නා මගේ කලා කටයුතුවලට උපරිම සහයෝගය දෙනවා. මගේ දුව තමයි මගේ සමාජ මාධ්‍ය ගැන බලන්නේ. ඇය කුඩා දැරියක් වුණත් එයා දන්න දේ මට කියා දෙනවා. මට ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් ලැබුණම ඒකේ චරිතයට අදාළ චිත්‍රපට මගේ ස්වාමිපුරුෂයා මට සොයා දෙනවා. ඒ චරිතවලට මාව උනන්දු කරවනවා . පවුලේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා .