මම තාම රංගනයට ඔළුව හදාගෙන නැහැ -නිලූෂි අබේකෝන්

gossiplanka image 2
 


නිලූෂි අබේකෝන් කියන්නේ කාලයක් තිස්සේ මෝස්‌තර නිරූපණයෙන් සහ නිවේදනයෙන් කා අතරත් ජනප්‍රිය චරිතයක්. නිලූෂි ගැන වැඩියෙන්ම කතා බහක් ඇති වුණේ 2025 විවාහක රූ රැජින තරගයට සහභාගි වීමත් එක්ක. එහිදී ඇය මිස් ටැලන්ට් සහ මිස් ඩාන්ස් කියන මිනි කිරුළු දරන්නත් වාසනාවන්ත වුණා. මේ කෙටි කතාබහ ඇය සමඟයි.


කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබුණු තැනින්ම අපි කතාව පටන්ගමුද?


මවුපියන්ගේ ආභාසයෙන් මම කලාවට යොමු වෙන්නේ අවුරුදු පහේදි වගේ. ඒ චන්න විජේවර්ධන සර් යටතේ නර්තනය හදාරමින්. උඩරට නර්තනය ඉගෙන ගන්න ගමන් මම පද්මිණි දහනායක මිස් යටතේ භරත නර්තනයත් හැදෑරුවා. ඒත් එක්කම කෙවින් නුගාරා සර් ගාව ලතින් අමෙරිකන් ඩාන්ස් (සල්සා) ඉගෙන ගත්තා. උසස් පෙළට මම කළේ කලා විෂයන්. අවුරුදු 19 ඉඳන්ම මොස්තර නිරූපණ කටයුතුවල නියැළුණා. ඉම්පැක් මොඩ්ල් ආයතනයෙන් මම මොඩ්ලින් හැදෑරුවා. එක්සත් රාජධානයේ ඉඳන් ආව ට්‍රේනර්ස්ලා හිටියේ. එහි ඩිසයිනර් අසාද් මවුලානා මේ වෙලාවේ මතක් කරන්නම ඕන. ජැකී මේන් තමයි choreography කළේ. ඊට පස්සෙ මං MTV එකට සම්බන්ධ වුණා.


MTV එකෙන් පස්සේ දෙරණ tv එකට සම්බන්ධ වෙනවා. රැකියාව කරන අතරේ තමයි කලාවට සම්බන්ධ වුණේ. මේ වෙද්දී මං ගණන් කර ගන්නත් බැරි තරම් ප්‍රමාණයක් වෙළඳ දැන්වීම් කරල තියෙනවා. ශිහාන් මිහිරංගගේ සුළඟක් වෙලා ගීතයේ විෂුවල් එකටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක ගොඩක් වයිරල් වුණා. විවාහ වීමත් එක්ක තමයි කලාවෙන් පොඩ්ඩක් ඈත් වුණේ. 2022 දී චැනල් c එකේ නිවේදිකාවක් විදිහට නැවතත් කලාවට සම්බන්ධ වෙනවා.


2025 විවාහක රූ රැජින තරගයට ඔබත් හිටියා. ඒ අත්දැකීම කොහොමද ?


මම ඒ තරගයට යන්නේ චන්දිමාල් ජයසිංහගේ ආරාධනාවකට. මම පසුගිය වසර දෙකම විවාහක රූ රැජින තරගයේ නිවේදන කටයුතු කළ කෙනෙක්. අවුරුදු දෙකක් තිස්සේ එයා මාව දැක්කා. මෙතනින් මගේ ගමන තවත් ආලෝකවත් වේවි කියල හිතලා තමයි ඔහු මට ආරාධනා කළේ. විවාහක රූ රැජින තරගයට සහභාගි වෙන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මම මිස් ශ්‍රී ලංකා තරගයටත් සහභාගි වුණා. ඒ දවස්වල කාලය කැප කරන්න අපහසුවක් නැහැ. නමුත් මිසිස් ශ්‍රී ලංකා වෙද්දී එහෙම බැහැ. ගෙදර සහ දරුවන්ගේ වගකීම් එක්ක ඒක ලෙහෙසි නැහැ. ඒ නිසා එතනට එන හැමෝම මම හිතන්නේ රැජිනියෝ. ඒ නිසයි මිසිස් කියන එක විශේෂ වෙන්නේ.


මිනි ටයිටල් දෙකක්ම දිනා ගත්තා නේද?


ඔව්. මිස් ටැලන්ට් සහ මිස් ඩාන්ස් කියන මිනි ටයිටල් දෙකම දිනුවා. ඒකට මට උදවු කළේ ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහ. ඒ ඇක්ට් එකේ මා එක්ක නැටුවේත් ඔහුගේ ඩාන්සින් ටීම් එක.


රංගනයට කැමැත්තක් නැද්ද?


රංගනයට යොමු වෙනවා නම් 2005දී 2006දී වගේ කාලෙදි මට අවස්ථා ලැබුණා. මට ඒකට එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා මම තාම රංගනයට ඔළුව හදාගෙන නැහැ. තාම හිතිලා නම් නැහැ. හිතුණොත් කරන්නත් ඉඩ තියෙනවා. මොකද මිසිස් ශ්‍රී ලංකා එකටත් යන්නේ නැහැ කියලා ඉඳලා තමයි ගියේ. නමුත් මම නිවේදිකාවක් විදිහට මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න සූදානම්.


ඉදිරි කටයුතු ගැනත් කතා කරමු?


නිවේදනය පැත්තෙන් ඉදිරියට කටයුතු කරගෙන යනවා. මං නිදහස් මාධ්‍යවේදිනියක් නිසා මගේ කැමැත්තට අනුව වැඩසටහන් තෝරා බේරාගෙන කරන්න පුළුවන් වටපිටාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ එක්කම ගෙදර කටයුතු පුතාගේ කටයුතුත් කරගෙන ඉන්නවා.


කටකතා ගැන මොකද හිතෙන්නේ?


කටකතා කියන දේවල්වලින් මගේ ඕරා එකවත්, මගේ ඉමේජ් එකටවත් හානියක් කර ගන්න කෙනෙක් නෙවෙයි මම. කෙනෙක් මා ගැන එහෙම කියනවා නම් ඒ එයාගෙ හැටි තමයි පෙන්වන්නේ. නොදන්නා කෙනෙක් මාව විවේචනය කරනවා නම් ඒ දේ මට ආදාළම නැහැ. ඒ නිසා මම ඒ ගැන දුක් වෙන්නෙ නැහැ. එහෙම දුක් වෙලා මගේ මානසික සුවය නැති කර ගන්නේ මොකටද? මම සාමාන්‍යයෙන් බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්.


ජීවිතේ ගැන හිතල බලද්දි මොකද හිතෙන්නේ?


මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පිනකට. ඒ නිසා ජීවිතේට අනවශ්‍ය දේවල් පුරෝ ගත්තම කාලය නිකම් වැය වෙනවා විතරයි. ඒ නිසා අපි කළ යුත්තේ හොඳම දේවල් ළං කර ගන්න එක විතරයි. මම මගේ ජීවිතේට මාර ආදරේ කෙනෙක්. මට ලැබිලා තියෙන දේවල් එක්ක මම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. එක එක කාලෙට එක එක පරිච්ඡේද තියෙනවා. මම බෞද්ධ කෙනෙක්. මම තේරුම් ගත්ත දේ තමයි අපිට කාවවත් හදන්න බැහැ. ඒක තමයි ස්වභාවය. අපි අපේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරලා ලස්සනට පිටව යන්න තියෙන්නේ.


පුතා ගැනත් කියමු ද?


මගේ පුතාට අවුරුදු 10යි. එයාගේ නම සහෙන් දෙව්රම්. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා. මට ඉන්නේ මාව හොඳින් තේරුම් ගත්ත හොඳම පුතෙක්. ඒක විවාහක රූ රැජින තරගයට ආව අයත් තේරුම් ගත්ත දෙයක්. ඒ වගේ පුතෙක් ලබන්න මම හරි වාසනාවන්තයි.


අනාගත බලාපොරොත්තු මොනවාද?


අපි ඉන්නේ ඩිජිටලයිස් වුණු ලෝකයක නිසා මගේ ජිවිතේ දියුණුවට දේවල් කරන ගමන් මගේ පුතාව හොඳ පුරවැසියෙක් කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

gossiplanka image 1
Previous Post Next Post