මායි ජගතුයි ඇත්තටම ගහගත්තා – නලින් ලුසේනා

gossiplanka image 1
 



චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ජෙනරාල් දයා රත්නායක නිෂ්පාදනය කළ ‘ආයු’ සිනමා නිර්මාණය හරහා අපට නලීන් ලුසේනාගේ රංගන හැකියාවක් යළිත් වරක් රිදී තිරය මත දැකගන්න ලැබෙනවා. ඉතිං අපි අදහස් කළා, මෙවර මීවිතෙන් නලීන් ලුසේනාට ඉඩක් වෙන්කරන්න.


ආයු සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබ දකින්නේ කොහොමද?


ඇත්තටම මම රංගන ශිල්පියකුට වඩා ප්‍රේක්ෂකයෙක් විදිහට ‘ආයු’ දකින්න හරි කැමැතියි. මොකද සිනමා රසිකයෙක් විදිහට ආයු බලද්දි මට දැනිච්ච එක තමයි අපේ රටේ චිත්‍රපට බලද්දි කවදාවත් නොදැනුණු විදිහේ හැඟීමක් විඳින්න පුළුවන් සිනමා නිර්මාණයක්. මම දැක්ක සිනමාත්මක සත්කාරය සිනමා කෘතියක් ඇතුළේ තියෙද්දි ඒක ටිකක් ප්‍රේක්ෂකයාට දුරවෙන අවස්ථා සමහර අපේ චිත්‍රපට ඇතුළේ දැකලා තියෙනවා. එක්කෝ සම්භාව්‍යයි කිව්වහම ඒක තේරෙන්නේ පිරිසකට විතරයි කියන අදහස හැදිලා තියෙනවා. තව සිනමාවේ බෙදීමක් තියෙනවානේ සම්භාව්‍යය, කලා, වාණිජ කියලා. මම හිතන්නේ ඒ රේඛාව කුඩුපට්ටම් කරපු චිත්‍රපටක් තමයි ආයු කියන්නේ. ප්‍රේක්ෂකයෙක් විදිහට මම ආයු බලද්දි වාණිජ හෝ සම්භාව්‍ය සිනමා කියන එකක්වත් නෙමෙයි. අනික මේක බලන්න ලොකු මහා බරසාර දැනුමක් ඕනෑ නෑ. ආයු මගින් දිගහැරෙන්නේ සාමාන්‍යයෙන් අපිට මුණගැසෙන මිනිස්සුන්ගේ කතාන්දරයක්. ආයු කියන්නේ හරිම පරිපූර්ණ සිනමා කෘතියක්.



ඔබේ අතට මෙහි පිටපත හමුවුණාම මොකද හිතුණේ?


මට අදහස තියෙන්නේ මේ චිත්‍රපටයට මාව යෝජනා කරලා තියෙන්නේ ජගත් අයියා. අනික චත්‍ර ගොඩක් කැමැත්තෙන් ඉඳලා තිබෙනවා මාත් එක්ක වැඩ කරන්න. පිටපත කියවද්දී දැනිච්ච දෙයක් තමයි නළුවෙක් විදිහට මෙහි කතන්දරය හරිම සරලයි. හැබැයි චිත්‍රපටය බලද්දි එහි රඟපෑ නළුවොත් සර්ප්‍රයිස් වෙන මට්ටමට තියෙන වැඩක්. මේ චිත්‍රපටයේ ද රඟපෑවේ කියලා මට හිතෙන තරමට විශාලයි.


පිටපත් රචකයෙක් විදිහට ඔබ මේ පිටපතට පොඩි කෑදරකමක් දැක්වූවාද?


පිටපත වගේම චත්‍ර කියන අධ්‍යක්ෂවරයා ගැන මට තිබුණේ ධනාත්මක හැඟීමක්. චත්‍ර, ආලෝක උදපාදි කරලා සිංහල සිමනාවේ විශාල සලකුණක් සනිටුහන් කළා. ඒකත් එක්ක චත්‍රගේ දෙවැනි වැඩේට මට රඟපාන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම සතුටුයි. පිටපත හොඳ ද නරක ද කියනවාට වඩා අනෙක් රංගන ශිල්පීන් සහ ඒකත් එක්ක විශ්වාස කරන අයත් එක්ක ඒක ඇතුළේ ඉන්නේ බොහොම කැමැත්තෙන්.


මෙහි ඔබ සහ ජගත් මනුවර්ණගේ එකිනෙකා පරයා නොයන රංගනය වගේම බීච් බෝයිලා දෙදෙනාගේ ගැටුම හරි අපූරු දර්ශනයක්. ඒ රූගත කිරීම ගැනත් කතා කළොත්?


මට මතක විදිහට රූගත කිරීමට මිරිස්සට ගියහම ඒක ඇත්තටම පුංචි නිවාඩුවකට ගියා වගෙයි. චත්‍ර හරිම නිවුණු අධ්‍යක්ෂවරයෙක්. කැමරා අධ්‍යක්ෂවරයාගේ ඉඳලා සියලුම නිෂ්පාදන කාර්ය මණ්ඩලය හරිම සරලව තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කළේ. හරිම සුවපහසු විදිහට තමයි රූගත කළේ. එතකොට අපේ කොටස හරියට කරන්න පුළුවන් වුණා. වැල්ලේ ඔය දර්ශනයට එනකම් හරිම සැපපහසුවට තමයි හිටියේ. ඇත්තටම අපි දෙන්නා සෑහෙන පොරබැදුවා.


ඒක හරි සජීවී දර්ශනයක් කියලයි ආරංචිය?


සජීවීව අවශ්‍ය නිසා අපි ඒක සජීවීව සිදු කළා. මගේ මතකේ හැටියට මායි ජගතුයි විනාඩි විස්සකට වැඩිය එක දිගට ගහගත්තා. පළමුවෙන්ම අපි මූමන්ට් එකක් හදාගත්තා. එතැනින් පස්සේ අපි එකදිගට ගහගත්තා. අධ්‍යක්ෂවරයා ගොඩක් මහන්සි කරන්නේ නැතිව ඒක සිදු කළා. ඒ රංගනයේ මටයි ජගත් අයියටයි අමතරව තවත් නළුවෝ පිරිසක් හිටියා. ප්‍රසන්න දැකුම්පිටිය, අකලංක ප්‍රභාෂ්වර, උදාර එහෙමත් හිටියා. ඔය කණ්ඩායම හරිම ලොකු සහයෝගයක් ලබාදුන්නා. හැබැයි එකම දර්ශනයක් ඇතුළේ කාටවත්ම තුවාලයක්වත් වුණේ නැහැ. බොහොම සීරුවට මාරුවට අපි ඒක කරගත්තා.


ආයුහි ජගත් මනුවර්ණගේ රංග කාර්යය ඔබ කොහොමද දකින්නේ?


මම හිතන්නේ ජගත් අයියාගේ රංගනය ඉතාමත්ම විශ්වසනීය රංගනයක්. ජගත් මනුවර්ණ අතිදක්ෂ රංගන ශිල්පියෙක් කියන එක මේ චිත්‍රපටයට කලිනුත් ඔහු ඔප්පු කරලා තිබෙනවා. මේ චිත්‍රපටයේ ඒ චරිතයට අවශ්‍ය වර්ණය, හැඩය ජගත් අයියා ගෙනත් තියෙනවා ඉතාමත්ම සීරුවට. විශේෂයෙන් මම ආසම දර්ශනයක් තමයි ඔහුගේ පළමු රංගනය. සැන්ඩ්‍රා සමග අවන්හලේ හමුවෙන රංගනය ඇතුළේ සචින් කියන චරිතය නිර්මාණය කරලා ඔහු ඉවර කරනවා. ඒ චරිතයේ තිබෙන සියුම් දේවල් පළමුවැනි දර්ශනයෙන්ම මවලා ඉවර කරනවා. මම හිතන්නේ එතැනින් පස්සේ ජගත් මනුවර්ණ කියලා කෙනෙක්ව දකින්නේ නැහැ. පළමු දර්ශනයෙන්ම සචින්ව හදලා ඉවරයි. එතැන ඉඳලා ඒ ගමන හරි ලස්සනට අපිව ගෙනියනවා. මේ චරිතය ජගත් අයියාට කරන්න අපහසු චරිතයක් නෙමෙයි. ඔහු ඒක කොච්චර පහසුවෙන් අතමිටට ගත්තාද කියන එක පළමු දර්ශනයෙන්ම හදලා ඉවරයි. ප්‍රේක්ෂකයාව ඒ ගමනාන්තය දක්වා එක්කගෙන යනවා ඉතාමත් ලස්සනට. ඒක වෘත්තීයමය නළුවෙක්ගේ ලොකු දක්ෂතාවයක් තමයි ජගත් මනුවර්ණ පෙන්වන්නේ. ඒ වගේම තමයි සැන්ඩ්‍රා. ඇයගේ පළමු සිනමා නිර්මාණය. සැන්ඩ්‍රා කොයිම වෙලාවකවත් ලයින් එක පනින්නේ නැහැ. ඒක හරිම අමාරුයි. ඒත් එක්කම අශාන්ගේ රංගනයෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම පිටපත කියවද්දි මම එහෙම චිත්‍රපටයක් දැක්කේ නැහැ. මම දැක්ක චිත්‍රපටයට වඩා චිත්‍රපටයක් පෙන්නුවා. චත්‍ර පිටපත තුළින් නොදැක්ක චිත්‍රපටයක් මම දැක්කා. ඇත්තටම ආයු කියන්නේ චත්‍රගේ මැජික් එකක්. පිටපතේ තිබුණු දෙය මවපු මැජික් කාරයෙක් විදිහටයි මට දැනෙන්නේ.


මොනවද ඔබේ කලා වැඩකටයුතු?


විශේෂයෙන් රාණි චිත්‍රපටයට පස්සේ තමයි මම ආයු චිත්‍රපටයට දායක වුණේ. ඊළඟට මේ වසරේ මම ධර්ම යුද්ධය 2 චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව මම රචකයෙක් විදිහට මේ මොහොතේ පුහුණුවීම් කරගෙන යනවා වගේම වැඩකටයුතු කරගෙන යනවා. මම අලුතෙන් පටන් ගත්ත ටෙලි නාට්‍යයක රචකයෙක් විදිහටත් රංගන ශිල්පියෙක් විදිහටත් වැඩ කරමින් ඉන්නවා. ඒකේ රූගත කිරීම් ලබන මාසයේ විතර ආරම්භ කරනවා. ඒකෙන් අපිටත් ප්‍රේක්ෂකයන්ටත් හොඳ අත්දැකීමක් ලබාදෙන්න පුළුවන් විදිහට මේ දිනවල වැඩ කරමින් යනවා.


දිනේෂ් විතාන

gossiplanka image 2
Previous Post Next Post