ප්‍රවී සැල්වටෝ යන නම ඔබට ආගන්තුකය. මේ දිනවල බොහෝ දෙනා සොයන රොකී -2 ටෙලි නිර්මාණයේ අලුත් ඕ.අයි.සී. ආකාශ්ට පණ පොවන්නේ ඔහුය. හිරිපොද වැස්ස ටෙලි නිර්මාණයේ පේශල ලෙසින් ඔබ හමුවට එන්නේ ද ඔහුය. එකිනෙකට වෙනස් භූමිකා ද්විත්වයකින් ඔබ හමුවට එන ඔහු අද අප හා කතාබහට එක්වීය.
ඔබ මේ දිනවල ටෙලි නිර්මාණ දෙකකට රංගනයෙන් දායක වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මට ගොඩක් සතුටුයි. මං ආසම කරන ටෙලි නිර්මාණ දෙකක්. දෙකෙන්ම මට හොඳ චරිත දෙකක් ලැබුණා. මේ චරිත දෙකම මං හරිම ආසාවෙන් කරනවා. මේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි.
හිරිපොද වැස්ස පේශල කියන්නේ අහිංසක ආදරවන්තයෙක් නේද?
හිරිපොද වැස්ස පේශල කියන්නේ ත්‍රීවීල් හයර් කරන තරුණයෙක්. ආත්මි ගෙදරින් පැනලා ඇවිල්ලා වෙනම ජීවත් වෙන ප්‍රදේශයේ ආත්මිගේ අසල් වැසියෙක්. පේශල ආත්මිට උදව් කරන්නෙ අවංක චේතනාවෙන්. පේශලගේ හිතේ ආත්මි ගැන අවංක ආදරයක් තියෙනවා. එත් අත්මිගේ හිතේ ඒකට ඉඩක් නෑ. ඔව් පේශල කියන්නෙ තනිවම ආදරය කරන අහිංසක තරුණයෙක්.
රොකී 2 ටෙලි නිර්මාණයේ ආකාශ් කියන්නෙ?
ආකාශ් කියන්නෙ අලුතින් ආපු ඕ අයි සී. හරිම ආවේගශීලි කෙනෙක්. අණක් ගුණක් නැති චරිතයක් කිව්වත් හරි. ආකාශ් හදන්නෙ නීතිය පැත්තකින් තියලා එයාගෙම විදිහට වැඩ කරන්න. වටේ පිටේ ඉන්න කිසිම කෙනෙක් ගැන ඔහුට විශ්වාසයක් නැහැ. ආකාශ්ට ඕනෙ මොනවා කරල හරි මේ කුඩු ප්‍රශ්නෙ විසඳන්න. එකම දිනවල විකාශය වන නිර්මාණ දෙකේ වුණත් පැතිකඩ දෙකක් නිරූපණය කරන්න ලැබීම ගැන සතුටුයි.
ප්‍රවී කියන්නේ ක්ෂේත්‍රයට නවකයෙක්. ඔබේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කරනවානම්?
ඔව්. මම මුලින්ම නිරූපණ ශිල්පියෙක් විදිහට තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. 2023 වසරේ පැවැති මිස්ටර් ශ්‍රී ලංකා මිස්ටර් වර්ල්ඩ් වයිඩ් තරගයෙන් මිනි ටයිටල් 5ක් හිමිකර ගන්න හැකියාව ලැබුණා. ඒත් එක්කම තමයි මම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ වෙළෙඳ දැන්වීම් හා මියුසික් වීඩියෝ හරහා. මං රංගනයෙන් දායක වුණු ‘මල් කුමරිය’ මියුසික් වීඩියෝ එක මිලියන 30කට වැඩි පිරිසක් නරඹලා තිබුණා. ඒක තමයි ජනප්‍රියම වුණු ගීතය. ඊට අමතරව මම නර්තන කටයුතුවලත් නියැළෙනවා.
රංගනය ගැන හැදෑරීමක් කරල තියේද?
ඇත්තටම නැහැ. ඒක මගේ අඩුපාඩුවක් විදිහටයි මං දකින්නේ. එක පාරටම තමයි මට මේ අවස්ථා දෙකම ලැබෙන්නේ. ඒ නිසා මට රංගනය ගැන හැදෑරීමක් කරල එන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. හිරිපොද වැස්සෙ අධ්‍යක්ෂ ප්‍රභාත් රෝෂන් අයියා මට ගොඩක් දේවල් කියලා දෙන ගමන් තමයි රූගතකිරීම් වෙන්නෙ. රොකී – 2 අධ්‍යක්ෂ සමීර අයියත් මට ගොඩක් ලොකු සපෝට් එකක් දෙනවා. මේ වෙද්දි මං රංගනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් එක්කම රංගනයේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.
රොකී – 2 ඕ. අයි.සී. ආකාශ් යුනිෆෝම් එකෙන් දකින්න නැත්තෙ ඇයි?
ආකාශ් තවම වැඩ කරන්නේ තමන්ගෙම ක්‍රමේකට. ඒ නිසා ඔහු තවම ඉන්නෙ සිවිල් ඇඳුමින්. ඉදිරියේදී යුනිෆෝම් අඳින්න වේවි.
නවක රංගන ශිල්පියෙක් විදිහට අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
මට වැඩ කරන්න ලැබුණු ගොඩක් රංගන ශිල්පීන් මට මාර විදිහට උදව් කරනවා. විශේෂයෙන්ම දෙබස් කියන විදිහ. ඔයා මේක මෙහෙම කියන්න මේ විදිහට කරන්න කියල කිය කියා මියෝනා මට ගොඩක් උදවු කරනවා. ඒක මට ලොකු උදව්වක්. මාත් එක්ක වැඩ කරන හැමදෙනාටම මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ප්‍රවී තාම ක්ෂේත්‍රයට නවකයෙක්නේ. පෞද්ගලික තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයින් කැමැති ඇති?
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මායි, නංගියි, ආච්චියි. මගේ ගම කොටිකාවත්ත.
තරුණයෙක් විදිහට ඔබටත් ආදරය ගැන අත්දැකීම් ඇති. ඒ ගැනත් කතා කරමු?
මාත් ආදරය කරල තියනවා. ඒත් මට හිතෙනවා ආදරේ කියන මාතෘකාවෙදි මං ෆේල් කියලා. ඒ නිසා මං ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.