අවුරුදු එකොළහක් වරායේ රස්සාව කළා – නිමල් ජයසිංහ

gossiplanka image 2
 

මේ දිනවල රට පුරා සිනමාහල් හවුස් ෆුල් කරන අලුත්ම චිත්‍රපටය තමයි මෝඩ තරිඳු. මෝඩ තරිඳුගේ තාත්තා උපාලි වගේම අම්මා ගැනත් මේ දවස්වල කට්ටිය හරි හරියට කතාබහ වෙනවා. කවුද මේ තරිඳුගේ අම්මයි තාත්තයි. ඔන්න ඉතිං මෙදාපාර මීවිතේ මැද පිටුවෙන් අපි ඔයාලට ඒ දෙන්න කවුද? ඒ දෙන්න කොහොමද මෝඩ තරිඳු එක්ක මේ වැඩේ කළේ කියලා කියන්නයි හදන්නේ. එහෙනම් මෝඩ තරිඳු බලන්න කලින් හරි බැලුවාට පස්සේ හරි මෝඩ තරිඳුගේ අම්මා තාත්තගෙයි විස්තරේ කියවලා බලන්නකෝ. මෝඩ තරිඳුගේ තාත්තා තමයි නිමල් ජයසිංහ. අම්මා නිල්මිණී කෝට්ටේගොඩ. මුලින්ම කතා කළේ තාත්තා වුණ නිමල් ජයසිංහ. ඊට පස්සේ තමයි අම්මා වුණ නිල්මිණී කෝට්ටෙගොඩ කතා කළේ.



මෝඩ තරිඳුගේ තාත්තාට (උපාලි) ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?


අතිවිශාල ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. චිත්‍රපටය ඉතාමත්ම ජනප්‍රිය විදිහට තිරගත වෙනවා. සිනමාහල් දිගටම හවුස් ෆුල්. මේ වෙනකොට දෙවැනි පාර, තුන්වැනි පාර නරඹපු අයත් මට කතා කරනවා.


පිටපත කියවනකොට මොකද හිතුණේ?


ඉතාමත්ම සාර්ථක පිටපතක් කියලා මුලදීම හිතුණා. ඒත් එක්කම නිර්මාණය එළිදක්වපු පළමුවැනි දවසේම අපිට අදහාගන්න බැරිවුණ ඇත්තටම පිටපත සහ අපි කරපු දේවල් එක්ක එළියට ආවේ ඉතාමත්ම ඉදිරියට ආපු නිර්මාණයක්.



මේ චරිතය දෙන්න මුලින්ම කතා කරලා තියෙන්නේ අපේ ප්‍රවීණ රංගධර නිමල් ජයසිංහ අයියාට නේද?


ඔව්. ඔව්. මුලින්ම කතා කරලා තියෙන්නේ මට නෙමෙයි. ඔය ප්‍රශ්නය අපි දෙන්නට නිතර ඇතිවෙන දෙයක්. නිමල් අයියා කියන්නේ මට වැඩිය ජ්‍යෙෂ්ඨයෙක්. අපි දෙන්නම හඬකැවීම් ශිල්පියෝ. දෙන්නම ටවර්හෝල් එකේ නූර්ති ශිල්පියෝ. ඔය වගේ ප්‍රශ්න ආපු ගමන් මුලින්ම අපි හඳුනාගන්නවා. මට සමහර වෙලාවට කතා කරනකොට වැඩේ තේරෙනවා නම් මම අහනවා ‘මල්ලි ඔයා කතා කරන්නේ මටද? නිමල් ජයසිංහ කියලා තව ජ්‍යෙෂ්ඨයෙක් ඉන්නවා. අනේ අයියේ සොරි, මම එයාගේ දුරකථන අංකය දෙනවා’. ඒ වගේ සිද්ධියක් තමයි මේ වෙලාවෙත් වුණේ.


කවුද මුලින්ම විස්තරේ කිව්වේ?


පිටපත් රචක තිසර මංගල තමයි කිව්වේ. නිමල් අයියාට පිටපත දීලා එයා පිටපත බලාගෙන යනකොට එයාට තේරිලා තියෙනවා එයාට මේ චරිතය ගැළපෙන්නේ නැහැ කියලා. අන්තිමේ විස්තර අහලා තියෙනවා. ඒ වෙලාවේ නිමල් අයියා කියලා තියෙනවා ඔයාල හොයන්නේ මාව නෙමෙයි මම වගේම නිමල් ජයසිංහ කියලා තව කෙනෙක් ඉන්නවා. බොහෝ වෙලාවට ඔයා හොයන්නේ එයාව වෙන්න ඇති කියලා මගේ නම්බරේ දීලා තියෙනවා.


ඊට පස්සේ මොකද වුණේ ?


මංගල බණ්ඩාරලා මුල ඉඳලා මාව තමයි හොයලා තියෙන්නේ. මුලින්ම තිසරලා කතා කරලා කිව්වේ නිමල් අයියේ අපි මේ චිත්‍රපටයකට කතා කරන්නේ, මට ඉස්සරවෙලා කියන්නකෝ මෙන්න මේ දින ටික තියෙනවාද? කියලා. චිත්‍රපටය පටන්ගන්න දවස් දහයකට විතර කලින් තමයි මට කතා කළේ. වෙලාවට ඒ දින ටික තිබුණා. දැන් තමයි ඇඟට ලේ ඉනුවේ කියලා.. තිසරලා කිව්වා. ඊට පස්සේ මාව හොයාගන්න ගිහිල්ලා වුණ ඇබැද්දියත් කිව්වා. ඔන්න ඔහොම තමයි මෝඩ තරිඳුව සෙට්වුණේ.



මෝඩ තරිඳු ෂූට් කරන්න පටන්ගත්තු වෙලේ ඉඳලා හරි හරි ආතල් වැඩ තමයි වෙලා තියෙන්නේ ?


අනිවාර්යයෙන්ම. ආරම්භයේ ඉඳලාම ආතල් වැඩ තමයි. අපේ ශිල්පීන් ඔක්කොම ලොකු වෙහසක් ගත්තා. තරුණ පිරිසක් එක්ක තමයි වැඩේ කළේ.


මළගෙවල්වලදී මේ වගේ අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවාද?


මෙහෙමයි. මත්පැන් පානය කරන ඒවා, බූරුගහන ඒවා අපි දැකලා තියෙනවා. නමුත් භූතයෝ එනවා නම් කවදාවත් දැකලා නැහැ. අනෙක් අත්දැකීම් නම් දැකලා තියෙනවා. ඒවා සාමාන්‍යයිනේ. මේක විශේෂයි. මොකද භූතයෝ ඒකකනේ මේ අවමංගල්‍යයේ වැඩකටයුතු සිද්ධවෙන්නේ. ඒක අලුත් අත්දැකීමක්. භූතයෝ එක්ක මළගෙදරකට ගියේ පළමු වතාවට.


මෝඩ තරිඳු මෙච්චර හිට් එකක් වෙයි කියලා ෂූටින් යනකොට හිතුවද?


නැහැ. මම පෞද්ගලිකව නම් මෙච්චර හිට් එකක් වෙයි කියලා හිතුවේ නැහැ. මෝඩ තරිඳු මංගල දර්ශනය වෙලාවේ තමයි ඒකේ ආශ්චර්ය දැක්කේ.


නිමල් ජයසිංහ මේ තාක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?


හරිම සන්තෝෂයි. මම ඇවිල්ලා බොහොම භාග්‍යවත් රංගන ශිල්පියෙක්. මම වේදිකාවට ගොඩවෙන්නේම හීනටිගල ප්‍රේමදාසගේ හතළිස් ඇඳිරිය කියන වේදිකා නාට්‍යයෙන්. ඒ විශිෂ්ට රංගන ශීල්පීන් රාශියක් එක්ක. ඊට පස්සේ මට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ, සයිමන් නවගත්තේගමයන්ගේ, ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ ජයලත් මනෝරත්නයන්, බුද්ධික දමයන්ත වැනි දැවැන්තයන්ගේ නිර්මාණ රැසකට දායක වෙන්න ලැබෙනවා. ඒකත් ලොකු භාග්‍යයක්. මගේ පළමුවැනි චිත්‍රපටය වසන්ත ඔබේසේකර මහත්මයාගේ දොරකඩ මාරාව. ටෙලිනාට්‍යවලත් ඉතාමත් ජනප්‍රිය චරිත කිහිපයක් කරන්න හම්බවුණා.


ඔබ ටිකක් නිහඬ චරිතයක් කිව්වොත්?


ඒකට ප්‍රධාන හේතුව මම ඉන්නේ ගමේ. මගේ ගම අලව්ව. කොළඹ නෙමෙයි ගැවසෙන්නේ. හැම වෙලාවේම කට්ටියක් එක්ක මුණගැසෙනවා හරි අඩුයි. නිර්මාණයකට කොළඹ එනවා නිර්මාණය ඉවරවුණ ගමන් ගමේ යනවා. කොළඹ හිටියා නම් ආරාධනා ලැබෙන සියලු අවස්ථාවලට සහභාගි වෙනවා. නමුත් මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා.


රංගන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි. මම අවුරුදු එකොළහක් වරාය අධිකාරියේ රස්සාව කළේ. කලාවට තියෙන ආදරය නිසාම තමයි වරායෙන් අස්වෙන්නේ. 1991 වසරේ ඉඳලා 2002 වසර වෙනකම් වරායේ රැකියාව කළා. 1992 වසරේ තමයි කලාවට එන්නේ. 2002 වසරේ අපිට ආව වන්දි දෙන ව්‍යාපෘතියක්. එතැනදී මම තීරණය කළා රස්සාවෙන් ඉවත්වෙලා කලාව තෝරාගන්නවා කියලා. ඒ අනුවයි මේ ගමන එන්නේ. එදා ගත්තු තීරණය ගැන අද මම සතුටුවෙනවා.

gossiplanka image 1
Previous Post Next Post