නිල්වලා විශ්වමාලි, වැඩිය දකින්න ලැබෙන චරිතයක් නෙවෙයි. මොකද ඇය අවුරුද්දකටම භාරගන්නෙ නිර්මාණ දෙකක් හෝ තුනක් විතරක් නිසා. මේ දිනවල විකාශය වන පැබ්ලෝ සහ එල්.බී.ඩබ්ලිව් යන ටෙලි නිර්මාණ දෙක නිසා නිල්වලා ගැන ප්‍රේක්‍ෂකයන් අතර කතාබහක් ඇතිවෙලා තියෙනව. ඉතිං මීවිත අපිත් ඇයගේ අලුත්ම තොරතුරු දැනගන්න මේ විදිහට පුංචි පිළිසඳරක යෙදුණා.
නිල්වලා මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක රූගතකිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නව?
ඔව්, ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පැබ්ලෝ’ සහ සුපුන් රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘එල්.බී.ඩබ්ලිව්’ යන ටෙලි නාට්‍ය දෙකට මේ දිනවල මම සම්බන්ධ වෙලා ඉන්නව. ‘එල්.බී.ඩබ්ලිව්’ ටෙලි නිර්මාණයේ මට විශේෂත්වයක් තියෙනව. මොකද එහි පිටපත ලියන්නෙ මගේ මහත්තය. ඒ වගේම මගේ අනෙක් වැඩකටයුතුත් එක්ක අවුරුද්දකට නිර්මාණ දෙකකට පමණයි මට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙන්නෙ.
පැබ්ලෝ හි වින්ද්‍යා කියන්නෙ මොන වගේ චරිතයක්ද?
පැබ්ලෝ හි පිටපත ලියන්නෙ නලීන් ලුසේනා. ඒ සඳහා මට ආරාධනය ලැබෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් ජයවීර මහත්මයාගෙන්. වින්ද්‍යා කියන්නෙ රුවන්ගෙ බිරිඳ. මට නිරූපණය කරන්න ලැබිල තියෙන්නෙ ඔහුත් සමග නිතර ගැටෙන චරිතයක්. රුවන් හරහා සිදුවෙන බොහෝ උභතෝකෝටිකයන්ට වින්ද්‍යාට මුහුණ දෙන්න සිදු වෙනව. මේ අතර එක්තරා අවස්ථාවක රුවන් මියයනව. එතැනින් එහාට සිදුවන සමාජයීය, ආර්ථිකමය සහ දේශපාලනික වපසරියන්වලදි අනෙකුත් සියලුම චරිත සමගත් ගැටෙන්නට සිදු වෙනව.
‘එල්.බී.ඩබ්ලිව්’ ගැන කතා කළොත්?
මේ ටෙලි නාට්‍යයේ රංගන කාර්යයට වඩා සම්බන්ධයක් තියෙන ඉතිහාසයක් මට තියෙනව. මොකද මම මේ කතාව දන්නෙ 2018 අවුරුද්දෙ ඉඳන්. සුපුන් රත්නායක එක්ක මීට කලින් මම වැඩ කිහිපයක් කරල තියෙනව. සුපුන් කියන්නෙ මම කැමති ගණයේ නිර්මාණ කරන අධ්‍යක්‍ෂවරයෙක් කිව්වොත් නිවැරදියි. මගේ මහත්තය ලේකඛයෙක්. ඔහු ලියන පිටපත තමයි ‘එල්.බී.ඩබ්ලිව්’ කියන්නෙ. මේ කතාවට සම්බන්ධ ඇත්තම චරිත අදටත් අපි අතර ඉන්නව.
මෙහි චරිත ගැළපීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?
ඇත්තටම මේ නිර්මාණයේ චරිත ගැළපීමේදී ආටිස්ට්ල පුදුම විදිහට මැච් කළා. පුංචි චරිතයකට පවා ප්‍රවීණ නළු නිළියන් සම්බන්ධකරගෙන තියෙනව. කතාවේ බරපතළකමට වගේම ජනප්‍රියත්වයටත් ඒක ප්‍රබල හේතුවක් වෙලා තියෙනව.
පිටපත ගැන කතා කළොත්?
මේ කැළුම් වැලිගමගෙ පළමු පිටපත. කලින් පිටපත් කිහිපයක් කළත් ඒවා සාර්ථක වුණේ නැහැ. මේ ක්‍ෂේත්‍රයට මම ආවේ කැළුම්ට කලින්. අදහසක් විදිහට මගෙන් සුදුසු අධ්‍යක්‍ෂවරයෙක් ගැන ඇහුවම මට යෝජනා කරන්න තිබුණෙ නම් දෙකයි. එකක් ලක්මාල් ධර්මරත්න අනෙක සුපුන් රත්නායක. ඉතිං අපේ හිතවත්කම් එක්ක වගේම සුපුනුත් පිටපතක් සොයමින් හිටපු නිසා ඔහු මේ සඳහා සම්බන්ධ වුණා. මෙහි අන්තර්ගතය ගැන කතා කළොත් ප්‍රේක්‍ෂකයා මෙතෙක් නොදැකපු කතාවක් කියන්න පුළුවන්. ඒක දැන් ටික ටික එලියට එනගමන් ඉන්නෙ.
ඔබ වැඩිපුර දකින්න නැත්තෙ ඇයි?
මම රංගනයට මුලින්ම ආපු කාලෙ නිර්මාණ රැසකට දායක වෙන්න ලැබුණා. මේ අතර මම රංගනය පිළිබඳ හදාරන්න පටන්ගත්ත. එහෙම හදාරමින් ඉදිරියට යද්දි රඟපාන එක සීමා වුණා. ඇත්තම කතාව ඒක.
ඔබේ රැකියාව රංගනය නෙමෙයි?
ඔව්, මම මුල්‍ය ආයතනයක රැකියාව කරනව. ඒ වගේම රැකියාව තුළ සැළකිය යුතු වගකීමක් අරගෙන තියෙන නිසයි මට තියෙන කාලවේලාව කළමනාකරණය කරගෙන වසරකට නිර්මාණ දෙකක් හෝ තුනක් උපරිමව කරන්නෙ.
සරසවියෙන් ඉගෙනගත්ත නර්තනයට මොකද වුණේ?
මම විෂයයක් විදිහට නර්තනය අවුරුදු දහසයක් පුරාවට හැදෑරුවා. කණ්ඩායම් නිර්මාණය කළා. විදේශ රටවල තියෙන විශේෂ අවස්ථාවන්වලට මම මගේ කණ්ඩායමත් එක්ක සහභාගි වුණා. නමුත් කාලයත් එක්ක මම ඉගෙනගන්න ඒරියා එක වෙනස් වුණා. ඒ දේවල් එක්ක නර්තනයට තිබුණ ආසාව කැමැත්ත වෙනස් වුණා. නමුත් නර්තනය අතහැරල නැහැ. අවශ්‍ය අවස්ථාවලදි ප්‍රයෝජනයට ගන්නව.
ඔබට ලැබෙන චරිත ගැන සෑහීමකට පත්වෙනවද?
ඔව්, මට මේ වෙලාවෙ ලැබෙන්නෙ මගෙ වයසට, පරිනත භාවයට, අත්දැකීම්වලට අදාළ චරිත. ඒ ගැන මම තෘප්තිමත්. මට තියෙන කාලයත් සීමා සහිත නිසා නිර්මාණ තෝරාබේරාගෙන තමයි භාරගන්නෙ.
ඔබ රංගනයෙන් දායක වුණ වාලම්පුරි සිනමා නිර්මාණයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා?
නිර්මාණයකට දායක වුණ හැම වෙලාවෙම මම බැලුවෙ ඒ වෙනුවෙන් මට එකතු කරන්න පුළුවන් වටිනාකම මොකක්ද කියල. මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතනව මම චරිතයට සාධාරණයක් කළා කියල. වාලම්පුරි කියන්නෙ ප්‍රේක්‍ෂකයන් බොහොම ආදරෙන් වැළඳගත්ත නිර්මාණයක්.
කැළුම්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
විවාහයට කලින් මම ටිකක් කෙළිලොල් චරිතයක්. නමුත් කැළුම්ව මුණගැහුනට පස්සෙ මට ජීවිතේ පරිණත භාවය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්තා. ඔහු කියන කෙනා මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා. ඔහුගේ සහයෝගය නිසා මාව තව තවත් නිර්මාණය කරගෙන මට මාව වගාකරගන්න පුළුවන් වුණා.
ඔබට ඔහුව මුණගැහුන විදිහත් මතක් කරමු?
ඔව්, අපි දෙන්න මුණගැහුණෙ 2018 වසරේ පැවැත්වුණ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී. ඉතිං පොත් ප්‍රදර්ශනය කියන දේත් අපි දෙන්නගෙ ජීවිතයේ ලස්සන දෙයක්.
පසුගිය දවස්වලත් අපි කාලය ගතකළේ ඒකත් එක්ක.
මහේෂ් එදිරිසිංහ