මම දන්න තරමින් කලාවට සීමා මායිම් නෑ -චාපා විජේසිංහ

gossiplanka image 2
 



මාරක සර්කස් නාට්‍යයේ නටාෂා ලෙසින් කරළියට පැමිණි සෙල්ලක්කාර චාපා බොහෝ දෙනෙක්ට අමතක නොවන චරිතයක්. මාරක සර්කස් නිමා වුණත් චාපාව නම් බොහෝ දෙනෙක්ට මතකයි. මේ දවස්වල චාපා විජේසිංහට කොහොමද කියලා අපි සොයා බැලුවා.




මතකද රංගනයට ආපු ආකාරය?




මම 2024 ITN අවුරුදු කුමරා කුමරිය තරගාවලියට සහභාගි වෙනවා. ඉතින් මම ජයග්‍රහණය ලබනවාත් සමගම මට රංගනයට ආරාධනා ලැබෙනවා. ඒ හරහා තමයි මම රංගනයට එකතු වෙන්නේ.








අවුරුදු කුමරි තරගයට එන්නෙම නිළියක් වෙන්න තියෙන ආසාවට ද?




ඇත්තටම නැහැ. අවුරුදු කුමාරි තරගයට මම සහභාගි වුණේ, විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වෙලා ඉන්න අතරතුරේ. ඇත්ත වශයෙන්ම මම රංගනයට එන්න හිතාගෙන නෙමෙයි අවුරුදු කුමාරි තරගාවලියට සහභාගි වුණේ.




මුල්ම රංගනය මොකක් ද?




මගේ පළවෙනි නිර්මාණ දායකත්වය මම ලබා දුන්නේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂ තුමාගේ “මල් පිට මල්" ටෙලි නාට්‍යයට. ඒක ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.








චාපා ගැන විස්තර කරොත් ?




මගේ පවුලේ ඉන්නේ අම්මයි අප්පච්චියි මගේ අයියල දෙන්නයි. මම කුරුණෑගල ගල්ගමුව. මම ඉගෙන ගත්තේ බුදුරුවකන්ද ජාතික පාසලේ. මගේ රංගන කටයුතුවල පහසුව හේතුවෙන් මම දැන් පදිංචි වෙලා ඉන්නේ බොරලැස්ගමුවේ.




 ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?




පවුලෙන් ලැබෙන සහයෝගය මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මගේ හැම දේකටම පොඩි කාලේ ඉඳලා මගේ අම්මයි, අප්පච්චි, අයියලා දෙන්නයි මගේ පිටිපස්සෙන් ඉන්නවා. එයාලා තමයි මගේ හැම දේකටම උදව් කරන්නේත්. විශේෂයෙන්ම රූගත කිරීම් කටයුතු වලට වුණත් මගේ අම්මා මාත් එක්ක නිතරම ඉන්නවා.




රංගනය ගැන හදාරනවා ද?




මම රංගනයට නවකයෙක් මම පාඨමාලාවක් හදාරලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම මම ඉගෙන ගන්නේ මේ ක්ෂේත්‍රයත් එක්ක වැඩ කරනකොට. මම විශ්වාස කරනවා න්‍යායාත්මකව අපි ලබාගන්න දේවල්වලට වඩා ප්‍රායෝගිකව ලබාගන්න දේවල් ගොඩක් වටිනවා කියලා. මම බොහෝ විට වැඩ කරන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග. ඉතින් ඒගොල්ලෝ තමයි මගේ ගුරුවරු වෙන්නේ.








ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?




ඉදිරියට මම රංගනයෙන් දායකත්වය දුන් නිර්මාණ දෙක තුනක්ම එන්න තියෙනවා.ඒ අතරින් අජිත් ධර්මසූරිය අධ්‍යක්ෂතුමාගේ “සිහින සේයා’’ චිත්‍රපටය වගේම ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂතුමන්ගේ “මල් පිට මල්’’ ටෙලි නාට්‍යය එන්න තියනවා. ඒ වගේම සෙනාන් විමලවීර අධ්‍යක්ෂතුමාගේ චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. එය මේ අවුරුද්ද අවසානයේ රූගත කිරීමට සූදානම් වෙමින් පවතිනවා.




රංගනයේ දී සීමාවන් තියෙනවද?




කලාව කියන දේට මම දන්න තරමින් සීමා මායිමි නෑ. හැබැයි අපි අපේ ජීවත් වෙන රට අනුව සංස්කෘතිය අනුව සමහර සීමාවල් නිර්මාණය කරගෙන තියෙනවා. කලාව සම්බන්ධයෙන් මගේ හැකියාවට අමතරව මම න්‍යායාත්මකවත් හොඳ අධ්‍යයනයක් ලබා ගන්ඩ ඕන කියලා හිතෙනවා. ඉතින් මං මේ ක්ෂේත්‍රයට අඩිය තිබ්බ විතරයි. මට තියෙනවා ගොඩාක් දේවල් ඉගෙනගන්න. මම නොදන්න සීමාවල් අඳුරගෙන, ඉබේම මට සීමාවක් සකස් වෙයි කියලා මම හිතනවා.








සැබෑ ජීවිතේ චාපා කියන්නේ මොන වගේ කෙනෙක් ද?




සැබෑ ජීවිතයේදී චාපා කියලා කියන්නේ හරිම සරල සැහැල්ලුවෙන් ජීවත්වෙන හිනාවෙලා ඉන්න චරිතයක්.




කටකතා ගොසිප්වලට බයද?




අනේ නෑ. මම මගේ හිතට අවංකව නම් ජීවත් වෙන්නේ කටකතාවලින් මට වැඩක් නෑ




ආදරේ දකින්නේ කොහොමද?




ආදරේ කියලා කියන්නේ ඇත්තටම දකින දේකට වඩා අපිට දැනෙන දෙයක්. මම දකින විදිහට ආදරේ කියලා කියන්නේ අපි ආදරේ කරන කෙනාව දරාගෙන ඉන්න එක. ආදරේ අපිට වචනෙට සීමා කරන්න බැරි හෘදයාංගම සංවේදනයක්. ආදරය ඇතුළේ අපි ආදරේ කරන කෙනාගේ සතුට කැපවීම, දරාගැනීම, විශ්වාසය, ගෞරවය, සැනසීම වගේ මිශ්‍ර බැඳීමක් තමයි ආදරේ විදිහට මම දකින්නේ. 

gossiplanka image 1
Previous Post Next Post