හිතාගන්නම බැරි කතාවකින් යළි පුංචි තිරයට එන රිතූ

gossiplanka image 1
 


බොහෝ කලක් පුංචි තිරයේ දක්නට නොලැබුණු රිතූ ආකර්ෂා මේ දිනවල නැවතත් ප්‍රේක්ෂක ඔබ හමුවට එන්නීය. ඒ පුංචි තිරයට අලුත්ම වෙනසක් එක්කළ බුද්ධික සේමසිංහගේ ‘හිතාගන්නම බැරි’ කතාවක් ඔස්සේය. එමෙන්ම ඇය සිනමාපටයකට ද රංගන දායකත්වය සපයමින් සිටින්නීය.


මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වුණු පුංචි තිරයේ නවතම පෙරළිය බවට පත්වී තිබෙන ‘ හිතාගන්නම බැරි කතාවක්’ ටෙලි නිර්මාණයේ ටිමලි ලෙසින් ඔබ හමුවට එන රිතූ දිගු කලකට පසුව ලබන රංගන අත්දැකීම පිළිබඳව මෙලෙස අප හා අදහස් බෙදා ගත්තාය.


” මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන හිතාගන්නම බැරි කතාවක් ටෙලි නිර්මාණය සඳහා මට ආරාධනා ලැබෙන්නේ එහි අධ්‍යක්ෂ බුද්ධික සේමසිංහගෙන්. එහි තිර පිටපත ලියන්නෙත් ඔහුමයි. මං අවුරුද්දකින් විතර ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙලා නැහැ. දක්ෂ තිරපිටපත් ‍ රචකයෙක් විදිහට මං බුද්ධිකව හඳුනගෙන හිටියා. හොඳ තිරපිටපතක් කියලා හිතුණ නිසා මං හරිම ආසාවෙන් භාරගත්තා. ටිමලි කියන්නෙ මං හරි ආසාවෙන් කරන චරිතයක්.


ටිමලිට ‍ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන විවේචනාත්මක ප්‍රතිචාර පිළිබඳ අදහස් දැක්වූ රිතූ, තමන් නිරූපණය කරන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකේය ගැහැනියකගේ චරිතයක් බව ද කියා සිටියාය.


ටිමලි කියන්නෙ උද්දිකගෙ ඒ කියන්නෙ ඉවාන්ගේ බිරිය. මේ ප්‍රශ්නයෙදි ඇය හැසිරෙන්නෙත් සාමාන්‍ය ශ්‍රී ලාංකේය ගැහැනියක්, බිරියක් විදිහටම තමයි. හිතාගන්නම බැරි කතාවක් බොහෝ දෙනා නරඹන කතාවක් බවට පත්වීමම සතුටුදායක තත්ත්වයක්. නැවතත් හොඳම නිර්මාණයක් හරහා පුංචි තිරයට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු සතුටක්.


තමන්ගේ සැමියා එක රැයක වෙනත් තරුණියක් එක්ක කෝපි කෝප්පයක් බොන්න හෝටලේකට ගිහින් පාන්දර ගෙදරට එන්නෙ ඔහු සතුව තිබුණු සියල්ලම නැතිකරගෙන.


ඔහු ගෙදරින් ගිය වාහනයත් නැතිව කුලී රියක ගෙදර එනකොට විවාහක ගැහැනිය කොහොමද ඉවසන්නේ. අන්න ඒ විදිහටයි ටිමලිත් එතැනදී හැසිරෙන්නේ. සල්ලි රත්රන් බඩු විතරක් නෙවෙයි වාහනය, ගෙවල් දොරවල් පවා නැතිකරගෙන තමයි ඔහු එන්නේ. ඊට පස්සේ ඒ කෙල්ල එක එක ෆොටෝ, වීඩියෝ, රෙකෝඩින් එවනවා එයාලා අතරේ සිදුවුණු දේවල්. සමහරු විවේචනය කරන්නේ සැමියාව තේරුම් ගන්නෙ නෑ කියලා. ඒත් ඒ වගේ දෙයක් සාමාන්‍ය දෙයක් විදිහට සලකන්නෙ කොහොමද.? මම වුණත් ඒ විදිහට හැසිරේවි කියල හිතනවා. අද සමාජයේ වුණත් මෙහෙම දේවල් සිද්ධ වෙන්න බැරි කමක් නෑ.‘


ව්‍යාපාරිකයකු වන ඉවාන්ගේ බිරිය ලෙසින් සැපවත් දිවියක් ගත කළ ටිමලිගේ දිවිය එසේ එකවරම ශෝචනීය තත්ත්වයට පත්වද්දී රිතුගේ දිවියට වසන්තය උදාවී තිබුණේ කලක සිට තම සිතෙහි පැවති සුන්දරම සිහිනය ද සැබෑ කරමිනි.


‘ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නය තමයි තවම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැද්ද කියන එක. එහෙම අහන හැමෝටම හැමදාම මමත් කිව්වෙ හොඳම නිර්මාණයක් ලැබෙන කල් බලාගෙන ඉන්නෙ කියලා. සිනමාවට සම්බන්ධ වෙනව කියන එක ඕනෑම රංගන ශිල්පියකුගේ ලොකුම හීනයක්. මේ අවුරුද්දෙ මගේ ඒ සිහිනයත් සැබෑ වුණා. මගේ පළමුවැනි සිනමාපටය මේ දිනවල රූගත කෙරෙනවා. ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ නවතම සිනමා නිර්මාණය. තිරරචනයත් ඔහුගේ. දමිළ සහ සිංහල මුසුවෙන් කෙරෙන නිර්මාණයක්. මම රඟපාන්නේ දේවී කියන දමිළ විශ්වවිද්‍යාල සිසුවියකගේ චරිතය. මෙතෙක් කරලම නැති රඟපාන්න ආසාවෙන් හිටපු චරිතයක්. කොළඹ වගේම යාපනයේත් රූගත කෙරෙනවා. ප්‍රධාන චරිතයෙන් මාත් එක්ක රොෂාන් රණවන සම්බන්ධ වෙනවා. මෙච්චර කල් බොහෝ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නෙට හොඳම විදිහේ පිළිතුරක් මට ලැබුණා.


ඒත් රංගන ශිල්පිනියක් විදිහට මිනිස්සු මාව හඳුනගත්තෙ පුංචි තිරයෙන්. මං ගොඩක් ආසයි පුංචි තිරයෙන් මට ලැබුණු ඒ ආදරයට. රිදී තිරයට යද්දි ඒ ආදරේ කොහොම ලැබෙයි ද දන්නෙ නැහැ. කොහොම වුණත් මිනිස්සුන්ගේ ආදරේ ලැබෙන නිසා මං මේ දෙකටම කැමැතියි.


ගුවන් හමුදා නිලධාරිනියක්, හමුදා නිලධාරිනියක් වැනි ආරක්ෂක අංශයේ භූමිකාවක් රඟදැක්වීමේ ආසාවෙන් පසුවන රිතූ තමන්ට මේ තරම් ආදරයක් ලැබෙන කලා ක්ෂේත්‍රයට පිවිසුණු අතීතය ද සෙනෙහසින් සිහිපත් කළාය.


මං කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හිරු තනිවෙලා ටෙලි නිර්මාණයේ මුතූගේ චරිතයෙන්. ඊට පස්සේ දායක වුණු උතුම් පැතුම් ටෙලි නිර්මාණයේ වරුණිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ චරිතය ගොඩක්ම ජනප්‍රිය වුණා. ඊට පස්සේ මහවිරු පණ්ඩු, කාසිවත්ත ඇතුළු ටෙලි නිර්මාණ තිස්පහකට විතර රංගනයෙන් දායක වුණා. ඒ වගේම මට හොඳ අධ්‍යක්ෂවරුන් කණ්ඩායමක් හමුවුණා. ඔවුන්ගෙන් රංගනය ඉගෙන ගනිමින් ඔවුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් එක්ක හරි හෙමින් ආපු ගමනක් මේක.‘


මෙය තම දිවියේ ලොකුම සිහිනය සැබෑ කළ සතුටුදායක වසර මෙන්ම තම දිවියේ වටිනාම සම්පත අහිමි කළ දුක්බරම වසර ලෙස ද හැඳින්විය හැකි බව අවසන රිතූ පැවසුවාය.


‘මේ වසර මගේ ජීවිතේට දුක හා සතුට දෙකම හිමිවුණු වසරක්. පහුගිය දා මගේ තාත්තා නැතිවුණා. ඒක මගේ ජීවිතේට දරා ගන්නම බැරි දුකක්. මං තනිවුණා වගේ දැනුණා. ඒ අතරේ මගේ සිනමා සිහිනයත් සැබෑ වුණා. එහෙම බලද්දි මේ වසර මට දුක, සතුට දෙපැත්තම හිමි වුණු අමතක නොවන වසරක්.

gossiplanka image 2
Previous Post Next Post