සම්මානයක් ලැබෙනවා කියන්නෙ ලොකු වගකීමක් -නිම්මි මනෝහාරි

gossiplanka image 1
 


කලාව කෙරෙහි ඇති අසීමිත කැප කිරීම හා උනන්දුව මත ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටු කරන ඇය කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තාය.”නාඩගම්කාරයෝ හි පොඩ්ඩී ලෙසින් තම කුලුඳුල් රංගන අත්දැකීම ලබමින් ප්‍රේක්ෂක හදවත් සියුම්ව ස්පර්ශ කළ ඇය නිම්මි මනෝහාරිය. අද අපේ කතාබහ ඇය සමඟයි.


ඔබේ රංගන ජීවිතය ආරම්භ කළේ කොහොම ද ?


මගේ කලා දිවිය ආරම්භ වෙන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන්. ඒ එවකට ස්වර්ණවාහිනියේ විධායක නිලධාරී ලෙස කටයුතු කළ රංගන ඩී. සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන්. ඒත් එක්කම අධ්‍යක්ෂ ප්‍රකාශ් සිවගුරුනාදන්, තිරපිටපත් රචක සද්ධා මංගලසූරිය බණ්ඩාර වගේම නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහත්වරුන් සිහිපත් කළ යුතුයි.


පසුගිය සුමති සම්මාන උලෙළේ දී වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය ලැබෙන්නෙ ඔබට. මොකද හිතෙන්නේ?


30 වන සුමති සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය මට ලැබෙන්නේ “වියළි” ටෙලි නාට්‍යයේ නයෝමිගේ චරිතයට. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. අපි හැමෝගෙම කැපකිරීම්වල ප්‍රතිඵලයක් විදිහට තමයි “වියළි ” ටෙලි නාට්‍යයට සම්මාන රැසක් හිමි වෙන්නේ. රයිගම් ටෙලි සම්මාන උලෙළේත් සම්මාන රැසක් හිමිවුණා.


නයෝමිගේ චරිතය ගැන ඔබට මොකක් ද හිතෙන්නේ.?


“වියළි” ටෙලි නාට්‍යයේ නයෝමිගේ චරිතය ගැන මම දකින්නේ ඒක ඉතාමත් බැරෑරුම්, සංකීර්ණ චරිතයක් විදිහට. පෞද්ගලික ජීවිතේදී නම් මට එහෙම නයෝමිලා හමුවෙලා නැහැ. ඒ නිසා මට සිද්ධ වුණා ඒ සම්බන්ධව අධ්‍යයනය කරන්න නයෝමිලාව සොයා යන්න. වර්තමාන සමාජයෙන් වගේම අධ්‍යක්ෂවරයා, තිර පිටපත් රචකයා සහ සෙසු ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් සමඟ අපි ඒ ගැන කතා කළා. ඒ කතාබහත් එක්ක තමයි මම නයෝමිගේ චරිතය ගොඩ නඟා ගත්තේ. නයෝමිගේ චරිතය මට ලබා දුන් අධ්‍යක්ෂ චන්දන ඉරුගල් බණ්ඩාර අයියා ඇතුළු වියළි කණ්ඩායමම මේ වෙලාවෙ මං ඉතාමත් ආදරෙන් මතක් කරනවා.


දිනාගත් සම්මානය ගැන මොකද හිතෙන්නේ?


සම්මානයක් ලැබීම ගැන නිහතමානි සතුටක් තියෙනවා. නමුත් මං හිතනවා ඒක ලොකු වගකීමක් කියලා. මොකද ඉදිරියේ දී භාර ගන්න නිර්මාණවලට සම්මානය ගත්ත චරිතයටත් වඩා ඉහළ හැකියාවක් මං දැන් පෙන්වන්න ඕන. නැත්තන් ඒ හා සමානව හෝ තියෙන්න ඕන. අඩුපාඩු අවම වෙන්න ඕන. එහෙම නොවුණොත් මං හිතන්නේ මං ඒ සම්මානයට කරන්නේ අගෞරවයක් කියලා.


ඔබ මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබේ හදවතට දැනුණු චරිතය මොකක් ද?


මම ඉතාමත් සීමිත ටෙලි නාට්‍ය ප්‍රමාණයක තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. හදවතට දැනුණ චරිතයක් විදිහට එකක් වෙන්කරන්න බැහැ. කීපයක්ම තියෙනවා. ඒ අතරින් “නාඩගම්කාරයෝ හි පොඩ්ඩිගේ චරිතය මට ගොඩක් දැනෙන්නේ මං රංගනයට පිවිසෙන්නේ ඒ හරහා නිසා. අනෙක් අතට පොඩ්ඩිගේ චරිතය සහ නිම්මිගේ චරිතය අතර ලොකු වෙනසක් නැහැ. සුළු සුළු වෙනස්කම් තමයි තිබුණේ. ඒ නිසා ඒ චරිතය ඉතාමත් සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන් වුණා. රට පවුල ටෙලි නාට්‍යයේ හසිනිගේ චරිතයත් ඉතාමත් ආසාවෙන්, කැමැත්තෙන් කරන එකක්. හැම චරිතයක්ම මම කරන්නේ හරිම ආසාවෙන්.


ඔබ එකිනෙකට වෙනස් චරිත රඟපානවා මේ චරිත අතරින් ඔබට වඩාත්ම අභියෝග වුණු චරිත මොනවා ද ? සහ ඒ චරිත නිරූපණය කරන්න ඔබ සූදානම් වුණේ කොහොම ද ?


සීමිත නිර්මාණ ප්‍රමාණයට දායක වුණත් වාසනාවකට වගේ මට විවිධ චරිතවලට දායක වෙන්න ලැබුණා. මෙතෙක් රඟපාලා තියෙන සියලුම චරිත අභියෝග තමයි. මොකද චරිත ගොඩනඟා ගැනීම වගේම පවත්වාගෙන යෑම කියන්නෙත් ලොකු අභියෝගයක්. පිටපතක් ලැබුණහම පොඩි කාලයක් අපි අධ්‍යයනය කරනවා. ඊට පස්සේ ඒ ගැන අධ්‍යක්ෂවරයා, තිර පිටපත් රචකයා සමඟ සාකච්ඡා කරනවා. කැමරා අධ්‍යක්ෂවරයා වගේම කාර්ය මණ්ඩලය, වේශ නිරූපණ ශිල්පියා, කලා අධ්‍යක්ෂවරයා ආදි හැමෝ එක්කම කතාබහ කරලා සෙසු චරිත එක්කත් කතා බහ කරලා තමයි චරිතයක් ගොඩනඟා ගන්නේ. හැමෝගෙම එකමුතුවකින් තමයි නිර්මාණයක් බිහි වෙන්නේ.


රට පවුල හසිනිට ලැබෙන ප්‍රතිචාර කොහොම ද ?


රට පවුල හසිනි කියන්නෙත් මං ආසාවෙන් කරන වෙනස්ම චරිතයක්. දෙබස් හරිම අර්ථාන්විතයි. ප්‍රතිචාර පැත්ත කතා කළොත් මේ දවස්වල හසිනි නිසා ගොඩක් බැණුම් අහනවා. ඕනෑම චරිතයකට හොඳ නරක දෙපැත්තෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. ඒවා ආදරෙන් භාර අරන් අඩු පාඩුවක් තියෙනවනම් හදාගෙන යන ගමනක් තමයි මේ. ඊට අමතරව ස්වර්ණවාහිනියේ ‘පිරිමි ළමයි’ සහ ජාතික රූපවාහිනියේ ‘ඉර හැංගිලා’ ටෙලි නාට්‍යවලටත් ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ රිදී තිරයේ දකින්න නැහැ නේද?


පුංචි පුංචි චරිත කරලා තියෙනවා. මට සිනමාවට එහෙම ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. ඕනෑම රංගන ශිල්පිනියකගේ ආසාව සිනමාවට අවතීර්ණ වෙන එක. එහෙම ආරාධනයක් ලැබුණොත් ඒ චරිතය මට කරන්න පුළුවන් කියලා හැඟුණොත් අනිවාර්යයෙන් මං ඒ චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.


අවසාන වශයෙන් කලාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින නවක ශිල්පීන්ට මොන වගේ උපදෙසක් ද දෙන්නේ?


එහෙම නවක රංගන ශිල්පීන්ට අවවාද දෙන්න තරම් ප්‍රවීණයක් නම් නෙවෙයි මං. මාත් තාම නවක රංගන ශිල්පිනියක් තමයි. මට කියන්න තියෙන්නේ ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තොත් නිසි හැදෑරීමක්, නිපුණත්වයක් එක්ක එනවා නම් ඒකෙ පැවැත්මක් තියෙනවා. රංගනයත් එහෙමයි. හැදෑරීමක් තුළින් ආවොත් හොඳ, සාර්ථක ගමනක් යන්න පුළුවන්.

gossiplanka image 2
Previous Post Next Post