ඔහු ගැන කියන්න අටුවා ටීකා ටිප්පණි උපමා රූපක අවශ්‍ය නැත. කුමාර තිරිමාදුර කියූ සැණින් ඔහුගේ සිනහවේ හඬ, වෙඩි උණ්ඩ වැනි සෘජු වචන සිහියට නොඑන කෙනෙක් නැත. අද රසඳුන හා එක්වන්නේ එකී රසවතායි.
කොහොමද මේ දවස්වල ජීවිතේ…
මේ දිනවල ” Old man” චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වෙනවා. වාහනේක හැප්පී පාරේ වැටී සිටින මනුස්සයෙක්ව ඉස්පිරිතාලෙට ගෙන ගිය පිරිස නීතියෙන් වරදකාරීන් බවට පත් කළ අපූරු කතාවක් වටායි, මේ චිත්‍රපටිය දිව යන්නේ. වේදිකාවෙන් තරමක් ඈත් වී සිටින නිසා වේදිකා නාට්‍යය එකක්වත් භාරගත්තේ නැහැ. නුදුරේදී මම සීයා කෙනෙක් වෙනවා. එය මේ දවස්වල තියෙන සුබම ආරංචියක්. තරමක් නිවිසැනසිල්ලේ මගේ ජීවිතයේ, මම අත්විඳපු අත්දැකීම් ,හැඟීම් එක්කර “වේලාසනම සැඳෑ සමය ඇවිත් ” කෘතියක් ලෙස එළිදැක්වීමටත් පොඩි අදහසක් තිබෙනවා.
ඔබ වෙනස්ම ආකාරයේ වැඩකට අතගසන්න යනවා කියලාත් ආරංචියි. ඒකත් කියමුද?
ඔව් මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් වන පාතාලය කේන්ද්‍ර කරගනිමින් මාකඳුරේ මධුෂ් ගැන චිත්‍රපටයක් කරන්න සූදානමින් සිටිනවා. මේ ලෝකයේ කිසිම මනුස්සයෙක් කළු හා සුදු විදිහට බෙදා වෙන්කරන්න බැහැ. මාකඳුරේ මධූෂ්ටත් එවැනි තත්ත්වයක් වීමට බලපෑ හේතු ගොඩක් තිබෙනවා. ඔහු ගැන සියලූම තොරතුරු මම සොයා ගත්තා. ඒ වගේම ඔහු ගැන මම කියෙවුවා. ඒ සම්බන්ධයෙන් මම ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන අනුර හොරේෂස් විස්තරේ කිවුවා. හොරේෂස් පාතාල සිද්ධීන් සම්බන්ධ ලිපි ලියූ වගේම නිර්මාණ කළ ප්‍රවීණයෙක්. ඒ නිසා ඔහු ඒ කාර්යය හරි අපූරුවට කළා. නමුත් මෙම නිර්මාණය බිහි කරන්නට අපට තවම නිෂ්පාදකවරයෙක් හමුවුණේ නැහැ. මම විශ්වාස කරනවා ඉදිරියේදී එය සාර්ථක කරගන්න හැකිවේවි කියලා.
සාමාන්‍ය ජනතාව පාතාල ලෝකය චිත්රණය කරනවට වඩා කලාකාරයා එය වෙනස් විදිහට දකිනවා කියලා මට හිතෙනවා. ඒ අදහස ඌණපූර්ණය කළොත්…..
ඔව් ඇත්තටම පොලීසිය තීන්දු තීරණ ගන්නේ නීතිය පදනම් කරගෙනයි. ඒ වගේම පොලීසියේ සාක්ෂි මත උසාවිය වැරදි බව හා නිවැරදි බව තහවුරු කරනවා. ඒ හැම දෙයක්ම ප්‍රවෘත්තිවලින් ප්‍රකාශ කරන විට සාමාන්‍ය ජනතාව ඔවුන්ගේම චිත්‍රයක් ගොඩනඟා ගන්නවා. නමුත් කලාකාරයා ඊට හාත්පසින්ම වෙනස් .ඔවුන් යම් දෙයක් දිහා බලන්නේ වගේම තීන්දු තීරණ ගන්නේ හැඟීම් ගොඩක් පොදි බැඳගෙනයි. පාතාල ලෝකය පිළිබඳව වෙනස් දෘෂ්ටියකින් මාකඳුරේ මධුෂ් චිත්‍රපටියෙන් අපූරුවට දැකගන්න ලැබේවි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නෙ කලාකාරයා වගේම මාධ්‍යවේදියා සමාජයේ පෙරගමන්කරුවා ලෙස හඳුන්වන්නෙත් ඒ නිසා විය යුතුයි.
පාතාලෙට චිත්‍රපට හදල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද ?
පාතාලේ ගැන චිත්‍රපට කළේ අද ඊයෙක නෙමෙයි. හාර ලක්ෂය, චූඩා මාණික්‍යය, පොඩි විජේ ,යකඩයා, මරුවා සමඟ වාසයේ,සිරිපාල සහ රන්මැණිකා වගේ චිත්‍රපටි රැසක් ඉතිහාසය පුරාවට දැකගන්න ලැබුණා. ඒ කිසිම නිර්මාණයකින් පුද්ගල හානි සිදුවූ බවක් වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම කලාකරුවා සම්බන්ධයෙන් සෑම කෙනෙක්ම ධනාත්මක දෘෂ්ටියක් හෙළන නිසා නිර්මාණයකට උදවු කරනවා විනා හානියක් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ වගේම පාතාලයටවත් වෙනත් කිසිම පාක්ෂිකයෙක්ටවත් කලාකරුවා සම්බන්ධ නැහැ. ඒ නිසා මම කාටවත් බය නැහැ. පාරේ ඉන්න බල්ලෝ 16 දෙනෙක් විතරයි මගේ ආරක්ෂාවට ඉන්නේ. උන්ට මම කන්න දෙන නිසා උන් මං එක්ක ඉන්නවා. ඒ හැරෙනකොට වෙන කිසිම ආරක්ෂාවක් මට නැහැ.
ඔබ ගායකයෙක්, පිටපත් රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, මාධ්‍යවේදියෙක් වගේම ප්‍රතිභා සම්පන්න රංගන ශිල්පියෙක්. මේ අතරින් ඔබ කැමතිම ආමන්ත්‍රණය මොකක්ද?
මේ ප්‍රශ්නයට වික්ටර් රත්නායක මහතා දුන් උත්තරයක් මට මතක් වෙනවා. වරක් ඔහුගෙන් වැඩසටහන් මෙහෙයවන්නෙක් අහනවා ඔබ කැමැතිම ගීතය මොකක්ද කියා. ඔහු එතකොට කියනවා මේ ඔක්කොම මගේ දරුවෝ .මොන දරුවටද මම වැඩිපුර ආදරේ කියලා කියන්න බැහැ කියලා. මට තියෙන්නෙත් ඒ පිළිතුරමයි. මම ඒ සෑම භූමිකාවකටම එක වගේ ආදරෙයි. හැබැයි එක දෙයක්. තව ටික දවසකින් මගේ මුනුපුරා අපේ ළඟට එනවා. එතකොට මං ආසයි මුනුපුරා ළඟ තියාගෙන ආයෙත් පරණ පත්තරකාරයා වෙන්න.
කලා ලෝකයේ කරක්ගහලා හෙම්බත් වුණු ස්වභාවයක් ඔබේ කතාවෙන් මට හැඟෙනවා. ඇත්තටම ඒ වගේ හැඟීමක් ඔබට තිබෙනවද?
ඔව් ඇත්තටම මට මහන්සියි. ටෙලිනාට්‍ය කලාව තුළ වගේම වේදිකා නාට්‍ය කලාව තුළත් යම් යම් වේදනාකාරී තත්ත්වයන් තිබෙනවා. බදුල්ලේ නගර සභාවේ අවුරුදු විසිපහකට කලින් ගිය වැසිකිළි පද්ධතියමයි අද වෙනකොටත් තිබෙන්නේ. වේදිකා නාට්‍යවලදී රංගන ශිල්පිනියන්ට ඇඳුම් මාරු කරන්නවත් හරිහැටි තැනක් නැහැ. ඒ සහෝදර ශිල්පිනියන් ඇඳුම් මාරු කරනකම් අපිට රෙද්දක් අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවම සනීපාරක්ෂක පහසුකම්වත් කලාකාරයන් වන අපට නැහැ. යම් නිර්මාණයක් රූපවාහිනියෙ පෙන්නන්න අල්ලස් දෙන්න ඕනේ. ඒ වගේම රජයේ පොදු ස්ථාන රූපගත කිරීම්වලට යොදා ගන්නා විට දරාගන්න බැරි ලොකු මුදලක් රජයෙන් අය කරනවා. කලාකරුවා කියන්නේ ජාතියට සම්පතක් .එහෙම කොට්ඨාසයක් මේ තරමට අසරණ කරන කොට රටක කලාව බිඳවැටෙනවා.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මගේ මුනුපුරා එක්ක පාඩුවේ ගෙදරට වෙලා ඉන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මට මහ ලොකු බලාපොරොත්තු නැහැ. මගේ ජීවිතයේ ඇරියස් නැහැ. මම නොගිය රටක් නැහැ. මට මුණ නොගැසුනු රංගන ශිල්පියෙක් නැහැ. ඒ නිසා දැන් මම පාඩුවේ ඉන්නයි කැමතියි.