මුහුදුකරයේ දරු පැටව් සමඟ තනිවුණු බාල බොළඳ බිරිඳට විෂම සමාජයේ ගොදුරක් නොවී ඔහු එනතුරු දරු පැටවුණුත් රැක ගනිමින් සිටින ලෙසට සුනිල් එදිරිසිංහයන් ගැයූ ඒ ගීතයේ රූපණයෙහි යෙදෙන්නී ඇය යි. රවින්ද්‍ර මුණසිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ ‘නඳුන් උයන’ සංගීත වැඩසටහනකින් ඒ ගීතයට රූප රචනා කර තිබූ අයුරු අදටත් ප්‍රේක්ෂකයන් රසවිඳින්නේ මුහුදුකරයක ජීවන අත්දැකීම් සමඟ සංවේදි වෙමිනි. කේඩෑරි වුණු යෞවනය මුහුකුරා යන්නටත් මත්තෙන් දරුවන් සමඟ සංකීර්ණ සමාජයක අභියෝග අත්විඳින්නියකගේ භූමිකාව ඇය එම චරිතය හරහා අපූරුවට විදහා දක්වන්නී ය.
පළමු කාන්තා ශිෂ්‍ය භට කණ්ඩායම කොළඹ විශාඛා විද්‍යාලයේ ආරම්භ කළ අවස්ථාවේදී ඇය එහි තනතුරුධාරිනියක වූ අතර එම ශිෂ්‍ය භට තුන් වැනි බලඇණිය ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය. එසේ ම ඇය දැල් පන්දු, බැඩ්මින්ටන් හා මලල ක්‍රීඩා අංශවලින් සමස්ත ලංකා රන් පදක්කම් පාසලට ගෙන දුන් දක්ෂ ක්‍රීඩිකාවක ද වූවා ය. ඊට අමතර ව ඇය උඩරට නර්තන කලාව ද හැදෑරුවා ය.
පාසල් කාලය නිම කර ගුවන් හමුදාවේ හය වන කණ්ඩායමට එක් වූ ඇය හොඳම ගුවන් කාන්තාව බවට ද පත් වූවා ය. පසුව ඉන් ඉවත් ව පෞද්ගලික ආයතන දෙකක ද සේවය කළ ඇය ඉන්පසු වෘත්තීය රංගන ශිල්පිනියක බවට පත් වූවා ය. ප්‍රකට දකුණු ඉන්දියානු සිනමා අධ්‍යක්ෂ සාජි නාරායන් කරුන් ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ශිල්පීන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගෙන අධ්‍යක්ෂණය කළ ‘කුට්ටි ශ්‍රාන්ක්’ චිත්‍රපටයේ දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සහ සම්මානනීය නළුවකු වූ ‘මම්මුට්ටි’ සමඟ ඇය රඟපෑ ගොළු කාන්තාවගේ චරිතය බෙහෙවින් අගය කෙරිණි.
‘රාධිකා’ නම් ඉන්දියානු අධ්‍යක්ෂවරිය මෙරටට පැමිණ සිදු කළ තෝරා ගැනීම්වලින් ‘වසූදා’ ටෙලි රංගනයට පිවිස අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇය මීනා කුමාරි නම් සුරූපිණිය යි.
“මම මුලින් ම කැමරාවකට මුහුණ දුන්නේ රවින්ද්‍ර මුණසිංහ නම් වූ විශිෂ්ට අධ්‍යක්ෂවරයාගේ ‘නඳුන් උයන’ සංගීත වැඩසටහනක සුනිල් එදිරිසිංහයන් ගැයූ ‘මගෙ අමල්බිසෝ…’ ගීතයට යි. ඒ විෂුවල් එක අදටත් ජනප්‍රිය යි. ඒ අවස්ථාවට මාව යොමු කළේ මගේ අක්කාගේ සැමියා මහාචාර්ය මුදියන්සේ දිසානායක යි. මේ දවස්වල විකාශය වන ‘ඔබ එන්න ඇවිත් යන්න’ ටෙලි නාට්‍යයේ මම රඟපානවා. ඒ වගේ ම ශේන් ආර්යා අධ්‍යක්ෂණය කළ ‘රාස්’ චිත්‍රපටයේ මම මේ දවස්වල වැඩ කළා. වෙලරාමා මූර්ති නමැති සම්මානනීය දකුණු ඉන්දියානු රංගන ශිල්පියා මගේ සැමියා හැටියට එහි රඟපෑවා. ඉන්දියානු අධ්‍යක්ෂ අරුමෝගම් අධ්‍යක්ෂණය කළ ‘අග්නි ජය’ චිත්‍රපටයේත්, අශාන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයෙන් ‘චොක්ලට්’ චිත්‍රපටයේත් රඟපානවා. වෙනස් වූ කාන්තා චරිත තුනක් වුණාට සිංහල දමිළ සහජීවනය, සංහිඳියාව ඒ නිර්මාණ තුනට ම සම්බන්ධ වුණු නිසා මම ගොඩාක් ආසාවෙන් ඒ චරිත තුන ම රඟපෑවා.”
මීනා වේදිකාවට මුලින් ම ගොඩ වන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරන කාලයේදී පැවති පාසල් නාට්‍ය තරගයකට වැඩිහිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ අහඹු ඇරයුමකිනි.
“පාසලේ නාට්‍ය තරගයට ඉදිරිපත් කළ නාට්‍යයේ හොඳ ම නිළිය හැටියටත් මම තේරුණා. පාසලෙන් පසුව යෞවන සම්මාන නාට්‍ය උලෙළ සඳහා ඉදිරිපත් කෙරුණු උපාලි ගම්ලත්ගේ ‘අපරාජිතයෝ’ කෙටි නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු ලෙස ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතා පැමිණ සිටියා. එම සම්මාන උලෙළේදී මගේ රංගනයන් විශේෂ ඇගයුමකට ලක් වුණා. එම උලෙළට ම ඉදිරිපත් කළ ‘මහාමාරිය’ නමැති දිගු නාට්‍යයේත් මම රඟපෑවා. පසුව සුගතපාල ද සිල්වා මහතාගේ බිරිඳ ශීලා අක්කාගේ ඇරයුමින් සුගතපාල ද සිල්වා නාට්‍යවේදියාණන්ගේ ‘ශාන්තුවර සෙබළානෝ’ නාට්‍යයට මම සම්බන්ධ වුණා. මගේ ගායන හැකියාව ගැනත් පරීක්ෂා කරලා ඒ චරිතයට මාව තෝර ගත්තා. ඒ නාට්‍යයේ පුහුණු කාලය මට විශ්වවිද්‍යාලයක් වගේ වුණා. මගේ නම දිපානි මීනා කුමාරි වුණාට සුගතපාල සර් ඒ නාට්‍යයේ පටන් දිගට ම මට ‘මීනා කුමාරි’ නමින් ම කතා කළා. ඒ නම මේ ක්ෂේත්‍රයට සුදුසු බව එතුමා මට කිව්වා.”
ඒ ආරම්භයත් සමඟ ‘දඬු ගුරුලා’ නාට්‍යයේත්, පසුව ‘ගිනිදඬු සෙවණ’, නාට්‍යයේත් රඟපාන්නට මීනාට අවස්ථාව ලැබිණි. ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ ‘කැසැන්ඩ්‍රා’ නමැති චරිත රංගනය වෙනුවෙන් ඇයට ජූරියේ සම්මානය හිමි විය.
‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍ය ඉන්දියානු නාට්‍ය උලෙළකට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහාචාර්යවරු කිහිප දෙනෙක් මගේ චරිත රංගනය අගය කළා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙනුත් ඒ චරිතයට බොහෝ ප්‍රශංසා ලැබුණා.
එතුමාගේ ම ‘ධවල භීෂණ’ නාට්‍යයේත් මම රඟපෑවා. මම මුලින් ම රඟපෑ වසන්ත ඔබේසේකරයන්ගේ ‘අසනි වර්ෂා’ චිත්‍රපටයේ චරිතය 2006 වර්ෂයේ සරසවිය සම්මාන උලෙළේදී විශේෂයෙන් ඇගයුමට ලක් වුණා. එයින් පසුව රඟපෑ බොහෝ චරිත සඳහා අවස්ථා ගණනාවකදී හොඳ ම සහාය නිළිය, හොඳ ම යොවුන් නිළිය, ජනප්‍රිය නිළිය වගේ සම්මානවලට නිර්දේශ වුණා. ජූරි සම්මාන රැසක් හිමි වුණා. ඒ වගේ ම මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘තුන්බිය’ නිර්මාණයේදී ප්‍රවීණ රංගධරයන් වන ජෝ අබේවික්‍රම, මහේන්ද්‍ර පෙරේරා සමඟ රඟපාන්න ලැබීමෙන් මම ඔවුන්ගෙන් රංගනය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. මගේ දුව සුභාර්ථා ගේ තාත්තා රංග මට මුණ ගැසුණේ ‘ගිනි දඬු සෙවණ’ නාට්‍යයේ රඟ පෑ කාලයේදී යි.
දුවගේ වැඩ සියල්ල ම මගේ අතට අරගෙන කරන්න සිදු වුණු කාලේ මම ගොඩක් වැඩවලින් ඉවත් වෙලා දුවට මුල් තැන දුන්නා. දුව ලංකාවේ විභාග හොඳින් සමත් වෙලා ශිෂ්‍යත්වයක් ලැබිලා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන්වල කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් ඉන්නවා. දුවගේ සැමියා බ්‍රිස්බේන්වල විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණවේදී ඉංජිනේරුවරයකු ලෙස සේවය කරනවා. දුවගේ උපාධි කටයුතු අවසන් වුණා ම ඒ දෙන්නා ඉදිරි ජීවිතය ගැන තීරණ ගනීවි. අද මට ඒ දෙන්නා ගැන ගොඩාක් සතුටු යි.”
ජීවිතයේ ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙන්න මට ශක්තිය, ධෛර්ය, ආදර්ශය වුණේ මගේ අම්මා යි, තාත්තා යි. විශේෂයන් ම මගේ තාත්තා ක්‍රීඩාවට ඉතා ම දක්ෂයි. තාත්තා යුධ හමුදාවේ ක්‍රීඩා උපදේශකවරයෙක් ලෙස සේවය කළා. අපිවත් ක්‍රීඩාවට යොමු කළා. මම සමස්ත ලංකා, ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලැබුවා. අපේ පවුලේ මමයි, අක්කයි, නංගියි, මල්ලියි ඉන්නවා. තාත්තා ළඟදි නැති වුණා. ඒත් එයාගේ ආශීර්වාදය මට හැමදාම ලැබෙනවා. අම්මායි, තාත්තායි ඉතා ම ආදරයෙන් ජීවත් වුණා. ඉවසීම සහ ජීවිතයේ හැම දෙයක් ම සුබවාදී ව දකින්න අපි හැමෝම අපේ මවුපියන්ගෙන් ඉගෙන ගත්තා. හැමදාමත් මට ශක්තියක් වන මගේ ආදරණීය රසික පිරිස අමතක කරන්න බැහැ. එයාලාට මම හැමදාම ආදරෙයි.”