හිමාලි සිරිවර්ධන ක්ෂේත්රයේ වඩාත් ප්‍රකට වී සිටියේ දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසිනි. රංගන ශිල්පිනියකගේ භූමිකාව ද ඊට නොදෙවෙනිය. ඇයගේ Sensation නර්තන කණ්ඩායම ද ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය නර්තන කණ්ඩායමකි. ඒ හරහා එළිමහන් ප්‍රසංග වේදිකාවේ නර්තනයේ යෙදෙන තරුණියන්ට ගෞරවනීය වටපිටාවක් නිර්මාණය කිරීමට වෙහෙසුණු ඇය නර්තන ශිල්පිනියකට හිමි නිසි ගෞරවය හිමිකර ගැනීමට ද සමත් වූවාය. මේ වනවිට නර්තන කලාවෙන් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටින ඇය දිගු නිහැඬියාවකින් පසුව නැවතත් රංගන කටයුතුවල නියැළෙන්නීය.
හිමාලි ගොඩක් කාලෙකින් පුංචි තිරයේ දකින්න ලැබෙනවා නේද?
ඔව්. කාලෙකට පස්සේ මං නැවතත් රංගනය පැත්තට යොමු වුණා. තිමිර උඩලමත්ත කියන්නේ මං ගොඩක් කාලෙක ඉඳන් හඳුනන හිතවත් මල්ලි කෙනෙක්. ඔහු තමයි මට මේ චරිතය සඳහා ආරාධනා කළේ. හදිසියේමයි රූගත කිරීම් පටන් ගත්තෙත්. පුතාගෙ වැඩයි මගේ පෞද්ගලික වැඩයි එක්ක මං ටිකක් කාර්යබහුල වෙලා හිටිය නිසා මුලින්ම මට බැහැයි කියන්නත් සිද්ද වුණා. මට මේ චරිතයට අක්කව ඕනෙමයි කියල තිමිර කිව්වා නිසා ‘සිහිනෙක තනි වෙලා‘ ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. ඒ වගේම මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන ඉන්දික ධර්මතිලකගේ ‘ආලේ’ ටෙලි නිර්මාණයටත් රංගනයෙන් දායක වෙනවා. අනුරාධා කියන්නෙත් තමන්ගේ දියණිය අතින් වෙන වරදක් නිසා සුනු විසුනු වෙන්න යන පවුල රැක ගන්න වෙර දරන දිරිමත් ගැහැනියක්.
ලස්සන ලොකු දුවල දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වෙන්න ලැබීම මොන වගේ අත්දැකීමක් ද?
මං මීට කලිනුත් අම්මගේ චරිතය කරල තියෙනවා. ඒත් සිහිනෙක තනිවෙලා හිමාලි කියන්නේ පවුලේ වගකීම් කරට ගත්ත තමන්ගේ දියණියන් දෙදෙනාට වගේම සැමියාටත් පණ වගේ ආදරය කරන හරිම ආදරණීය අම්මා කෙනෙක්. එයාලා කොතරම් ලොකු වුණත් චරිතයට අනුගත වුණාට පස්සේ මට දැනෙන්නේ එයාලා මගේම දරුවන් විදිහට. මමත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා මගේ දරුවට වගේම මං අනිත් දරුවන්ටත් හරිම ආදරෙයි. ඒ වගේම මං හරිම සංවේදී කෙනෙක්. අයියෝ අපරාදෙ මං මේ වගේ චරිතයක් කළේ කියන හැඟීම මට එන්නෙ නැහැ. මං ඒ චරිතයට ගියාට පස්සේ ළමයි ලොකු ද පොඩි ද කියන එක දැනෙන්නේ නැහැ. ආලේහි අනුරාධා ගත්තත් ලොකු දුවෙකුයි පුතෙකුයි ඉන්න වලව් පෙළැන්තියේ අම්මා කෙනෙක්.
මේ ටෙලි නිර්මාණ දෙක හරහාම ලොකු පණිවුඩයක් සමාජගත වෙනවා නේද?
ඔව්. අපි අද සමාජයේ ඇත්තටම මුහුණ දෙන ගැටලු තමයි මේ හරහා එළියට එන්නේ. සාමාන්‍ය ජීවිතේ වුණත් මේ වගේ චරිත ඕන තරම් අපිට හමුවෙනවා. සිහිනෙක තනිවෙලා ගත්තොත් විශේෂයෙන්ම ලස්සන දුවලා ඉන්න මවුපියන් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඔවුන් විවාහ කරගන්න කැමැත්තෙන් උදවු කරන අය වගේම රැවටීමේ මුවාවෙන් ළං වෙන අයත් ඉන්නවා. ටෙලියක නම් අපි දන්නවා මේක මෙහෙම වෙනවා කියලා. නමුත් සාමාන්‍ය ජීවිතේ එන ප්‍රශ්න අපි දන්නෙ නෑ. ඒ වගේම ආලේ ගත්තත් තරුණ දියණිය අතින් සිදුවන වරදක් නිසා ආදරණීය පවුලක් ටිකෙන් ටික විනාශයට යන විදිහ පෙන්නනවා. එතනදිත් මව තමයි දුව තව තවත් පීඩාවට ලක්නොකර හැම පැත්තම බැලන්ස් කරගෙන මේ පවුල රැකගන්න උත්සාහ කරන්නේ. මේ වගේ ලොකු ගැහැනු දරුවන් ඉන්න මවුපියන් වගේම තරුණ දරුවනුත් බොහොම සැලකිල්ලෙන් බලන්න ඕන ටෙලි නිර්මාණ දෙකක් කියලයි මට හිතෙන්නේ.
ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
එක එක විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. හිමාලි සිරිවර්ධන කියලා දකින සමහර අය අහනවා ඇයි එච්චර ලොකු ළමයින්ගේ අම්මා කෙනෙකුට රඟපාන්නේ කියලා. ඒක මට ගැටලුවක් නෙවෙයි. මං චරිත තෝරා ගනිද්දි ඒ චරිතය මගේ වයසට ගැළපෙනවද කියන එක නම් බලන්නෙ නැහැ. ලැබෙන චරිතය මට රඟපාන්න පුළුවන්ද ඒකට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක විතරයි මං බලන්නේ. මොන චරිතය කළත් මං මගේ කාර්යභාරය හරියට කරන එක ගැන විතරයි හිතන්නේ.
හිමාලි සිරිවර්ධන කියන දක්ෂ නර්තන ශිල්පිනියට මොකද වුණේ?
ඇත්තටම මම නර්තන කණ්ඩායම නවත්තල දැන් ටිකක් කල්. බබා ලැබුණු දවස්වලම බබාගේ වැඩවලට මූලික තැන දෙන්න ඕන නිසා මං ඒක නැවැත්තුවා. ගොඩක් අය තවම ඒක දන්නෙ නැති නිසා තවමත් මට ආරාධනා ලැබෙනවා. නර්තන කටයුතු දැන් කෙරෙන්නෙම නැහැ. ගොඩක් කාලෙකින් රංගනයට යොමු වුණෙත් මෑතකදී. මේ දිනවල ටෙලි නිර්මාණ හතරකට රංගනයෙන් දායක වෙනවා. දෙකක් විකාශය වෙනවා. ඊට අමතරව මං දායක වුණු සිනමා නිර්මාණ හතරක් විතර එන්නත් තියෙනවා.
හිමාලි ක්ෂේත්රයට පිවිසුණු විදිහත් මතක් කරමු?
ටෙලිවිව් ආයතනය හරහා නර්තන ශිල්පිනියක් විදිහට පුංචි කාලෙදිමයි මං ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ Sensation නර්තන කණ්ඩායමත් එක්ක ගොඩ කාලයක් වැඩ කළා. ඒ අතරතුර කාලය ලැබෙන විදිහට ටෙලි නිර්මාණවලටත් සම්බන්ධ වුණා. නර්තන කණ්ඩායමත් එක්ක ඇති තරම් වැඩ කළා කිව්වත් හරි. ලංකාවේ නොගිය තැනක් නැහැ. විදෙස් රටවලටත් ගිහින් තියෙනවා. හොඳ නමක් හදා ගත්ත නිසා අදටත් ප්‍රතිචාර ලැබෙනවා. මගේ ළමයි ටිකත් අද සතුටින් ඔවුන්ගේ ජීවිත ගත කරනවා. ඒකත් මට සතුටක්. අදටත් අපිට ආරාධනා ලැබෙනවා. මං දැන් නෑ කිව්වම වුණත් අපරාදෙනේ හිටපු හොඳ නර්තන කණ්ඩායමක් කියලා බොහෝ දෙනා කියනවා. ආයෙ කරන්න කියලත් ඉල්ලනවා. එහෙම බලද්දි මට ලොකු සතුටක් දැනෙනවා. අපි කළ දෙයක සාර්ථකත්වය මුළු ජීවිත කාලෙම අහන්න ලැබෙනවා කියන එක තමයි ලොකුම ජයග්‍රහණය. මං හැමදාම කියන්නේ අපි කරන දේ පොඩි දෙයක් වුණත් ඒක තමන්ගේ උපරිමයෙන්ම කරන්න කියලා. ඒකෙ තමයි සාර්ථකත්වය තියෙන්නේ. මං හැමදාම අනුගමනය කළේ ඒක.