මෝඩ තරිඳුට හිතපු නැති තරම් ප්‍රතිචාර ලැබෙනවා -කෞෂල්‍යා ප්‍රනාන්දු

gossiplanka image 2
 


මේ දිනවල දිවයින පුරා හවුස්ෆුල් ලේබලයෙන් තිරගත වන තිසර ඉඹුලානගේ මෝඩ තරිඳු සිනමාපටයේ වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ මෝඩ තරිඳුගේ ආච්චි වන ගුණවතී ගැනය. ගුණවතීගේ චරිතයට පණ පොවන්නේ වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍ය ත්‍රිත්වයම එකසේ ජයගත් ප්‍රවීණ රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දුය. පසුගිය දා ඇය නෙළුම් කුලුන සිනමාපටය ඔස්සේ ද අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගන්නට සමත් වූවාය. මේ දිනවල අසීමිත ප්‍රතිචාර අත්විඳිමින් සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.


මෝඩ තරිඳු මේ දිනවල දිවයින පුරා හවුස්ෆුල් ලේබලයෙන් තිරගත වනවා. බ්ලැක් කමඩි ශානරයටත් ඔබ අතිශයින් දක්ෂ බව නැවතත් තහවුරු වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?


මට මේ තරම්ම විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණේ නෙළුම් කුලුන සහ මේ දිනවල තිරගත වන මෝඩ තරිඳු කියන සිනමා නිර්මාණ දෙකට. මං දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිහක් විතර වෙනවා. ඇත්තම කිව්වොත් මට මීට කලින් මෙවැනි ප්‍රතිචාරයක් ලැබිල නැහැ. ඒ ගැන ගොඩක් සතුටුයි. නෙළුම් කුලුනටත් වඩා වැඩි ප්‍රතිචාරයක් මෝඩ තරිඳුට ලැබෙනවා.


කාලෙකින් නියම හාස්‍ය රසය දැක්කෙ ඔබෙන් කියල බොහෝ දෙනාගේ ප්‍රතිචාරවල තිබුණා. ඒ ගැනත් කියන්න යමක් ඇති?


ඔව්. මේකත් බ්ලැක් කොමඩි ශානරය කියන්නත් පුළුවන්. නමුත් මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ කොමඩි චරිත කියලා ජාතියක් නැහැ. ඒ ඒ අවස්ථාව අනුව තමයි කොමඩි බවට පත් වෙන්නේ. සාමාන්‍ය ජීවිතේදි වුණත් අපි එහෙම කොමඩි අවස්ථාවලට මුහුණු දීල තියෙනවනේ. අපි ඒව හිතලා කළේ නැතත් ඒ වෙලාවට අපිටම හිනා යනවා. අන්න ඒ වගේ කොමඩි අවස්ථා තමයි මේකෙ තියෙන්නේ. ඒ අවස්ථාවට සාමාන්‍ය මිනිස්සු මුහුණ දෙද්දි හිනා යනවා. එහෙම නැතුව එතන කොමඩි චරිතයක් රඟපානවා කියල එකක් නෑ. ඒ අවස්ථාව තමයි කොමඩි. ඒක හරියට තේරුම් අරන් කිරීම මත තමයි සාර්ථකත්වය තියෙන්නේ. අපි සාමාන්‍ය විදිහට හැසිරුණත් ඒ ඒ අවස්ථා අනුව ප්‍රේක්ෂකයන්ට හිනා යනවා.


මෝඩ තරිඳු හරහා වැඩිපුරම කතාබහට ලක්වන ආච්චි- මුනුපුරා සම්බන්ධය ගැන මොකද හිතෙන්නේ?


ආච්චිලා, සීයලා මුනුපුරු මිනිබිරියන් අතර තියෙන බැඳීමට ලොකු ඉතිහාසයක් තියෙනවා. අද කාලෙ වුණත් ගොඩක් මුනුපුරු මිනිබිරියන් හැදෙන්නේ ආච්චිලා සීයලා එක්ක. මේ සිනමාපටයෙන් හුවා දැක්වෙන්නේ පුංචි කාලෙ ඉඳන්ම මුනුපුරායි ආච්චියි අතර තියෙන සම්බන්ධය. ඒක මළත් අත්හැරුණෙ නැහැ. තිසර ඉඹුලාන සහ තිසර මංගලගේ එකතුවෙන් මෝඩ තරිඳු තිරපිටපත ලියවිලා තියෙන්නෙත් අධ්‍යක්ෂ තිසර ඉඹුලානගේ අත්දැකීමක් පාදක කරගෙන. ඔහු පවුලේ තනි දරුවා. ඔහුට ඕන විදිහට තමයි අම්මයි, තාත්තයි, ආච්චියි ඔක්කොම වැඩ කරල තියෙන්නේ. ආච්චි තමයි පුංචි කාලෙ ඉඳන්ම ගෙදර ඉඳගෙන තිසරව බලාගෙන තියෙන්නේ. ඔහු දඩබ්බර වැඩක් කරද්දි ආච්චි මොනවා හරි කිවුවොත් එයා කොහොමහරි එහාට මෙහාට කියලා තමන්ට ඕන දේම කරගෙන තියෙනවා. පොඩි කාලෙ වෙසක් කූඩුවක් හදන සිදුවීම හොඳම උදාහරණයක්. මොනදේ වුණත් ආච්චියි, මුනුපුරායි දෙන්නට දෙන්නා හරි ආදරෙයි. ඒ ආච්චි මැරිලත් මේ දරුවව රැකබලාගන්න, පරිස්සම් කරන්න තමයි උත්සාහ කරන්නේ. තිසර ඉඹුලානගේ පොඩි කාලෙ අත්දැකීම් පාදක කරගෙන තමයි මේ කතා සංකල්පය වැඩිදියුණු කරල තියෙන්නේ.


අද කාලෙ ආච්චිල මුනුපුරාලා අතරේ ඉස්සර තරම් බැඳීමක් තියෙනවද කියලත් සැකයි. ඒ ගැන අදහසක් කියනවා නම්?


ඔව්. ඒක ඇත්ත. එදා සහ අද පරම්පරා අතර ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර ළමයි ආච්චිලගෙන් කතන්දර ඇහුවට අද ළමයින්ට කතන්දර අහන්න තියා වචනයක් කතා කරන්නවත් වෙලාවක් නැහැ. කොම්පියුටර්, ෆෝන් තියෙනවනේ. ඉස්සර ආච්චිල කතන්දර කියද්දි ළමයි ඇහුවට අද ළමයින්ට ඒවා අහන්න වෙලාවක් නෑ වගේම අද ඉන්න ආච්චිලා කතන්දර කියන්න දන්නෙත් නැහැ.


මෝඩ තරිඳු බලන පොඩි ළමයින්ගෙන් ලැබෙන්නෙ මොනවගේ ප්‍රතිචාරයක්ද?


ගොඩක් ළමයි චිත්‍රපටය බලනවා. අපි දැක්කම ළඟට දුවගෙන ඇවිත් ෆොටෝ ගන්නවා. සමහර අම්මලත් දරුවන් එක්ක ඇවිත් මෙන්න මෙයා ඔයාට ගොඩක් කැමැතියි කියලත් කියනවා.


ගුණවතී ආච්චි ත්‍රීවීලර් එකේ යන දර්ශනය ප්‍රතිචාර ලබමින් මේ දවස්වල සමාජ මාධ්‍යයේ ගොඩක්ම ශෙයාර් වෙනවා. ඒ වගේ රසවත් අත්දැකීම් බොහොමයක් ඇති?


ඔව්. ඔව්. ඒක තමයි ගොඩක්ම ශෙයාර් වෙන්නේ. රසවත් අත්දැකීම්ම තමයි තිබුණේ. රෑ එළිවෙනකල් රූගත කරලා ගොඩක්ම මහන්සිවෙලා ඉන්න සමහර වෙලාවට ඉතුරු ටික කරන්නම වුණාම කොතරම් මහන්සි වුණත් හා අපි කරමු කියල කොහොමහරි ඉක්මනට කරනවා. ඔක්කොම ළමයි මාත් එක්ක හරිම යාළුයි. එයාල මට ගොඩක් ආදරෙයි. අනෙක් රංගන ශිල්පීන් වුණත් එහෙමයි. ඒ නිසා වෙහෙසක් තේරුණෙත් නැහැ. ඒ ත්‍රිරෝද රථයේ යන දර්ශනය ගනිද්දි වුණත් ඔවුන් මා ගැන ගොඩක් සැලකිලිමත් වුණා. කොහොමද මං පහසුවෙන් වාඩි වෙන්නේ, වැටෙන්න නොදී කොහොමද මාව අල්ලගෙන යන්නෙ කියන එක ගැන වුණත්. ඒ ළමයින්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.


තිසර ඉඹුලාන කියන්නෙ සිනමාවේ නිතර ඇස නොගැටෙන චරිතයක්. කොහොමද ඔහුත් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම?


ඔහු සිනමාවට නවකයෙක් නෙවෙයි. තිසර මීට අවුරුදු පහළොවකට විතර කලින් නිනෝ ලයිට් කියලා සිනමාපටයක් කරල තිබුණා. ඒ වගේම ඔහු ඉන්දියාවේ ගිහින් සිනමාව ගැන වැඩිදුර හැදෑරීමක් කරලත් තියෙනවා. ඒ නිසා ඔහුට හොඳ අත්දැකීම් සම්භාරයක් තියෙනවා. නිනෝ ලයිට් සිනමාපටයට අමතරව කෙටි චිත්‍රපට, මියුසික් වීඩියෝ, පෝය නාට්‍ය ගොඩක් කරලා අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ වගේම විෂුවල් බියුටි එක ගැන ඔහුට හොඳ අත්දැකීමක්, හැඟීමක් තියෙනවා.


ඔබ දැන් බ්ලැක් කොමඩි ශානරයටම කොටුවීගෙන යනවද කියලත් හිතෙනවා. මෝඩ තරිඳු භාර ගනිද්දි එහෙම හිතුනෙ නැද්ද?


මෝඩ තරිඳු තිර පිටපත තිසර ඉඹුලාන සහ තිසර මංගලගේ. තිරපිටපත දැක්ක ගමන් මම නම් ගොඩක් කැමති වුණා. ඒක වෙනස් නිර්මාණයක්. හැමදාම එකම විදිහට එකම වගේ චරිත කරලා ඉන්න ඕනෙත් නෑ කියන එකයි මං හිතන්නේ . මං කැමැතියි ඒ වගේ වෙනස් චරිත කරන්න. අනෙක් අතින් මං මේ කණ්ඩායම ගැනත් හොඳට දන්නවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව මං ඒක භාරගත්තා.


සිනමාපටය තිරගත වෙන්නත් කලින් ට්‍රේලර් එක බලපු බොහෝ දෙනා කිවුවේ මේක නම් සිංහල සිනමාවේ ලොකු පෙරළියක් කරන සිනමාපටයක් වේවි කියලා. තිරපිටපත කියවද්දි ඔබටත් එහෙම සිතුවිල්ලක් ආවද?


මිනිස්සු මේක වැලඳ ගනීවි කියන එක ගැන නම් මට කිසිම සැකයක් තිබුණෙ නැහැ. ඒත් මේ වගේ හවුස්ෆුල් ලේබලයෙන් දුවයි කියල නම් හිතුණෙ නැහැ. ඇත්තටම එහෙම හිතුණෙ නම් නැහැ. අපේ සිනමාවේ ගොඩ කාලෙකින් මේ වගේ පිබිදීමක් ඇති වුණේ මේ අවුරුද්දේ. හොඳ සිනමාපට බොහොමයක් මේ වසරේ බිහිවුණා. මෝඩ තරිඳු සිනමාපටයේ ප්‍රචාරය ගැනත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔවුන් ඒකත් වෙනස් විදිහකට කරල තිබුණා. සිනමාපටය දුවන්න ඒකත් ලොකු රුකුලක් වුණා කියල මට හිතෙනවා. එදා මංගල දර්ශනය දවසේ මෝඩ තරිඳු බලන්න එන හැමෝටම මෝඩ තරිඳුගේ අපල දුරුවේවා කියන බෝඩ් එක පැලන්දුව එකත් සමාජ මාධ්‍යවල ගොඩක් ශෙයාර් වෙමින් ජනප්‍රිය වුණා. හරිම ක්‍රියේටිව් විදිහට ඒ කටයුතු කරල තිබුණා. ඒ වගේම මේකෙ රඟපාන අය, සිනමාපටය සඳහා සංගීතය සපයපු තරුණ සංගීතඥයෙක් වන දිනේෂ් ගමගේ වගේම තාක්ෂණික ශිල්පීන් පවා මේක ප්‍රචාරය කරන්න ගොඩක් උදවු කළා.


මෝඩ තරිඳු නිකම්ම නිකන් කමඩියක් නොවී ඒ තුළින් ජීවිතය ගැන යම් අවබෝධයක් සමාජගත කරන්නත් උත්සාහ කරල තියෙනවා නේද?


ඇත්තටම ඔව්. ජීවත් වීම, මරණය, මරණයෙන් මතු ජීවිතය වගේ දේවල් ගැන මෙහි කතා කරනවා. මිනිස්සුන්ට ජීවිතය ගැන යමක් හිතන්න පෙලඹවීමක් ඇති කරල තියෙනවා කිවුවත් හරි. සාත්තර කියනවා වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙන හැටි, ඒ වගෙ දේවලට මිනිස්සු රැවටෙන විදිහ මේ හරහා පෙන්වනවා. ඒ වගේ දේවල් අද සමාජයේත් ඕන තරම් සිදුවෙනවා. ඒ ගැන හිතන්න වගේම මරණයෙන් මතු ජීවිතය කොහොමද? ඇත්තටම හොල්මන් කියල දෙයක් තියෙනවද? අපි හිතන විදිහට හොල්මන්වලට මොනවත් කරන්න පුළුවන් ද කියන දේත් මෙහිදී කතාවෙනවා. ඒ වගේම සාමාන්‍ය අපේ සංස්කෘතියේ, සාම්ප්‍රදායික ජීවිතයේ තිබුණු දේවල් කෙරෙහි නැවත හිතන්නත් යොමු කරල තියෙනවා.


ඔබ මේ දවස්වල බ්ලැක් කොමඩි ශානරයේ නිර්මාණවලින් එක දිගටම ජනප්‍රිය වෙන නිසා ඔබට ඒ පැත්තටම කොටු වෙන්න සිදු වෙයිද?


රඟපාන්න දෙයක් තියෙනවා නම් හොඳ චරිත ලැබෙනවා නම් ඒක එහෙම වුණත් කමක් නැහැ කියන තැනයි මං ඉන්නේ.


ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ ගැන කතා කරනවා නම්?


විමුක්ති ජයසුන්දරගේ අලුත්ම චිත්‍රපටයේ පොඩි චරිතයකට දායක වෙනවා. පාලිත පෙරේරාගේ චිත්‍රපටයේ චරිතයක් රඟපානවා, අනුර සිල්වා කියන නවක අධ්‍යක්ෂවරයාගේ මෝහිනී චිත්‍රපටයේ මායි චාන්දනී සෙනෙවිරත්නයි සම ප්‍රධාන චරිතවලින් සම්බන්ධ වනවා. ඉදිරියේ දී වෙනස් වෙනස් භූමිකාවලින් දකිද්දි කමඩි ශානරයටම කොටු වෙලා නෑ කියන එක තහවුරු වේවි.

gossiplanka image 1
Previous Post Next Post