ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සේ මට යෙනාරා වෙන්න ලැබුණා - උත්පලා පීරිස්

gossiplanka image 1
 


කලා ක්ෂේත්‍රයේ දවසින් දවස අලුත් මුහුණු දැකගන්න ලැබෙනවා. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන මං ආදරෙයි නාට්‍යය බැලුවොත් අලුත් මුහුණු කිහිපයක්ම දැකගන්න පුළුවන්. ඔවුන් අතරින් අද අපේ කතාබහට එකතු කරගන්නේ මං ආදරෙයි ටෙලි නාට්‍යයේ යෙනාරාට ජිවය දෙන උත්පලා පීරිස්වයි.


මුලින්ම උත්පලා කියන්නෙ කවුද කියල කිව්වොත්?


මගේ සම්පූර්ණ නම මල්වත්තගේ උත්පලා පීරිස්. ගම කෑගල්ල. නමුත් මම පාසල් ගියේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි අයියා විවාහ වෙලා ඉන්න අක්කයි, මමයි.


පාසල් කාලෙත් කලා කටයුතුවලට ඉදිරිපත් වෙලා තියෙනවද?


පාසල් කාලේ ඉඳන්ම මම රංගනයට ආසයි. ඒ නිසාම පාසල් වේදිකාවේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.


කලාවට යොමු වෙන්නෙ කොහොමද?


2023 වසරේ පැවති මයුර පෙරේරාගේ young clothing අවුරුදු කුමරිය තරගය නිසා තමයි මට කලාවට අවස්ථාව ලැබෙන්නේ. එහිදී මම දෙවැනි ස්ථානය ගත්තා. ඊට පස්සේ මම ලීසා පෙරේරාගේ Sri Lanka’s next top model තරගයට ගියා. එතැනදී තුන්වැනි ස්ථානය ලබාගත්තා. ඒ ඔස්සේ ‍ෆොටෝ ෂූට්, බ්‍රයිඩ්ල් සහ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. එහෙම තමයි මම මේ කලාවට යොමු වුණේ.


අවුරුදු කුමරීය තරගයට ගියේ රංගනයට එන්න තියෙන ආසාව නිසාම ද?


ඔව්. කවදා හරි රංගනයට යොමු වෙන එක පොඩි කාලේ ඉඳන්ම මගේ තිබුණු ආසාවක්. ඒ නිසා තමයි අවුරුදු කුමාරි තරගවලට ගියේ.


මං ආදරෙයි නාට්‍යයට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?


රූපවාහිනියේ ඇඩ් එකක් ගියා. මේ වයස් සීමාවන් ඇතුළත ළමයි අවශ්‍යයි කියලා. මමත් ඒකට අයදුම් කළා. ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සේ තමයි මට යෙනාරා වෙන්න ලැබුණේ.


යෙනාරා වෙන්න ලැබුණු එක ගැන මොකද හිතුණේ?


ඇත්තටම ලොකු සතුටක් දැනුණා. මේක මගේ ලොකුම හීනයක්. ඒ හීනෙට මේ විදිහට යන්න ලැබීම ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.


යෙනාරා සහ සැබෑ ජිවිතේ උත්පලා අතර සමානකම් තියෙනවද?


ඔව්. බොහෝදුරට සමානකම් තියෙන චරිත දෙකක්. යෙනාරා කියන්නේ සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්. ඒ වගේම තමයි මගේත් සැබෑ ජීවිතේ ගත්තම උත්පලා පීරිස් කියන්නෙත් සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න කැමැති කෙනෙක්. ආදරේට හරිම ආදරෙයි.


මුලින්ම කැමරාවට මුහුණ දුන් දවසේ අත්දැකීම කොහොමද?


එදා නම් මුලින්ම පොඩ්ඩක් බය වෙලා හිටියේ. මොකද ඒ වෙනකම් ෆොටෝ ෂූට්, බ්‍රයිඩ්ල් සහ වෙළෙඳ දැන්වීම් කරලා තිබුණට ටෙලි නාට්‍යයක අත්දැකීමක් ලබල තිබුණෙ නැහැ. ෂූට් කරන පළමු දවස කියන්නේ වෙනස්ම අත්දැකීමක්. හර්ෂ සර් ඇතුළු මුළු කණ්ඩායමම මට ලොකු සහයෝගයක් දුන්නා.


නාට්‍යයේ ඉන්න අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ලොකු සහයෝගයක් ලැබෙනවා. හර්ෂ සර් කිසිම කෙනෙක්ව පීඩනයට ලක් කරන්නේ නැහැ. අපිට හොඳට අපේ ප්ලේ එක කරන්න ඉඩ සලසා දෙනවා. ඒ වගේම හැමෝම හරිම එකමුතුයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශලනි අක්කාව. එයා තමයි මට මේ චරිතේ තුළ කොහොමද අඬන්න ඕනේ කොහොමද හිනාවෙන්න ඕනේ, කොහොමද ආදරේ කරන්නේ කියන එක කියලා දුන්නේ. මම විශ්වාස කරන්නේ මගේ පළමුවැනි වැඩේට මේ වගේ කණ්ඩායමක් ලැබුණේ මගේ වාසනාවට කියලා. ගොඩක් සතුටින් මමත් වැඩ කරන නිර්මාණයක්.


මේ වෙද්දී ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


තාම නාට්‍යය විකාශය වෙන්න පටන් අරන් ටික දවසයිනෙ වෙන්නේ. යෙනාරා කවුද කියන එක ප්‍රේක්ෂකයින් අතරට තාම ගිහින් නැහැ. හැබැයි මේ ටික දවසටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නාට්‍යය තව ඉස්සරහට යද්දී තමයි යෙනාරා ගැන ප්‍රේක්ෂකයන්ට හරියට දැනගන්න ලැබෙන්නේ. එතකොට මීට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.


තව නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද?


ආරාධනා නම් කිහිපයක්ම ආවා. හැබැයි මං ආදරෙයි නාට්‍ය විතරයි දැනට කරගෙන යන්නේ. ඉදිරියේදී බලමු.


රංගනය ගැන හදාරනවද?


පාසල් කාලයේ නම් රංගනය ගැන හැදෑරුවා. ඉදිරියේදී තවදුරටත් රංගනය ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.


දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න කැමති ද?


ඔව්. ලස්සන, එකිනෙකට වෙනස් වැඩවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න කැමතියි.


මේ වෙද්දී ඔබ කලාව විතර ද කරන්නේ?


නැහැ. මම දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


අම්මා, තාත්තා, අයියා, අක්කා මේ හැමෝම මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. මගේ මුල්ම ප්‍රේක්ෂකයෝ එයාලා. ඒ ලැබෙන සහයෝගය නිසා තමයි මට මේ ගමන එන්න ලැබුණේ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


යෙනාරාට හොඳ සාධාරණයක් ඉෂ්ට කරමින් ඉදිරියේදීත් ප්‍රේක්ෂකයන් අතරට එන්නයි බලාපොරොත්තුව. විවිධ චරිත ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවට එන්න කැමැතියි.

gossiplanka image 2
Previous Post Next Post