ඉස්සර මං මනමේ කුමාරයා දැන් වැද්දා -ජනක මුණසිංහ

gossiplanka image 1
 


ඔහු සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ වසර දහසයක පමණ අත්දැකීම් ලද රංගන ශිල්පියෙකි. වරෙක ඔහු මනමේ කුමරු වන අතර අනෙක් වර එහි වැද්දාය. තව වරෙක සිංහබාහුය. මහාසාර රජු ලෙසින්ද පෙනී සිටියි. මෙකල කච්ඡපුට ලෙසින් කදාවළලු ගෙන එන්නේද ඔහුය. මේ සියලු භූමිකා වේදිකාවේය. වේදිකාව දැන් ඔහුට හොඳින්ම හුරුපුරුදුය. සැබෑ දිවියේ ඔහු දක්ෂ ගුරුවරයෙකි. කලාකරුවකු මෙන්ම දක්ෂ නිර්මාණශීලී ගුරුවරයකු ලෙස සමාජගතව සිටින ඔහු ජනක මුණසිංහය.


ඔබ ජනප්‍රිය ගුරුවරයෙක් වගේම දක්ෂ කලාකරුවෙක්. ගුරුභූමිකාවෙන් ඔබ්බට ගිහින් මේ දිනවල කලා කටයුතු ගැන කතා කළොත්?


කලා කටයුතු පැත්තෙන් ගත්තොත් මේ දවස්වල සම්පූර්ණයෙන්ම කාලය ගත වෙන්නේ සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමත් එක්ක. මනමේ, සිංහබාහු, මහාසාර, කදාවළලු කියන නාට්‍ය හතරම මේ දවස්වල වේදිකාගත වෙනවා. ඊට අමතරව හස්ථි කාන්ත මන්තරේ සහ රත්නාවලී කියන නාට්‍යවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.


ඔබ මුලින්ම සම්බන්ධ වෙන්නේ කලාවට ද ගුරු වෘත්තියට ද කියල ඇහුවොත්?


මුලින්ම සම්බන්ධ වෙන්නෙ කලාවට. ගුරුවරයෙක් වෙන්නේ ඊට පස්සේ. මට කලා පවුල් පසුබිමක් තිබුණෙ නැහැ. මගේ ගම ගලේවෙල අලුත්වැව. අලුත්වැව කනිෂ්ඨ විද්‍යාලයේ වගේම අලුත්වැව රතනාරාම දහම් පාසලේ ඉගෙන ගන්න කාලේ හැමෝම කිව්වේ මට තියෙන්නේ ගායන හැකියාවක් කියලා. ශිෂ්‍යත්වය පාස් වෙලා ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙලා හත වසරෙදි නාට්‍යවලට ඇති වුණු ඇල්ම නිසා ඇන්තනී විජේරත්න සර්ට කතා කරලා ඔහුගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණා. එදා ඉඳන් මම පාසල් නාට්‍ය කණ්ඩායමේ හිටියත් විෂයක් විදිහට හැදෑරුවේ සංගීතය. කලාකරුවෙක් විදිහට මං එළියට එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආභාසයත් එක්ක. එතැන තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය. සරත්චන්ද්‍රවංශ සර් තමයි ඒකට පාර හැදුවේ. ඔහු හැම අවුරුද්දෙම පේරාදෙණියෙ ළමයින්ව රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කරනවා. මම කළේ ශාස්ත්‍රවේදී (ලලිත කලා විශේෂවේදී) උපාධිය. 2005දී අන්තර් විශ්වවිද්‍යාලයීය රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය තුන්වැනි ස්ථානය දිනාගත්තේ මගේ ‘කාටවත් කියන්න එපා’ කෙටි නාට්‍යය. ‘සෝලෝ’ කියන කෙටි නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. ඒ වගේම 2011 සහ 2017 වසරවල රාජ්‍ය නාට්‍ය උලෙළවල ආනන්ද චන්ද්‍රකුමාරගේ ‘බල්ලො දෙන්නෙක්‘ සහ ‘ලද ලබ‘ සඳහා හොඳම නළුවා ලෙස සම්මානිත වුණා. ඒවා මගේ ගමනට ලොකු පන්නරයක් වුණා. 2008 දී ප්‍රසන්නජිත් අබේසූරිය සර්ගේ මැදිහත් වීමෙන් සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබීමත් එක්ක පටන් ගත්ත මගේ කලා ජීවිතේ ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය තමයි මේ දක්වා වර්ධනය කළේ. අලුත් ප්‍රඩක්ෂන් එක පටන් ගත්තට පස්සේ මමයි සනත් විමලසිරි අයියයි සිංහබාහු සහ මනමේ කුමරුට මාරුවෙන් මාරුවට ජීවය දුන්නා. ඉස්සර මං මනමේ කුමාරයා දැන් වැද්දා. ඊට පස්සේ සිංහබාහු වුණා. මහාසාර රජු වුණා. එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ කච්ඡපුටගේ චරිතයටත් පණ පොවනවා. රත්නාවලී නාට්‍යයේ විධූෂක වගේම හස්ති කාන්ත මන්තරේ චණ්ඩ පජ්ජෝත වෙන්නෙත් මම. මේ සියල්ලම වේදිකාවේ චරිත.


මේ දවස්වල සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවක් නිසා ඔබ ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා නේද?


ඒක, මේ මං උගන්වන රන්ගිරි දඹුළු ජාතික පාසලේ ළමා දිනේ වෙනුවෙන් කරපු දෙයක්. මේරියන්ස් කණ්ඩායමේ ප්‍රසන්න රෝසා ගයන ලයිලා ගීතය එදා මං ළමයි ඉදිරියේ රංගනයක් එක්ක ඉදිරිපත් කළා. ඒ වීඩියෝව තමයි වයිරල් වුණේ. ඊට අමතරව ප්‍රින්සිපල් එක්ක ගයපු ‘අපි කවුරුද’ ගීතයත් ගොඩක් ශෙයාර් වෙලා තිබුණා. ලයිලා වීඩියෝව දාල විනාඩි පහක් ගියේ නෑ සින්දුවේ අයිතිකාරයම කමෙන්ට් එකක් දාල ශෙයාර් කරලා තිබුණා “රන්ගිරි දඹුළු ජාතික පාසලේ සිංහල ගුරුවරයෙක් ළමයි එක්ක මගේ ලයිලා සින්දුව සුපිරියට විඳිනවා, මටත් හරි ආඩම්බරයි කියලා. ඒත් එක්කම මගේ පේජ් එකේ රීච් එක වැඩිවෙලා ෆලෝවර්ස්ලා ගාණත් වැඩිවුණා.


පාසල් කාලෙ ඔබ විෂයක් විදිහට හැදෑරුවේ සංගීතය නේද?


ඔව්. මං සංගීතය හැදෑරුවේ අශෝක පුෂ්පකුමාර සර්ගෙන්. උසස් පෙළ කරන කාලෙමයි මට සංගීතයට ඇල්මක් ඇති වුණේ. ඉන්දීය වයලීන් විශාරද විභාගෙත් කළා. සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට ඇතුළත් වෙන්න ඒකත් ආභරණයක් වුණා.


ඔබ මේ දිනවල පාසල් පද්ධතියේ ජනප්‍රිය චරිතයක්?


මං පාසලේ දරුවන්ට උගන්වන්නේ නාට්‍ය හා රංග කලාව සහ සිංහල කියන විෂයන්. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කලාව, මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව, ජන නාටක, ජන සංගීතය සම්බන්ධයෙන් මට ප්‍රායෝගික දැනුමට වඩා සිද්ධාන්තමය ශාස්ත්‍රීය දැනුම් සම්භාරයක් ලැබුණා. ඒ ශාස්ත්‍රිය පදනම මේ දවස්වල පාසල් පද්ධතියේ පවත්වනු ලබන දේශනවලටත් උපකාරී වෙනවා.


මේ දිනවල පර්යේෂණාත්මක කටයුත්තක නියැළිලා ඉන්නවා කියලත් ආරංචියි?


ඔව්. ජන සාහිත්‍යය සහ ජන නාටක සම්බන්ධයෙන් වර්තමාන දෘශ්‍ය සාහිත්‍යය කුමන දිශාවකට ද යොමුවෙලා තියෙන්නෙ කියන එක ගැන පොඩි පර්යේෂණාත්මක වැඩක නියැළිලා ඉන්නවා. ඒ වගේම පාසල් පද්ධතිය තුළ ජන නාටක, සොකරි, කෝලම්, නාඩගම්, නූර්ති, ජන ගීත, නැළවිලි, ශාන්තිකර්ම ගීත ඇසුරින් දෘශ්‍ය මාධ්‍ය පෝෂණය වුණු විදිහ, රසය, ප්‍රාසාංගිකත්වය සහ දැනුම කියන කොටස් තුනේම එකතුවෙන් දේශන මාලාවක් කෙරෙනවා.


වේදිකාවේ ප්‍රේක්ෂකාගාරය කියන්නේ නිතර අලුත් වෙන තැනක්. ඒ අත්දැකීම ඔබට කොහොමද දැනෙන්නේ?


ගුරුවරයෙකුට අලුත් පන්ති කාමරයක් වගේ තමයි නළුවෙකුට වේදිකාවේ ප්‍රේක්ෂකාගාරය කියන්නේ. නිතර අලුත් වෙනවා. හැම චරිතයකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේම දිනෙන් දින එය වෙනස් වෙනවා.


අවසානයේ මෙහෙම ඇහුවොත්. නළු භූමිකාව ගුරුවරයා මත බලපෑමක් එල්ල කරනවද?


අනිවාර්යයෙන්ම. වේදිකාවේ මුදුන් මල්කඩ වන් මනමේ, සිංහබාහු නාට්‍යවලට රංගනයෙන් දායක වන ගුරුවරයෙක් විදිහට ජාතික අධ්‍යාපන ආයතනයේ සහ සමස්ත පාසල් ප්‍රජාවේම යම් පිළිගැනීමක් තියෙනවා. ඒ නිසාම තමයි මට මේ දේශන සඳහා අවස්ථාව ලැබෙන්නේ.

gossiplanka image 2
Previous Post Next Post